මහින්දගෙ නායකත්වයෙන් නව සන්ධානයක්

0
200

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන්  ඉදිරියේදී නව දේශපාලන සන්ධානයක් ගොඩනඟන බව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පැවැසීය.

එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය ලෙස ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බවද නාමල් රාජපක්ෂ මහතා කීය. එම සන්ධානය ගොඩනැඟීම වෙනුවෙන් දේශපාලන කණ්ඩායම් සමඟ මේ වන විටත් සාකච්ඡා අරඹා ඇති අතර එම සාකච්ඡා සාර්ථක මට්ටමේ පවතින බවද නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණු දේශපාලන බල කඳවුර කඩා වැටීමට නොදී රැක ගැනීම පිණිසත් ඉදිරි මැතිවරණයට ශක්තිමත්ව මුහුණදීමටත් වැඩසටහන් රැසක් ආරම්භ කර ඇතැයිද රාජපක්ෂ මන්ත්‍රිවරයා කීය.

පොදුජන පෙරමුණ ප්‍රධානව ආරම්භ කරන මෙම නව සන්ධානය තුළින් තම පාර්ශ්වයට ජනතාවට ඉටු කළ නොහැකි වූ බලාපොරොත්තු ඉටු කරදීමට කටයුතු කරන බවද රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් පොදුජන පෙරමුණ නායකත්වය ලබා දෙන බවද නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

දැදිගම ප්‍රදේශයේ  ඊයේ (11දා) පැවැති දේශපාලන වැඩසටහනකදී රාජපක්ෂ මහතා මෙම අදහස් පැවැසීය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය