නිතර අඬන චරිත කරන්න ආස නෑ

0
198

උරුම වුවත් සහජයෙන් හැකියා, ඒවාට අදාළ ක්ෂේත්‍රයන්ගෙන් ඉදිරියට යෑමට කැමැත්තක් හා උනන්දුවක් තිබීම අත්‍යවශ්‍යයි. 2021 වර්ෂයේ ITN අවුරුදු කුමරිය තරගාවලියේ අවසන් ‍ෙදාළොස් දෙනාට තේරී පත්වුණු ඇය සිය උත්සාහයෙන් හා කැපවීමෙන් තම රංගන කුසලතාව වර්ධනය කර ගනිමින් මේ දිනවල විකාශය වන ‘කියාදෙන්න ආදරේ’ ටෙලි නාට්‍යයේ ‘රුචී’ගේ චරිතයටත්, ‘පාර දිගේ’ ටෙලි නාට්‍යයේ ‘නිරාෂා’ගේ චරිතයටත් රංගන දායකත්වය ලබාදෙනවා.

යොවුන් රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක ඔබේ අවධානය දිනාගත් ඇය නමින් ‘තත්සරණි පියුමිකා’යි. මෙවර her සමඟ ඇයගේ තොරතුරු බෙදාගන්නට අප සමඟ ඇය මෙලෙස එක්විය. දමේ දිනවල ඔබේ වැඩකටයුතු කෙසේද සිදු වන්නේ?

මම මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය දෙකේ රූගත කිරීම් සඳහා සහභාගි වෙනවා. ඊට අමතරව තවත් අලුත් වැඩ දෙකක් පටන් ගත්තා. ඒ වැඩකටයුතුවල නිරත වෙනවා.

– ඔබට රංගනයට පිවිසෙන්න පසුබිම සැකසුණේ කෙසේද?

මම 2021 ITN අවුරුදු කුමාරි තරගයට සහභාගි වුණා. එහිදී අවසන් ‍ෙදාළොස් දෙනාට පැමිණෙන්න හැකි වෙනවා. ඒ හරහා මට ප්‍රථමයෙන් ‘පාර දිගේ’ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා.

– ඔබේ රංගන කටයුතු සඳහා

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කෙබඳුද?

මම මුලින්ම රංගන දායකත්වය ලබාදෙන්නේ ‘පාර දිගේ’ ටෙලි නාට්‍යයට. එහිදී මට ප්‍රවීණයන්ගෙන් නොඅඩුවම සහයෝගය ලැබුණා. රූගත කිරීම් අතරතුර රොෂාන් පිලපිටිය මහතා සහ ගයත්‍රි ඩයස් මහත්මියගෙන් නිතරම සහයෝගය ලැබෙනවා.

රූගත කිරීම්වලට ගිය මුල් දිනවල බයවෙලා ඉද්දී එයාලා නිතරම මාව දිරිමත් කළා. ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේදීත් එහි අධ්‍යක්ෂතුමා වන ධනුෂ්ක සර්ගෙනුත් ශමිනි තාරකා අක්කාගෙනුත් මට නිරන්තර සහයෝගය ලැබෙනවා රංගන කටයුතු හොඳින් කරගෙන යන්න.

– ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර පිළිබඳ කතා කළොත්?

‘පාර දිගේ’ ටෙලි නාට්‍යයේ චරිතයට මුලදි නම් හොඳ ප්‍රතිචාර ලැබුණේ නෑ. ඒත් දැන් ප්‍රේක්ෂකයො තේරුම් අරගෙන තියෙනවා ඒ චරිතයෙ ස්වභාවය කියලා. ඒ නිසා මේ දිනවල පාරදිගේ ටෙලි නාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ නම් ‘රුචී’ගේ චරිතයට පණ්ඩිතයි කියලත් කියනවා. ඒ චරිතයට හොඳ – නරක දෙකම අහන්න ලැබෙනවා.

– යොවුන් රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පිවිසෙන්නට කැමැති අයට දෙන පණිවුඩය කුමක්ද?

ක්ෂේත්‍රයට එන්න ලේසියි. නමුත් රැඳෙන්න අමාරුයි. මුලින්ම ක්ෂේත්‍රය ගැන කැමැත්තක් උනන්දුවක් තිබීම අත්‍යවශ්‍යයි. ඒ වගේම නිරන්තරයෙන්ම කැපවීමෙන් උත්සාහයෙන් ඉවසීමෙන් කටයුතු කරන්න ඕනෑ. නිර්මාණ තෝරා ගැනීමේදී මුලින්ම පිටපත කියවලා ඒ චරිතය තමන්ට සුදුසුද කියලා තෝරා ගන්න ඕනෑ. නිතරම අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න අවශ්‍යයි. හොඳ නිර්මාණ භාර ගැනීම සුදුසුයි.

– රංගනයට අමතරව ඔබ කැමැති වෙනත් දේවල් ගැනත් සඳහන් කළොත්?

මම රංගනයට අමතරව නර්තනයට කැමැතියි. පාසලේ 6-9 ශ්‍රේණිය දක්වා නර්තනය විෂයක් ලෙස හදාරනවා. 9 ශ්‍රේණියෙන් පසුව නාට්‍ය හා රංග කලාව හදාරනවා.

