සිගරැට් 2කට රු. 40ක් වැඩිපුර ගත්තැයි වෙළෙඳසළ හිමිකරුව කපලා

0
24

සිගරැට් දෙකකට රුපියල් 40ක් වැඩිපුර අයකර ගැනීම නිසා ඇති වූ ආරවුලකදී වෙළෙඳසල් හිමියා කඩුවකින් කපා බරපතළ තුවාල කර වෙළෙඳසල තුළ තිබූ රුපියල් තුන් ලක්ෂ පනස් දහසක මුදලක් කොල්ලකෑම යන චෝදනා මත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකරු 20 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කළාය.

දිවුලපිටිය කුඩගම්මන හර්ෂ කුමාර ගුණතිලක නමැති සැකකරුව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

සැකකරු ඇතුළු පිරිසක් යතුරුපැදි තුනකින් තුවාලකරුට අයත් දිවුලපිටිය, බරවාවිල පිහිටි වෙළෙඳසල වෙත ඉකුත් 03දා රාත්‍රියේ ගොස් සිගරැට් දෙකක් මිලට ගෙන ඇත. වෙළෙඳසල් හිමියා සැකකරුගෙන් සිගරැට් දෙකකට රුපියල් 40ක් වැඩිපුර අයකර තිබේ. එම අවස්ථාවේ වෙළෙඳසල් හිමියා සහ පැමිණ සිටි පිරිස අතර ආරවුලක් ඇති වී තිබේ. වෙළෙඳසලේ සිටි අයකු දිවුලපිටිය පොලිසියට කළ දැනුම්දීමක් මත පොලිසිය එම ස්ථානයට යනවාත් සමඟ සැකකරුවන් යතුරුපැදිවලින් පලාගොස් ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.

පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්ව යෑමෙන් අනතුරුව සැකකරු ඇතුළු පිරිස කඩු සහ පොලු රැගෙන නැවතත් වෙළෙඳසලට පැමිණ වෙළෙඳසල් හිමියාට පොලුවලින් පහරදී කඩුවකින් කපා ඇති බවත් වෙළෙඳසලේ ඇති භාණ්ඩවලට පහරදී අලාභ හානි කර ඇති බවත් පොලිසිය අධිකරණයට කීය. බරපතළ කැපුම් තුවාල ලබා වෙළෙඳසල් හිමියා දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.

මීගමුව කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් (සොකෝ) ද පරීක්ෂණ අරඹා ඇති බව පැමිණිල්ල මෙහෙයවමින් දිවුලපිටිය පොලිසියේ සැරයන් පුෂ්පකුමාර (49113)  නිලධාරියා අධිකරණය හමුවේ පැවැසීය.

සිද්ධියට සම්බන්ධ අනිකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවුලපිටිය පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ කරන බව අධිකරණයේදී සඳහන් විය.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරළ