මුලතිව් මුහුදේ මසුන් මැරූ ඉන්දීය ධීවරයෝ 12ක් රිමාන්ඩ්

0
170

මුහුදු සීමා උල්ලංඝනය කරමින් මුලතිව් මුහුදේ මසුන් මරමින් සිටියදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයන් 12 දෙනකු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ත්‍රිකුණාමල ප්‍රධාන මහෙස්ත්‍රාත් පයාස් රසාක් මහතා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට නියම කළේය.

සැකකරුවන් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමල ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට භාරදීමෙන් පසු ධීවර නිලධාරීන් විසින් සැකකරුවන් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එම ධීවරයන් මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරමින් පැවැසුවේ ධීවර හා ජලජ සම්පත් අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතියකින් තොරව ශ්‍රී  ලංකාවට අයත් දේශීය ජල තීරයට ඇතුළු වී මුලතිව් මුහුදට ඔබ්බෙන් ධීවර රැකියාවේ යෙදුණු බවයි.

ඒ අනුව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පැවැසුවේ ඉන්දීය ධීවරයන් මුහුදේ ඇති තද සුළං තත්ත්වය හේතුවෙන් ශ්‍රී  ලංකා මුහුදු තීරයට ගසාගෙන පැමිණ ඇති බවයි.

සැකකරුවන් බන්ධනාගාර ගත කළ මහෙස්ත්‍රාත්වරයා ඉන්දීය ධීවර යාත්‍රා‍ව නැඟෙනහිර නාවික ආඥාපති භාරයේ තැබීමටද නියෝග කළේය. ඉන්දියන් ධීවරයන් අල්ලාගත් මසුන් කිලෝග්‍රෑම් 1,611ක් ලංකා ධීවර සංස්ථාවට අලෙවි කර එම මුදල් අධිකරණ ගිණුමේ තැන්පත් කිරීමට ධීවර නිලධාරීන් කළ ඉල්ලීමට මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