සංවර්ධනයට බාධා වන චක්‍රලේඛ වහාම සංශෝධනය කරන්නැයි උපදෙස්

0
9

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වී ඇත්නම් එම චක්‍රලේඛ වහාම සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඉන්දීය ආයෝජන සහයෝගීතාව මත රට තුළ ක්‍රියාත්මක සහ යෝජිත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය විමසා බැලීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙසේ උපදෙස් ලබාදී ඇත. මෙම සාකච්ඡාව සඳහා ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජේකෝබ් මහතාද සහභාගි විය.

ඉන්දීය ආයෝජන මත මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය සම්බන්ධයෙන් මතුව ඇත බාධා කඩිනමින් නිරාකරණය කර ගැනීමට පියවර ගන්නා ලෙස මෙහිදී ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පසුගිය රජයන් විසින් වරින්වර නිකුත් කර ඇති චක්‍රලේඛවල ඇතුළත් විධිවිධාන සංවර්ධනයට බාධාවක් වී ඇත්නම් ඒවා කඩිනමින් නිවැරැදි කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජේ‍යෂ්ඨ උපදේශක සාගල රත්නායක, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.