වියදම අමාරුයි කියලා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා  මඟහරින්නෙපා

0
86

ළමාවිය ඉක්මවා යමින් දරුවකු  තරමක් දුරට ස්වාධීන බවට පත්වෙන, චින්තනමය සහ කායික වශයෙන් සුවිශේෂී වෙනස්කම් රැසක් ඇතිවන කාල සීමාවක් ලෙස යොවුන් විය පෙන්වා දිය හැකිය. මෙම අවධියේදී ගැහැනු ළමයකු චර්යාත්මක ලෙස, ආකල්පමය ලෙස සහ ශාරීරික වශයෙන්ද වෙනස්කම් රැසකට මුහුණ දෙයි. එම  නිසාම යොවුන් වයස් සීමාවේ සිටින ගැහැනු දරුවකුගේ පෝෂණය පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.

වර්තමානය වන විට ශ්‍රී   ලංකාව  දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදී ඇත. ලෝක ආහාර වැඩසටහන ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාවකට අනුව ලංකාවෙහි පවුල් පහෙන් එක් පවුලක් ප්‍රධාන  ආහාර වේල් තුනෙන්  එක් වේලක් මඟ හරින තත්ත්වයකට  පත්ව ඇති බව සොයාගෙන ඇත. එමෙන්ම ඔවුන්ගේ නිගමනවලට අනුව ලක්ෂ 57ක ජනතාවට මානුෂීය ආධාර අවශ්‍ය  බවත් ලක්ෂ 63ක ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවයකට පත් වී ඇති බවත් හෙළිකර ඇත. ලක්ෂ 67ක ජනතාවට ප්‍රමාණවත් ආහාර වේලක් නොලැබෙන බව ඔවුන් පර්යේෂණ මඟින් සොයාගෙන ඇති අතර මේ හේතුවෙන් වැඩෙන වයසෙහි සිටින දරුවන් පෝෂණ උෟනතාවලට මුහුණදී ඇති අතර යම් යම් රෝගාබාධවලටද ලක් වී ඇත.

දිනෙන් දින අධික ලෙස  ඉහළ යන ජීවන වියදම දරාගත නොහැකි වන විට යම් අයකු සිදු කරන්නේ තමා ආහාරයට ගැනීමට කැමැති ආහාර මඟ හැරීමයි. නැතිනම් මිල අධික ආහාර මිලදී නොගැනීමයි. උදාහරණයක් ලෙස  දිනකට බිත්තරයක් ආහාරයට ගැනීමට පුරුදු වී සිටි අයකු දැන් බිත්තරයෙන් අඩක් ආහාරයට ගැනීමට පුරුදු වී ඇත. එසේම මස් සහ මාළුවල මිල ගණන් අධික වීම හේතුවෙන් ඇතැම් අය මසකට දින කිහිපයක් මස්, මාළු ආහාරයට ගැනීමට පුරුදු වී සිටිති.

කෙනකුට යම් ආහාර වේලක් එකවර මඟ හැරීම කළ නොහැකිය. එවිට ඔවුන් මුලින්ම සිදු කරන්නේ ආහාර වේලක් ලබා ගන්නා  වාර ගණන සහ ගන්නා ආහාර ප්‍රමාණය  අඩු කරනු ලැබීමයි. මස්, මාළු පමණක් නොව මිලෙන් අධික එළවළු, පලතුරු, ඇට වර්ග (මුං ඇට, කඩල, කව්පි, තෝර පරිප්පු, සෝයා, උ¾දු,) වැනි පෝෂණ ගුණයෙන් වැඩි ආහාරද මඟහැරීමට ඔවුන් පුරුදු වී සිටියි. බත්වලින් ශක්තිය ලැබුණත් ප්‍රෝටීන යනු ශරීරයට අත්‍යවශ්‍ය දෙයකි. එම නිසා බත්වලට අමතරව ඉහත සඳහන් ආහාරද ශරීරයට අත්‍යවශ්‍ය බැවින් අපට එය කිසිවිටෙකත් මඟ හැරීමට නොහැකිය.

