ප්‍රතිඵල දී මාස තුනකින් උසස් පෙළ පැවැත්වීම අසාධාරණයි

0
186

අ.පො.ස. (උසස් පෙළ) 2022 විභාගය පෙර වසරේ ප්‍රතිඵල නිකුත් කොට මාස තුනක් පමණ කාලයකට පසු පැවැත්වීම කිසිසේත්ම සාධාරණ නොවන බවත් ඒ සඳහා සිසුන්ට සූදානම් වීමට සාධාරණ කාලයක් ලබා දීමට පියවර.

ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.  උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු කණ්ඩායම් තමන් වෙත යොමු කර තිබෙන විශාල නියැදියක් උපයෝගි කරගනිමින් සිදු කරන ලද සමීක්ෂණයක

ප්‍රතිඵලවලට අනුව මෙවර උසස් පෙළ විභාගය 2023 පෙබරවාරි මාසය දක්වා කල් දමන ලෙස සිසුන්ගෙන් සියයට 78ක් ඉල්ලා සිටින බවත් හෙතෙම කීය. දීර්ඝ කාලයක් පාසල් වසා තැබීම හේතුවෙන්ද දින සියයක ගුරු වර්ජනය හේතුවෙන්ද ආර්ථික ආපදා තත්ත්වය හමුවේ පැනනැඟුණු ඉන්ධන අර්බුදය හේතුවෙන්ද දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවන් එල්ල වූ බවත්

අධ්‍යාපන ඇමැතිවරයාට ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත.  2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පළමු වරට, දෙවැනි හා තෙවැනි වරටද පෙනී සිටින සිසුන් එම විභාගය 2022 දෙසැම්බර් 05 වැනිදා පැවැත්වීමට තීරණය කිරීම හේතුවෙන්ද දැඩි පීඩනයකට ලක්ව ඇති බවත් මන්ත්‍රිවරයා මෙම ලිපියෙන් පෙන්වා දී තිබේ.

එසේම වත්මන් අර්බුදකාරී තත්ත්වයන් මත අප රටෙහි අධ්‍යාපන පද්ධතිය මුහුණපා ඇති ගැටලු, පසුබෑම් ක්‍රමිකව මඟහරවා ගත යුතු අතර ඊට පිළියම් ලෙස සිසු මනස පීඩාවට හා ව්‍යාකූලත්වයට පත් නොකළ යුතු බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කර ඇත.

මිතුන් ජයවර්ධන