හොර නෝට්ටු අච්චු ගහන පුල්මුඩෙයි තිප්පොළ වටලයි

0
14

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ස්ථානයක් හා එම මුදල් නෝට්ටු බෙදාහැරීමේ ස්ථානයක් වටලා සැකකරුවන් පස්දෙනකු සමඟ මුද්‍රණ යන්ත්‍රයක්, පරිගණකයක් හා රුපියල් 199,500ක වටිනාකමින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් අත්අඩංගුවට ගැනීමට කුච්චවේලි පොලිසිය සමත් විය.

කුච්චවේලි ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකදී යතුරුපැදියකට ඉන්ධන ලබා ගැනීමෙන් පසු රුපියල් දහසක ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදී පැන යෑමට තැත් කළ පුද්ගලයන් දෙදෙනකු එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම හෙළිව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හරහා එම මුදල් නෝට්ටුව ලබාදුන් පුද්ගලයා අනාවරණය කර ගැනීමෙන් පසු එම මුදල් නෝට්ටු බෙදාහැරි බැව් කියන පුල්මුඩේයාංඔය ප්‍රදේශයේදී මුද්‍රණ යන්ත්‍රයක් සමඟ රුපියල් 199,500ක ව්‍යාජ මුදල් ‌නෝට්ටු සොයා ගැනීමට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර රත්නායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායම සමත් විය.

රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු හතරක්, රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 168ක් හා රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 23ක් මේ අතර තිබී සොයා ගෙන තිබේ. එම ස්ථානයේ සිටි සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී මුදල් මුද්‍රණය කළ පරිගණකයක්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය.

ත්‍රිකුණාමලය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි චන්දන බස්නායක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර රත්නායක මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.‍

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