යම් පවුලක දුගීභාවය වැඩිවන විට ඔවුන් මුලින්ම කරන්නේ දිනකට ලබා ගන්නා ප්‍රධාන ආහාර වේල් තුනෙන් එකක් මඟ හැරීමයි. ඇතැම් අයට  උදෑසන ආහාරයට  පිස ගැනීමට දෙයක් නිවෙසහි නොතිබීමට පුළුවන් සේම දහවලදී පිසූ ආහාරවලින් ඉතුරු වුණු දෙයක් රාත්‍රියේදීද ආහාරයට ගැනීමට ඔවුන් පෙලඹී ඇත. දිලි¾දුකම  නිසා එවැනි ගැටලුවලට මුහුණ දීමට සිදු වන අතර  අර්බුදය පැමිණීමත් සමඟ මෙම තත්ත්වය වර්ධනය වී ඇත. ග්‍රාමීය ප්‍රදේශවල මිනිසුන්  මෙම ගැටලුවට ප්‍රධාන වශයෙන් මුහුණ දෙන අතර නාගරික ජනතාව තරමක් දුරට මෙම ගැටලුවට මුහුණ දෙනු ලැබේ. 

පෝෂණයේ තිබෙන එක් මූලධර්මයක් වන්නේ විවිධත්වයෙන් යුතු ආහාර ගැනීමයි. ලෝක ආහාර සංවිධානයෙන් කර තිබෙන පර්යේෂණ අනුව  ඔප්පු වී ඇත්තේ අද වන විට  ආහාරවල විවිධත්වය අඩු වී ඇති බවයි. ආහාර අර්බුදය, පෝෂණ අර්බුදයක් බවට පත්වන්නේ එලෙසිනි. එයට ප්‍රධාන හේතු ලෙස,

-ආර්ථික අර්බුදය නිසා ආදායම

  අඩු වීම

-අර්ථික අර්බුදය හේතුවෙන්

     භාණ්ඩ මිල ඉහළ යෑම

-වෙළඳපොළට ආහාර සුලබව

  නොලැබීම

යන කරුණු පෙන්වා දිය හැකිය. මෙම කරුණු ආහාර සුරක්ෂිතතාවට ප්‍රබල වශයෙන් බලපානු ලැබේ. ආහාර සුරක්ෂිතතාව ලෙස පෙන්වා දී ඇත්තේ, පවුලේ සියලුම දෙනාට තමන් කැමැති පෝෂණයෙන් සපිරි සෞඛ්‍යමය ආහාර ලබා ගැනීමට හැකි වීමයි. ආහාර සුරක්ෂිතාව පිළිබඳ ශේ‍ර්ණිගත කිරීම් අනුව රටවල් 163ක් අතුරින් ලංකාව සිටියේ 63 වැනි ස්ථානයේය. එහෙත් පසුගිය වසර තුනක කාලය ඇතුළත අප රටෙහි ආහාර සුරක්ෂිතතාව පහළ මට්ටමකට වැටී ඇත. එම නිසා පෝෂණ සුරක්ෂිතතාව නැති වී ඇත.

අවුරුදු 13 – 19 අතර කාලය යනු  යොවුන් වියෙහි දරුවකු වේගයෙන්ම වර්ධනය වන  කාල සීමාවකි. ජීවිතයේ වර්ධනය වීමට තිබෙන අවසානම අවධිය වන්නේ මෙම අවධියයි.  අවුරුදු දහ නමයෙන් පසු යම් දරුවකු වර්ධනය වීමකට භාජන නොවේ. ඔහු හෝ ඇය මහත්වීමකට ලක් වුවත් එය වර්ධනය වීමක් ලෙස දැක්විය නොහැකිය. එම නිසා යම් දරුවකුගේ වර්ධනය සඳහා උපරිම පෝෂණයක් මෙසමයේදී අත්‍යවශ්‍ය වේ.

ගැහැනු ළමයකුට වර්ධනය  සඳහා  කැල්සියම්  අවශ්‍ය  වන අතර යකඩද අනෙක් අයට වඩා ඔවුන් හට අවශ්‍ය ප්‍රෝටීන වර්ගයකි.  මාසිකව සිදුවන ඔසප් වීමකදී පිටවන රුධිරය මඟින් යම්කිසි යකඩ ප්‍රමාණයක් රුධිරය මඟින්  ඉවත් වන නිසා යොවුන් වියේ ගැහැනු දරුවකු එම යකඩ ප්‍රමාණය ශරීරයට බාහිරින් ලබා ගත යුතුය.  මෙහිදී ගැහැනු දරුවකුට නීරක්තිය සෑදිය හැකි අවදානම වැඩි අතර  එම නිසා ඔසප් කාලයේදී ඇයට යකඩ අත්‍යවශ්‍යම ප්‍රෝටීන් වර්ගයකි.

 ගැහැනු දරුවකුට යකඩ සංඝටකය අඩු වී  නීරක්තිය වැනි තත්ත්වයක් ඇති වූ විට,

-අලස බවක් ඇති වීම

-වැඩ කිරීමේදී මහන්සි ගතියක්

  ඇති වීම

-අධ්‍යාපන කටයුතුවලදී මානසික

     ඒකාග්‍රතාවක් තබා ගැනීමට

     අපහසු වීම

-නිතර නිතර ලෙඩ රෝගවලට

     මුහුණ දීමට සිදුවීම.

-අනාගතයේදී මාතෘත්වය

     ආරම්භයේදී මන්දපෝෂණය

     වැනි තත්ත්වයන්වලට මුහුණ

     දීමට සිදු වීම.

-පසුකාලයේ ලැබෙන දරුවන්ද

     යකඩ හීනතාවකට මුහුණ දීම

-අධික තෙහෙට්ටුව

-බර අඩුවීම

-නොරුස්සනා ගතිය

වැනි රෝග ලක්ෂණවලට ගොදුරු වීමට යොවුන් වියෙහි ගැහැනු ළමයකුට සිදු වේ. කෙසේ වෙතත් ලංකාවේ දරුවන්ගෙන් බොහොමයක් ප්‍රශස්ත ආහාර වේලක් ලබා නොගන්නා බව පර්යේෂණ මඟින් ඔප්පු වී ඇති අතර එයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ දිලි¾දුභාවයයි. මේ අවධියේ ගැහැනු දරුවන්ගේ ශරීරයට අවශ්‍ය පෝෂණය සපයන්නට අත්‍යවශ්‍යම ආහාර කාණ්ඩ තුනක් තිබේ. එනම්,

දශක්ති ජනක ආහාර

දවර්ධක ආහාර

දආරක්ෂක ආහාර

නම් වේ. යොවුන් වියේ දියණියකගේ ශරීරය ක්‍රමානුකූලව වර්ධනය වීමක් සිදු වන්නේ දිනකට මෙම ආහාර කාණ්ඩ තුනටම අයත් ආහාර වේල් තුනක් ශරීරයට ලැබුණහොත් පමණි. එම නිසා දිනකට මෙම වර්ග තුනටම අයත් ආහාර වේල් ලබා ගැනීම වැදගත් වේ. යොවුන් දියණියකට තමාගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යෑම සඳහා ශක්ති ජනක ආහාර අවශ්‍ය වන අතර වර්ධක ආහාර (මස්, මාළු, කිරි, බිත්තර, කවුපි, කඩල, මුං ඇට, හීන් පරිප්පු) අත්‍යවශ්‍ය  වේ. මෙම කාණ්ඩ දෙකටම අයත් ආහාර ලැබෙනවා නම් එය දරුවාගේ පෝෂණයට ඉතා වැදගත් වේ. ශරීරයේ ආරක්ෂාව පිණිස නිරෝගීව සිටීම සඳහා අවශ්‍ය ආහාර කාණ්ඩය ආරක්ෂක ආහාර වේ. එනම් එළවළු, පලතුරු, පලා වර්ග, වන අතර ගැහැනු දරුවකුට අවශ්‍ය විටමින්, යකඩ, කැල්සියම්, පොස්පරස්, අයඩීන්, සින්ක් යනාදි ඛනිජ එළවළු සහ පලතුරුවලින් ලැබේ.

ආහාර තුළින් කොපමණ විටමින් ප්‍රමාණයක් ලැබුණත් පවතින තත්ත්වය මත ඇතැම් මවුවරුන්ට තම දරුවාට අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර සපයා දීමට හැකියාවක් නැත. මූල්‍යමය ගැටලු සමඟ ඇතැම් මවුපියන් අසරණ වී ඇති අතර නිවෙසහි තිබෙන ආහාරයක් සකසා  දීමට මවුපියෝ පුරුදු වී සිටිති.  එහෙත් මවුපියන් ලෙස ඔබට කළ හැකි දේවල් ඇත.

මෙම ගැටලුවට එක් විකල්පයක් ලෙස සාපේක්ෂව මිල අඩු ආහාර මිලට ගත හැකිය. අපි අල වර්ග (අර්තාපල්, බතල, මඤ්‍ෙඤාක්කා, ඉන්නල, රාජාඅල, ගහල) වැඩි වශයෙන් අනුභව කරන්නේ නැත.  එහෙත් දැනට තිබෙන වාතාවරණය අනුව මෙම අල වර්ග වැවීමට අපට සිදු වේ. එසේම එම අල වර්ග ආදිය වවන ක්‍රමවේද සඳහා අප හුරු විය යුතුය. ඒවා ආහාරයට ගැනීමට හුරු විය යුතුය. ඒ සඳහා වැය වන්නේ අපගේ මුදල් නොව ශ්‍රමයයි.

