දැරියක අපයෝජනය කළ කරාපිටියේ ‍ෙදාස්තර ගැන පරීක්‍ෂණ

0
9

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි  අනතුරු ඒකකයේ විකිරණ අංශය තුළදී 15 හැවිරිදි දැරියක් බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන්.

රෝහල මඟින්ද පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය  එස්. පී. යූ. එම්. රංග පැවැසීය. මේ පිළිබඳ පොලිසිය මඟින්ද විමර්ශනයක් සිදුකරන බව සඳහන් කළ රෝහල් අධ්‍යක්‍ෂවරයා මෙම සිද්ධිය සම්බන්ධව ආයතන මට්ටමින්ද පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව පැවැසීය. මෙකී සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල දැරිය නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයා විසින් තමන් වෙත යොමු කොට ඇති බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවැසීය.

දැරිය ස්කෑන් පරීක්ෂණයට ලක්කරන අවස්ථාවේදී එහි රෝහල් උපස්ථායිකාවක්ද සිට ඇති බවත් එවැනි සිද්ධියක් සිදුවී නොමැති බවට එම උපස්ථායිකාව සඳහන් කොට ඇති බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවැසීය. දැරියගේ මව විසින් මෙකී සිද්ධිය සම්බන්ධව ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත කරනු ලැබූ පැමිණිල්ලකට අනුව අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් මෙකී විමර්ශනය ආරම්භ කොට ඇත.

මෙම දැරිය  රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා  මවත් සමඟ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව නේවාසික ප්‍රතිකාර ලබාගෙන සිට ඇත. ඉකුත් 08 වැනි දින දැරිය ස්කෑන් පරීක්ෂණයක් සඳහා විකිරණ අංශය වෙත ගොස් ඇත.  ස්කෑන් පරීක්ෂණය සිදුකිරීමේදී එහි සිටි සැකකාර වෛද්‍යවරයා විසින් මෙම දැරිය බරපතළ ලෙස ලිංගිකව අපයෝජනයට ලක්කොට ඇති බව පොලිසිය පවසයි.

ස්කෑන් පරීක්ෂණයෙන් පසු දැරිය නේවාසිකව සිටින වාට්ටුවට ගොස් ඇත. තමන්ගේ රහස් ප්‍රදේශය රිදෙන බව දැරිය තම මවට ප්‍රකාශ කොට ඇත. ඒ පිළිබඳ මව දැරියගෙන් විමසා ඇත. දැරිය මවට සියල්ල ප්‍රකාශ කොට ඇත. පසුව මේ පිළිබඳ රෝහලේ වාට්ටුවේ සිටි ප්‍රධාන වෛද්‍යවරයාටද දැනුම්දී ඇත. පසුව මේ පිළිබඳ මව දැරියත් සමඟ පැමිණ ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කොට ඇත. දැරියගෙන් මේ සිද්ධිය සම්බන්ධව පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙකී සිද්ධියට සම්බන්ධ බව කියන සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතා පැවැසීය.

ගාල්ල – කමල් විජේහේවා