පාස්කු ප්‍රහාරය ගැන සොයන්න ස්කොට්ලන්ඩ්යාඩ් සහාය ගන්නවා

0
195

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවන් සහිතව කටයුතු කරන අතර ඒ සඳහා මාස හයක කාලයක් සියලු පක්‍ෂ වෙනුවෙන් ලබාදී ඇති බවත්, එසේ සිදු නොවනවා නම් ජනමත විචාරණයක් මඟින් රටේ අදහස් විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

දේශපාලන පක්‍ෂවලට මුවාවී මෙම කරුණු සදහටම කල්දැමිය නොහැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානි සමන්තා පවර් මහත්මිය සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11දා) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එසේ සඳහන් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් පරිපාලනය වෙනුවෙන් පළමු කැබිනට් අත්පොත හඳුන්වා දීමට නියමිත අතර ඒ අනුව කැබිනට් මණ්ඩලයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා පරිපාටීන් ස්ථාපිත කර ඇති බවත් වික්‍රමසිංහ මහතා පෙන්වාදී තිබේ.

රට තුළ ආන්දෝලනයට ලක්ව ඇති සහ එය පිටුපස සැඟවුණු හස්තයක් තිබෙන බව සඳහන් කෙරෙන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය වෙනුවෙන් තාක්‍ෂණික සහ අනෙකුත් සහායන් සඳහා ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ සහාය ලබාගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජනතාව සමඟ ඍජු සාකච්ඡාවක් ඇති කරගෙන ඇති අතර රැඳවුම් කාලය සහ නෛතික කරුණු සැලකිල්ලට ගනිමින් ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කළද දළදා මාලිගාවට පහර දීමට සම්බන්ධවූ ත්‍රස්තවාදීන්ට සහ කරුණු තහවුරු වූ ත්‍රස්තවාදීන්ට ඒ යටතේ කටයුතු නොකරන බවටත් වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇත.

වත්මන් ආර්ථික අභියෝග හමුවේ  පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කර ගනිමින් යළි ගොඩනැඟීමට එක්සත් ජනපදයේ සහාය තවදුරටත් ලබාදෙන බව සමන්තා පවර් මහත්මිය මෙහිදී සහතික වී ඇත.

තවත් ඩොලර් මිලියන 60ක ආධාර ශ්‍රී ලංකාවට පිරිනැමීමට කටයුතු කරන බවත් රට මුහුණදී ඇති අභියෝග පිළිබඳ සස¼දා බලන විට එය ඉතා කුඩා ආධාරයක් බව තමා පිළිගන්නා නමුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල පෞද්ගලික අංශය සහ ශ්‍රී ලංකාව වෙත නව ආයෝජන ලබාදීම සඳහා අපේක්‍ෂාවෙන් සිටින ආයෝජකයන්ටත් සමස්ත ජනතාවටත් නව ප්‍රවේශයක් සඳහා අවශ්‍ය උත්ප්‍රේරකයක් වීමට තම රට සැමවිටම කටයුතු කරන බවටද ඇය සහතික වී ඇත.

ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ආර්ථික න්‍යාය පත්‍රය අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සඳහා එක්සත් ජනපදය සිය ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කරදීමට සහතික වන බවත් සමන්තා පවර් මහත්මිය මෙහිදී අවධාරණය කර ඇත.