ජනාධිපති ධුරය බැසිල්ගෙන් ණයට ගත්ත රනිල් ජනතාවට බෙදන්නේ කන් හැන්දෙන්

0
12

“ජනාධිපතිකම බැසිල්ගෙන් ණයට ගත්තු රනිල් අද ඇමැතිවරුන්ට බැකෝවලින් බෙදලා මිනිසුන්ට කන් හැන්දෙන් බෙදනවා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

ජවිපෙ ප්‍රධාන කාරයාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ අදහස් පළකළේය.

අනුර කුමාර මහතා එහිදී මෙසේද කීය.

“රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව රාජ්‍ය අමාත්‍ය ධුර 37ක් පත්කර තිබෙනවා. කෙටි කාලයක් ඇතුළත තවත් කැබිනට් අමාත්‍ය ධුර ගණනාවක් ලබාදීමට නියමිතයි. සාමාන්‍ය ජනතාවට තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න බැරි තරම් ආර්ථික අමාරුකම් තිබෙන අවස්ථාවක, පසුගිය මාස කිහිපය තුළ ඉන්ධන මිල හතර ගුණයකට වඩා වැඩිකර විදුලි ගාස්තු දෙගුණයකින් හෝ තුන් ගුණයකින් ඉහළ දමා තිබෙනවා. ජල ගාස්තුත් වැඩිකර අත්‍යවශ්‍ය ආහාරපාන මිල ගණන් විශාල වශයෙන් ඉහළ යවා තිබෙනවා. ජනතාව එදිනෙදා ගැටලු රාශියකට මුහුණදී සිටිනවා. ආණ්ඩුව ප්‍රමුඛතාව දිය යුත්තේ ජනතාවගේ මේ ගැටලු විසඳන්නයි. නමුත් වර්තමාන ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ අයගේ අභ්‍යන්තර ගැටලු විසඳා ගන්නයි.

රනිල් වික්‍රමසිංහ තමන් තෝරා පත්කර ගන්න ඡන්දය දුන් 134 දෙනාගේ ගැටලු විසඳීමේ යෙදී සිටිනවා. තමන්ගේ ආච්චි සහ සීයා “ණයක් ගත්තොත් ගෙවන්න” යනුවෙන් උපදෙස් දී ඇති බව රනිල් වික්‍රමසිංහ පක්‍ෂ සමුළුවේදී ප්‍රකාශ කළා. රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ධුරය බැසිල් රාජපක්‍ෂගෙන් ණයට ගත් එකක්. දැන් ඒ ණය පියවීමට පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රිවරු 29කට රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන 06ක් සහ සජබ නියෝජනය කරන දෙදෙනකුට රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදී බැසිල් රාජපක්‍ෂගේ ණය ගෙවමින් සිටිනවා. ඊට අමතරව තව කැබිනට් අමාත්‍ය ධුරත්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපති ධුරත්  ලබාදී තිබෙනවා.

 රනිල් වික්‍රමසිංහ බැසිල්ගේ ණය ගෙවීමට පත්කරන රාජ්‍ය ඇමැතිවරුන් වැටුප් ගන්නේ නැති බවට ප්‍රචාර ගෙනයනවා. ඔවුන්ට වැටුප අදාළම නැහැ. 2016 අප්‍රේල් මාසේ 19 වැනිදා රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව නිකුත් කළ චක්‍රලේඛයට අනුව ඇමැතිවරුන්ට ලබාදී ඇති ප්‍රතිපාදන එලෙසින්ම රාජ්‍ය අමාත්‍යවරුන් සඳහාද වලංගු කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයකුට අහිමි එකම දේ කැබිනට් මණ්ඩලයට සහභාගි නොවීම පමණයි. අදාළ අමාත්‍යවරයා මඟින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ යුතුයි.

