දමිතා බලන්න ගිය හරිනිට බාධා කිරීම ගැන වාර්තාවක් ඉල්ලයි

0
13

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මියගේ සුව දුක් බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට බන්ධනාගාරය තුළට ඇතුළුවීමට ඉඩ ලබා නොදී බාධා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාගෙන්  වාර්තාවක් කැඳවා තිබේ.

බන්ධනාගාර ගත කර සිටින දමිතා අබේරත්න මහත්මිය හමුවීම සඳහා තමන්ට අවස්ථාව සලසා දෙන ලෙසට මන්ත්‍රි  හරිනි අමරසූරිය මහත්මිය පෙරේදා (10දා) පෙරවරුවේ එහි ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති නමුත් ඔවුන් එම ඉල්ලීම නොසලකා හැර මන්ත්‍රිවරියව විනාඩි 45ක් පමණ බන්ධනාගාර ‍ෙදාරටුවේ රඳවා තබාගෙන ඇති බවද වාර්තා වෙයි. ඇය එසේ එම ස්ථානයේ රැඳී සිටින අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දමිතා අබේරත්න මහත්මිය හමුවීම සඳහා වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශය වෙත යෑමට පැමිණ ඇති බවත් එහි සිටි නිලධාරීන් කිසිදු බාධාවකින් තොරව විපක්ෂ නායකවරයාට දමිතා අබේරත්න මහත්මියව හමුවීම සඳහා ඉඩ ලබාදී ඇති බවද දැන ගැනීමට ඇත. කිසිදු බාධාවකින් තොරව විපක්ෂ නායකවරයා බන්ධනාගාරය වෙත ඇතුළුවීමෙන් පසුව එම ආරක්ෂක මැදිරියේ සිටි නිලධාරීන් විනාඩි 45කට පසු හරිනි අමරසූරිය මහත්මියටද දමිතා අබේරත්න මහත්මියව හමුවීම සඳහා ඉඩ ලබාදී තිබේ.

විනාඩි 45ක් යනතුරු දමිතා අබේරත්න මහත්මියව හමුවීම සඳහා තමන්ට ඉඩ ලබා නොදුන් එහි සිටි ආරක්ෂක නිලධාරීන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු බාධාවකින් තොරව ඉඩ ලබාදුන් බවත් සජිත් ප්‍රේමදාස මහතා එම ස්ථානයට නොපැමිණියේ නම් දමිතා අබේරත්න මහත්මිය හමුවීම සඳහා තමන්ට අවස්ථාව නොලැබීමට ඉඩ තිබුණු බවද මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හරිනි අමරසූරිය මහත්මිය පැවැසුවාය.

එහි ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් වන තමාගේ වරප්‍රසාද කඩ කර ඇති බවට ඇය මාධ්‍ය වෙත කළ ප්‍රකාශයෙන් පසුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය විසින් වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවැසීය.

කුමුදු උපුල් ශාන්ත