මත්ද්‍රව්‍ය වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට ගම්වැසියන්ගෙන් ප්‍රහාරයක්

0
8

ආණමඩුව පොලිස් වසමේ පුරාණගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිවු දෙනකු රෝහල් ගත කර ඇත.

පුත්තලම කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකයට ලැබුණු තොරතුරක් මත එම ඒකකයේ නිලධාරීන් හය දෙනකු ආනමඩුව පුරාණගම ප්‍රදේශයට ගොස් ඇත්තේ සිවිල් ඇඳුමෙනි. ඉන් නිලධාරීන් දෙදෙනකු නීති විරෝධී මත්පැන් වැටලීමකට එක්ව සිටියදී සෙසු නිලධාරීන් සිවු දෙනා මත්ද්‍රව්‍ය සන්තකයේ ඇති බවට ලද තොරතුරක් මත සැක සහිත පුද්ගලයන් දෙදෙනකු පරික්‍ෂා කර තිබේ.

පසුව ඔවුන් දෙදෙනා සමඟ මාර්ගයේ ගමන් කරමින් සිටියදී තවත් පුද්ගලයකු පරීක්‍ෂා කිරීමට යෑමේදී ඊට විරෝධය දක්වමින් ඒ අවට පදිංචි පිරිසක් පොලිස් නිලධාරීන් සමඟ බහින් බස් වී ගැටුමට මුල පුරා ඇත.

ඉන් පසුව එම පිරිස පොලුවලින් සහ මොට ආයුධවලින් පොලිස් නිලධාරීන්ට පහරදී තිබේ. පසුව තුවාල ලත් නිලධාරීන් සිවු දෙනා බරපතළ තත්ත්වයෙන් පුත්තලම රෝහලට ඇතුළත් කර ඇත.

ඒ මොහොතේ පොලිස් නිලධාරීන් භාරයේ සිටි සැකකරුවන් දෙදෙනාද එම ස්ථායෙන් පලා ගොස් තිබේ.

පසුව කරන ලද විමර්ශනයේදී නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් සොයා ආනමඩුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරමින් සිටි.

කීර්ති මෙන්ඩිස්