උසස් තත්ත්වයේ ප්‍රෝටීන අඩංගු වී තිබෙන්නේ සත්ත්ව ආහාරවලය. විශේෂයෙන්ම බිත්තරවලය. එහෙත් මෙම කාලයේ බිත්තරවල මිල අධික වීම නිසා බොහෝ දෙනකු බිත්තර ප්‍රතික්ෂේප කරයි. එහෙත් මවුපියන් වන ඔබ නිවෙසහි යොවුන් වියේ පසුවන දරුවාට පමණක් හෝ බිත්තරයක් ආහාර වේලට එක් කර දීම සුදුසුය. බිත්තර සුදු මදයේ ප්‍රෝටීන  තිබෙන අතර මේ මොහොතෙහි මුදල් කළමනාකරණය කරගෙන හෝ දරුවාට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා දිය යුතුය.

ඔබට එසේ කිරීමටත් අපහසු නම් අනෙකුත් ඇට වර්ග එනම් මුං ඇට, කව්පි, කඩල, උ¾දු  සහ සෝයා ඇටවලින් සකස් කළ ආහාර බත් පිඟානට එකතු කර දීම සුදුසුය. සෝයා යනු ඉතාමත්ම හොඳ ප්‍රෝටීන වර්ගයකි. අපට මස්, මාළු ආදිය මිලට ගැනීමට නොහැකි නම් සුදුසුම දෙය වන්නේ ඉහත  ධාන්‍ය වර්ග ආහාරයට එකතු කර ගැනීමයි. කිරිපිටිද  මිල අධික බැවින් සුදුසුම දෙය වන්නේ දේශීය කිරි තම දරුවන් හට ලබා දීමයි. අද බොහෝ දරුවන් දියර කිරි ප්‍රතික්ෂේප කරන අතර මෙම තත්ත්වය මත අකැමැති වුවත් ඒ දේවල් සඳහා දරුවන් යොමු කිරීම මවුපියන් වන ඔබගේ වගකීමකි. කිරි තුළින් අස්ථි වර්ධනය සිදුවන අතර සාමාන්‍යයෙන් දරුවකුගේ අස්ථි වර්ධනය සිදුවන අවසාන කාලය යොවුන් විය වේ. එම නිසා දේශීය  පලා වර්ගද අනිවාර්යයෙන් ආහාරයට සකසා දිය යුතුය.

අපට අවශ්‍ය කරන පෝෂණය ලබා ගැනීමට අනෙක් විකල්පය වන්නේ එළවළුයි. යකඩ, කැල්සියම් ආදී ප්‍රෝටීන එළවළු තුළ  අඩංගු වී ඇති අතර ලෝක ආහාර සංවිධානය නිර්දේශ කර තිබෙන්නේ දිනකට එළවළු වර්ග තුනක් ආහාරයට ගත යුතු බවයි. මස්, මාළු වැනි සත්ත්වමය ආහාර අපගේ බත් පිඟානෙන් ඉවත් වුණු පසු ඒ වෙනුවට එළවළු, පලා වර්ග එක්කර ගත යුතුය. දේශීය පලතුරු ආහාරයට ගැනීමට  හුරු විය යුතුය.

යොවුන් වියෙහි පසුවන දියණියක් හට පෝෂණ තත්ත්වය අඩු වු පසුව අපි නොසිතන රෝගාබාධවලට මුහුණ දීමට ඔවුන්ට සිදු වේ. පෝෂණ උෟනතා දිගින් දිගටම පැවතුණහොත් වයසට කලින් (අවුරුදු 30 – 35 වන විට) ඔවුන් දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් සඳහා මුහුණ දෙන අතර  හෘදයාබාධවලට පවා මුහුණ දීමට ඔවුන්ට සිදු වේ. මෙම වයසෙහි දරුවන් ප්‍රධාන වශයෙන් තම රූපය ගැන සිතන අතර බාහිර රූපයට ප්‍රතිකාර කරනවාට වඩා සුදුසුම දෙය වන්නේ ශරීර අභ්‍යන්තරයට නිසි

පෝෂණයක් ලබා දීමයි.

සචිනි බස්නායක

මහාචාර්ය

රේණුක සිල්වා

මානව පෝෂණය

පිළිබඳ මහාචාර්ය

ශ්‍රී  ලංකා

වයඹ විශ්වවිද්‍යාලය