වසන්ත මුදලිගේ වෙනුවෙන් වන්නිලැත්තෝ ජනපති හමුවෙයි

0
17

වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිදෙනා පොලිස් භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට වැදි නායක දඹානේ වන්නිලැත්තෝ තීරණය කර තිබේ. වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් තිදෙනා එසේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කනගාටු වෙන බවද වන්නිලඇත්තෝ පැවැසීය.

සිය රට ජාතිය පිළිබඳව ඇති කැක්කුම නිසා වසන්ත මුදලිගේ වැන්නවුන් අරගලයක නිරත වූ බවත් කාලයක් තිස්සේ ඔවුන් කළ අරගලයේ ප්‍රතිඵලය නිසා ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට මෙම තනතුරු හිමි වූ බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා කළගුණ දන්නා අයෙක් නම් වසන්ත මුදලිගේ මේ ආකාරයෙන් රඳවා නොගෙන නිදහස් කර හැරීමට අවශ්‍ය පියවර ගත යුතු බවද ඔහු පැවැසීය.

තමා දන්නා තරමින් ඔවුන් වැරැදිකරුවන් නොවන බවත් ඔවුන්ට එරෙහිව යම් චෝදනාවක් ඇත්නම් මෙසේ රඳවා තබාගෙන ඔවුන්ට එරෙහිව ඉතා කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත යුතුව ඇති බවද වැදි නායකයා පැවැසීය.

ලෝකයේ රටවල් 136ක ආදිවාසීන් ජීවත් වන බවද වසන්ත මුදලිගේලා රඳවා තබාගැනීම ලෝකයා වෙත යෑමට පෙර ඔහු නිදහස් කරහැරීමට ජනාධිපතිවරයා වග බලා ගත යුතු බවද ආදිවාසි නායකයා පැවැසීය.

ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝග මත තෙමසක කාලයක් පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් තිදෙනා නිදහස් කර හැරීම සඳහා ජනාධිපතිවරයාව දැනුවත් කරන ලෙසට සමාජ ක්‍රියාකාරීන් පිරිසක් වන්නිලඇත්තන් හමුවී කළ කරුණු දැක්වීමකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.

වසන්තගේ පියා තම වරිගයේ කෙනකු නොවුණත් ඔහුගේ මව තම වරිගයේ කැකුළියක් බවද ඉතා සාධාරණ ආකාරයෙන් මොවුන් රඳවා  තබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී ඉතා කඩිනමින් කරුණු දැක්වීමට අදහස් කරන බවද වන්නිලඇත්තෝ සමාජ ක්‍රියාකාරී පිරිස වෙත වැඩිදුරටත් දැන්වීය.

කුමුදු උපුල් ශාන්ත