සිවුවැනි වරටත් ශූරතාව ඉසිපතනයට

0
37

ඩයලොග් පාසල් පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉසිපතන විදුහල් කණ්ඩායම ඊයේ (11දා) සමත්වූයේ අවසන් තරගයේදී මරදාන ශා. ජෝෂප් පිල ලකුණු 49-22ක් ලෙස පරාජය කරමිනි.

අතිවිශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් ඉදිරියේ කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේදී කිසිදු අපහසුවකින් තොරවම මෙවර සිවුවැනි වරටත් ශූරතාව තමන්ට සන්තකයට ගැනීමට ඉසිපතන ක්‍රීඩකයන් සමත්විය.

එහිදී පළමු භාගයේදී 27-00ක් ලෙස ඉදිරියෙන් සිටි ඉසිපතන ක්‍රීඩකයෝ දෙවැනි භාගයේදී තවදුරටත් එම අණසක පතුරුවමින් මුළු තරගයේදීම උත්සාහක දිනුම් 7ක්, ප්‍රවර්තනයන් 4ක් හා දඬුවම් පහර දෙකක් සාර්ථක කරගනිද්දී ශා. ජෝෂප් පිල විසින් උත්සාහක දිනුම් 3ක්, ප්‍රවර්ථනයන් දෙකක් හා එක් දඬුවම් පහරක් සාර්ථක කරගෙන තිබිණි.

කෙසේ වෙතත් ඉසිපතනය වෙනුවෙන් ප්‍රවීන් ස්ටෙෆාන් උත්සාහක දිනුම් දෙකක්, කෙනුල මිහිසර, නවීන් කනිෂ්ක, වෙනුර කෝදාගොඩ, ශෙහඳු ද කොස්තා හා වෑවල පන්ඩිත් එක් උත්සාහක දිනුම බැගින් ලබා ගත්හ. එසේම ශා. ජෝෂප් පිල වෙනුවෙන් නවීන් මාරසිංහ උත්සාහක දිනුම් දෙකක් හා සචින්ත විද්‍යානාථ එක් උත්සාහක දිනුමක් සාර්ථක කරගත්තේය. 

විචිත්‍ර වීරසිංහ