Bruit Force ප්‍රහාරය

0
73

විභාග දෙපාර්තමේන්තුව මඟින් 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමුවේ රට තුළ පැවැති වසංගත තත්ත්වය හා ඒ හේතුවෙන් උද්ගතවුණු විවිධාකාර ගැටලු රැසක් මුල්කොට ගෙනය. කෙසේ වෙතත් 2022 වර්ෂයේ  පෙබරවාරි හා මාර්තු මාසවල එම විභාගය පවත්වා පසුගිය අගෝස්තු 28දා එහි ප්‍රතිඵල නිකුත් කෙරිණි. දෙලක්ෂ හැත්තෑදහස් හයසිය අසූ දෙදෙනෙක් මේ විභාගයට ඉදිරිපත්ව සිටියහ.

මුලින්ම ප්‍රතිඵල මුදාහැරියේ විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේය. අපේක්ෂකයාගේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කොට ප්‍රතිඵල දැන ගැනීමට පහසුකම් සලසා තිබුණේ ජාතික විභාගයක රහස්‍යතාව ප්‍රතිඵල සම්බන්ධයෙන්ද අත්‍යවශ්‍ය වූ හෙයිනි. එහෙත් විස්මයකි. මේ ශ්‍රී  ලංකාවය. විභාග ප්‍රතිඵල නිකුත් වී ඕනෑ නම් දෙදිනක් ගෙවී තිබෙන්නට ඇත. තමන්ගේ නම යොදා ප්‍රතිඵල දැක බලා ගැනීමේ හැකියාව ඇති අපූරු වෙබ් අඩවියක් සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලා මඟින් යම් පණිවුඩ හුවමාරුවක් සිදුවෙමින් තිබිණි. මේ වෙබ් අඩවි සංචිතය තුළ 5,000ක් පමණ වූ පාසල් සිසු පිරිසක්ද තොරතුරු හුවමාරු කරගනිමින් සිටියහ.

මේ සිදුවූයේ කුමක්ද? රහස්‍යභාවය උපරිම ආකාරයට ආරක්ෂා කිරීමට වගකීමෙන් බැඳී සිටින විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ආක්‍රමණය කරන්නට සමත් වූ විශාල ශිෂ්‍ය සමූහයකට මඟ පෙන්වූයේ කවුරුද? විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේනට මේ සම්බන්ධව තොරතුරු ලැබෙන විටත්, මේ සයිබර් ප්‍රහාරය ගැන තොරතුරු රට පුරා පැතිරයමින් තිබිණි.

මේ අනුව ඉකුත් 5දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබෙයි. එම පැමිණිල්ලට අනුව කඩිනම් විමර්ශන කටයුතු දියත් වෙයි. පොලිසියේ පරිගණක අපරාධ කොට්ඨාසයත්, සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයත් මේ සම්බන්ධව වහා ක්‍රියාත්මක වෙයි. මෙම විමර්ශන අනුව පොලිසියට කොටු වන අපරාධකරු ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක තොරතුරු තාක්ෂණ විෂය හදාරන උසස් පෙළ සිසුවෙකි. ඔහු මේ වසරේ උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටින අයෙකි.

2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතට අනුව ගාල්ලේ ශිෂ්‍යයා අත්අඩංගුවට පත්වෙයි. රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මොහු මුදාහරින ලෙස ඉකුත් 9දා කොළඹ, අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක නියෝගයක් දෙයි. ඒ සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9-12 කාලයේදී පදිංචි ප්‍රදේශයේ පොලිසිය වෙත වාර්තා කළයුතු බවටද නියම කරමිනි.

නීතිය සියල්ලන්ටම සාධාරණ විය යුතුය. දඬුවමද ඊට අයත්ය. සත්‍යය එය වුවද පාසල් ශිෂ්‍යයන් සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේදී සුවිශේෂී සහන සලසාදීම මෙරට අධිකරණ කටයුතුවලදී නුහුරු දෙයක් නොවේ. මේ සියලු ක්‍රියාදාමයන්ට මූලික පසුබිම ගොඩනැඟෙනුයේ අධ්‍යාපනයෙන්ය. වෛද්‍යවරුන්, නීතිඥයන්, ඉන්ජිනේරුවන්, ගුරුවරුන්, ආදී වූ විවිධ ක්‍ෂේත්‍රගත දැනුමෙන් සපිරි පුරවැසියන් බිහිවනුයේ, පාසල් අධ්‍යාපනය පදනම් කොටගෙනය. කරුණු මෙසේ වුවද ශිෂ්‍යයාට නීති විරෝධී කටයුතුවලට විශේෂ වරදාන කොහේවත් නැත. එබැවින් නීතිය යුක්තිය නිසි පරිදි සක්‍රිය විය යුතුමය. දඬුවමද සාධාරණ වියයුතුය. මානුෂීය විය යුතුය.

ගාල්ලේ ශිෂ්‍යයා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට රිංගන්නේ මෘදුකාංගයක් මඟිනි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දුර්වලතා හඳුනාගෙන බෘෘට් ෆෝස් (Bruit Force) ප්‍රහාරයක් එල්ල කරමින් එම වෙබ් අඩවියට තමන් ඇතුළු වූ බවයි. තමා ඉගෙනගත් දේ අත්හදා බලන්නට ඔහු විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය තෝරාගෙන තිබේ. වරද එතැනය. එහෙත් විභාග දෙපාර්තමේන්තුවද තම වෙබ් අඩවියට රැකවල සකසාගෙන නැති බවක්ද මේ සිද්ධියෙන් අනාවරණය වෙයි.

