මිද්දෙණිය මල්ශාලා හිමිකරුගේ ඝාතනයට ‘ඇට සුද්දා’ රිමාන්ඩ්

0
13

මිද්දෙණියේ මල් ශාලා හිමිකරුගේ ඝාතනයට කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන මිද්දෙණියේ කෝටිපති ව්‍යාපාරිකයා 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පෙරේදා (10දා) නියෝග කෙරිණි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මිද්දෙණිය නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන 54 හැවිරිදි සිවුදරු පියකු වන “ඇට සුද්දා” නමැති අයයි.

පසුගිය ජුනි මස 26 වැනි දින මිද්දෙණිය නගරයේදී 52 හැවිරිදි තිදරු පියකු වන ඒ. කේ. පී. ප්‍රභාත් මංජුල නමැති මල්ශාලා හිමිකරුවකු වෙඩි තබා ඝාතනය කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී වෙඩි තැබීම කළ බව කියන පුද්ගලයා හා වෙඩි තැබීම සඳහා පැමිණි කාර් රථය පැදවූ රියැදුරු හා ඔවුන්ට සහාය දැක්වූ බව කියන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ටී 56 වර්ගයේ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබුණේ මෙම ඝාතනය සඳහා වූ කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ මිද්දෙණියේ  “ඇට සුද්දා” නමැති ඉහත ව්‍යාපාරිකයා බවයි. ඒ අනුව පොලිසිය අදාළ ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී සැකකාර ව්‍යාපාරිකයා නීතිඥයන් කිහිපදෙනකු මාර්ගයෙන් පසුගිය 08 වැනි දින තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාරවීමෙන් පසු මිද්දෙණිය පොලිසියට භාර කෙරිණි.

පසුව මිද්දෙණිය පොලිසිය විසින් සැකකාර ව්‍යාපාරිකයා 09 දින සවස වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී සැකකරු 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වලස්මුල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ව්‍යාපාරිකයාගේ දියණියක ඝාතනයට ලක්වූ මල්ශාලා හිමිකරුගේ පුතාගේ මිතුරෙක් සමඟ යෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආරවුලක් බවයි.

ඊට මුල්වී ඇති සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න මහතාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් හා මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මත්තල – ඩී. එන්. ජයසේකර