– ඔබේ රංගන කටයුතුවලට සහාය වන්නන් ගැනත් සඳහන් කළොත්?

මගේ අම්මායි තාත්තායි නිතරම සහයෝගය දෙනවා. ඒ දෙන්නා නිසා තමයි මම මේ ක්ෂේත්‍රයේ මෙපමණ දුරක් පැමිණියේ.

– නවකයෙක් ලෙස ක්ෂේත්‍රයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් දියුණු කරගත යුතු දේවල් මොනවාද?

රංගනය පිළිබඳව නිවැරැදි හැදෑරීමක් හා අවබෝධයක් ඇතිව ගමනක් යනවා නම් ක්ෂේත්‍රය තුළ ඉදිරි පැවැත්මක් තිබෙනවා.

– රංගන කටයුතුවලදී සිදුවුණු අමතක නොවන සිදුවීම් ගැනත් කතා කළොත්?

රූගත කිරීම්වලදී වැරැදීම් වෙනවා. බයටම දෙබස් අමතක වෙලා තිබෙනවා. ඒත් පසුව ඒවා නිවැරැදි කරගෙන ඒ ඒ අවස්ථාවන්වලදී හරියට රංගන කටයුතු කරන්න හැකි වෙනවා. බැනුම් අහන්න සිදු වුවත් චරිතය නිවැරැදිව කළ විට හොඳයි කියලා කියනවා. ඒ වගේ හොඳ දිරිමත් කිරීම් ලැබෙනවා. රංගන කටයුතුවලදී ඒ වගේ අමතක නොවන සිදුවීම් එකක් කියලා නෑ ගොඩක් තිබෙනවා.

දයොවුන් රංගන ශිල්පිනියක් ලෙස ඔබ කැමැති විලාසිතා ගැනත් සඳහන් කළොත්?

මම කිසිවෙක් අනුකරණය කරන්නේ නෑ. විශේෂයෙන් විලාසිතා කරන්නේ නෑ. මට ගැළපෙන හොඳයි කියලා හිතෙන විලාසිතා කරනවා.

– නිරෝගී බව සහ සුන්දරත්වය පවත්වාගෙන යෑමට කරන දේවල් මොනවාද?

මම එහෙම විශේෂ ආහාර ගන්නේ නෑ. සාමාන්‍ය විධියට ආහාර ගන්නවා. සුන්දරත්වය රැකගන්න කියලා විශේෂ දේවල් අනුගමනය කරන්නේ නෑ. රංගන කටයුතුවලදී නිතර මේකප් කරන්න සිදුවෙනවා. ඒ නිසා රංගන ක්ෂේත්‍රයේදී පෙනුම හොඳින් පවත්වා ගැනීම වැදගත් නිසා මුහුණට පමණක් සත්කාර කරනවා.

– යොවුන් රංගන ශිල්පිනියක් ලෙස රටෙහි වර්තමාන තත්ත්වය පිළිබඳ ඔබේ අදහස කොහොමද?

තෙල් අර්බුදය නිසා රූගත කිරීම් නැවතිලා අපිට නිවෙස්වලට වෙලා ඉන්න සිදුවුණා. ඒ නිසා වැඩ ගොඩක් අතරමඟ නතර වෙලා ලොකු බලපෑමක් වුණා.

දයොවුන් රංගන ශිල්පිනියක් ලෙස කලා ලොවේ ඔබ කැමැති ප්‍රවීණ රංගන ශිල්පිනියන් සිටිනවාද?

මෑතකාලීනව මම කැමතිම රංගන ශිල්පිනිය තමයි ශලිනි තාරකා අක්කා. ඊට අමතරව සමනලී ෆොන්සේකා, කෞෂල්‍යා ප්‍රනාන්දු යන අයටත් කැමැතියි.

– ඔබ රංගනයෙන් දායක වෙන්න කැමැති චරිත මොනවාද?

මම හොල්මන් චරිත, පොලිස් චරිත වගේ දෙයක් කරන්න පුළුවන් චරිත කරන්න කැමැතියි. නිතර අඬන  චරිත කරන්න කැමැති නෑ. රාමුවකට කොටු නොවී එතැනින් එහාට ගිය චරිත කරන්න කැමැතියි.

දඔබ ඉගෙනගත් පාසල හා අධ්‍යාපන කටයුතු ගැන මතක් කළොත්?

මම 1 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වාම ඉගෙනුම ලැබුවේ කොලොන්නාව බාලිකා විද්‍යාලයේ. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා මම නාට්‍ය හා රංග කලාව විෂයක් ලෙස හදාරනවා. 2019 වර්ෂයේ මම අ.පො.ස. උසස් පෙළ විභාගයට කලා විෂය ධාරාව යටතේ පෙනී සිටිනවා.

දඔබේ පවුල, ජීවත් වන ප්‍රදේශය සඳහන් කළොත්?

මගේ පවුලේ මමයි, අම්මායි, තාත්තායි, මල්ලියි. මල්ලි ලබන වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා. මම ජීවත් වෙන්නේ රාජගිරිය ප්‍රදේශයේ.

– ඔබේ අනාගත බලාපොරොත්තු ගැනත් මතක් කළොත්?

 තවදුරටත් ඉදිරියට රංගනය හදාරමින් රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

ටී. නිපුනි සමෝද්‍යා වත්තෙගම