හොරුන් ගෙට පැන සබ්බසකලමනාවම රහසේ ගෙන ගිය පසු රැකවල යොදා ඇති ඵලය කුමක්ද? අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දමන තාලේ වැඩ මේ රටේ බොහෝ තැන්වල බොහෝ දිනවල සිදුවී තිබේ. මේ මෑතකදී කුරුණෑගල 9 ශේ‍ර්ණියේ සිසු දරුවාගේ මරණයද එවැනිම සිදුවීමකි. පාරවල් හදන්නට, බෝක්කු හදන්නට කාට කාටත් මතකයට එන්නේ දැන්ය. ඒ කාලයේ රටේ ආරක්ෂාව ගැන හිතන්නට පටන් ගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසු දෙනෝදහසක් හඬා වැලපෙමින් මහ හ¾ඩින් අ‍ෙ¼දා්නා නඟනවිටය. තවමත් ඒ සිදුවීම්වල පවා අලගිය මුලගිය තැන් හොයා ගන්නට වගකිවයුත්තන් සමත් වූ බවක් නොපෙනේ.

ගාල්ලේ ශිෂ්‍යයා අත්අඩංගුවට ගන්නට පෙර සිදු කළ මූලික විමර්ශන අනුව, පෙනී ගියේ ගෙවීමකින් තොරව සේවා ලබා ගැනීමට හැකි ඩොමියන් එකක් හරහා යට කී ප්‍රහාරය සැලසුම් කොට ඇති බවය. පණිවුඩ හුවමාරුවේදී දැඩි ආරක්ෂිත ඇප් එකක් ලෙස හඳුනාගෙන ඇති ටෙලිග්‍රෑම් ඇප් එක යොදා ගනිමින් ශිෂ්‍යයා කළ ප්‍රහාර සැලසුම අනාවරණය කර ගැනීම විමර්ශන නිලධාරීන්ටද පහසු වූයේ නැත. වයස අවුරුදු 17ක් තරම් වූ වයසකදී මේ තරම් සූක්ෂ්ම වැඩ කරන්නට සමත් නම් මෙවැනි සිසුන්ට හෙට දවසේ නොකළ හැකිවන්නේ මොනවාද? මෙවැනි සුභග ශිෂ්‍ය පර්යේෂකයන් නීතිය හමුවට කැඳවා මානසික පීඩනයට හසු කොට ඔවුන්ගේ ශක්‍යතා මොට කර දමනවාට වඩා ඒවා රටේ සංවර්ධනයේ අත්‍යවශ්‍ය  සාධක බවට පත්කරගන්නේ නම් ගෝලීයකරණයට ලක්ව ඇති වර්තමාන ලෝකය තුළ ලාංකිකත්වයේ අනන්‍යතාව ජාත්‍යන්තරය හමුවෙහි ප්‍රදර්ශනය කරන්නට නිසි මං පාදා ගැනීම අපහසු නොවනු ඇත.

යහපාලන ආණ්ඩු කාලයේ එවකට ජනාධිපතිව සිටි මෛත්‍රිපාල සිරිසේනගේ නිල වෙබ් අඩවිය හැක් කළේද ශිෂ්‍යයෙකි. කළ වරදට ඔහුට දඬුවම් දෙනු වෙනුවට ජනපති මැඳුරට කැඳවා ඔහු කළ දේ ඇගැයීමට ලක්කොට තෑගි බෝගද පිරිනැමූ බවට පුවතක් එකල වාර්තා විය. තවත් අවස්ථාවක කොළඹ මහනගර සභාවේ වෙබ් අඩවියටද සයිබර් ප්‍රහාරයක් එල්ල කළ බවට පුවතකි. ඉතිහාසයේ මේ හැම සිදුවීමකින්ම කියාපාන්නේ අන්තර්ජාලය හා පරිගණක තාක්ෂණය සම්බන්ධව තවත් බොහෝ කාරණා ගැන සිතන්නට කාලය උදා වී ඇති බවය.

විවිධ අණපනත් යොදාගනිමින් සිසුන් අත්අඩංගුවට ගැනීම, ප්‍රශ්න කිරීම සඳහා බව කියමින් රඳවා තබා ගැනීම, රිමාන්ඩ් භාරයට පත් කිරීම දැන් දැන් අසන්නට ලැබෙන සුලබ සිදුවීම්ය. මේ වැඩ හොඳද නරකද කියා කරුණු දැක්වීම අපගේ කාර්යය නොවේ. අණපනත් සම්මත කිරීම, වෙනස් කිරීම, එහි යහපත් වූ හෝ අයහපත් වූ ප්‍රතිඵල සාකච්ඡා කිරීම යනාදී වූ කටයුතු සඳහා ව්‍යවස්ථාදායකත්වය හා බැඳුණු පාර්ලිමේන්තුව ක්‍රියාත්මකය.

අපට කිවහැකි කාරණයකි. එනම් මේ රටේ හැම දෙයක්ම සිදුවිය යුත්තේ ජනතා යහපත හා සුබසිද්ධිය අභිමතාර්ථ කොටගෙනය. මේ රටේ අනාගත පුරවැසි පරපුර නිර්මාණය වන්නේ වර්තමාන ශිෂ්‍ය ප්‍රජාවෙහි ක්‍රියාකාරකම් මතය. ඒ අනුව අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහි නියුක්තව සිටින සිසු සිසුවියන්ගේ පෞරුෂ සංවර්ධනය කෙරෙහි බලපෑම් ඇතිකරවන ක්‍රියාමාර්ග සම්බන්ධව වගකිවයුතු සියලු පාර්ශ්ව වඩාත් අරපරිස්සමින් කටයුතු කළයුතුව ඇති බව සඳහන් කළ යුතුමය.