රාජ්‍ය අමාත්‍යවරුන්ට නිල වශයෙන් වාහන 03ක් ලැබෙනවා. බස්නාහිර පළාත තුළ නම් පෙට්රල් වාහන එකක් සඳහා ලීටර් 600ක් සහ බස්නාහිර පළාතෙන් පිට ලීටර් 750ක් මසකට ලැබෙනවා. ඩීසල් වාහනයක් නම් බස්නාහිර පළාත තුළ ලීටර් 500ක් සහ ඉන් පිට ලීටර් 600ක් ලැබෙනවා. මෙවැනි වාහන 03ක් සඳහා පෙට්රල් ලීටර් 2,250ක් ලැබෙනවා. පවුලක් ජීවත් කරවන ත්‍රීවීල් එකකට දෙන්නේ ලීටර් 05යි. රාජ්‍ය ඇමැතිවරුන්ට පෙට්රල් ලීටරයක් රු. 450 බැගින් රුපියල් 1,0125,00ක් මාසයකට තෙල් සඳහා ලැබෙනවා. ඩීසල් වාහනයක් නම් ලීටර් 1,800ක් ලැබෙනවා. රු. 430 බැගින් රු. 778,000ක් ලැබෙනවා. එක් රාජ්‍ය අමාත්‍යවරයකුට තෙල් සඳහා විශාල වරප්‍රසාදයක් හිමි වෙනවා.

ඒ වගේම ඇමැතිවරයකුට දුරකථන කාර්යාලයට දෙකක්, නිවාසයට දෙකක් සහ ජංගම දුරකථනයක් ලැබෙනවා. කාර්යාලයේ දුරකථන දෙක වෙනුවෙන් රු. 20,000ක් රාජකාරි නිවාස දුරකථනය වෙනුවෙන් රු. 10,000ක් සහ ජංගම දුරකථනයට රු. 10,000ක් වශයෙන් රු. 40,000ක් ලබාදෙනවා. මේ මුදල් ලබාදෙන්නේ මාසික ස්ථාවර ගාස්තුවලට සහ බදු මුදලට අමතරවයි. ඉන්ධන සඳහාත් මිල ඉහළ යන විට මාසික දීමනාවක් ලෙස ගණනය කරනවා. අදාළ මාසයේ පළමු වැනි දින දේශීය වෙළෙඳපොළේ පවතින මිල ගණන්වලට අනුවයි එම ගණනය කරන්නේ. ඉන්ධන මිල ඉහළ යෑමට සමාන්තරව ඇමැතිවරුන්ට ලැබෙන ගාණ වැඩිවෙනවා. ඒ මුදල් අතට ලැබෙනවා. ඊට අමතරව නිවාස සහ අනෙකුත් සියලුම පහසුකම්  මහජන මුදලින් ලබා දෙනවා. ඒ ගොල්ලෝ බුදිය ගන්නෙත්, කන්නේ බොන්නෙත් මහජන මුදල්වලින්. ඒ නිවාසවලට අදාළ හැඳි, ගෑරුප්පු පවා මහජන මුදලින් ලබා දෙනවා. ගෙයක් ලබාගන්න බැරිවෙන ඇමැතිවරුන්ට පැරණි චක්‍රලේඛ අනුව රු. ලක්‍ෂයක දීමනාවක් ලබා දෙනවා.

 ඇමැති කාර්ය මණ්ඩලයට 15 දෙනෙක් ලබා දෙනවා. පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්වරු දෙදෙනෙක්, මාධ්‍ය ලේකම්වරයෙක්, මහජන සම්බන්ධතා නිලධාරිවරයෙක්, පෞද්ගලික සහකාර මහජන සම්බන්ධතා නිලධාරීන් පහක්, කාර්යාල සහායක දෙදෙනෙක්, රියැදුරු දෙදෙනෙක් ආදී වශයෙන් 15ක් ලැබෙනවා. ඔවුන්ගෙන් පස් දෙනකුට මහජන මුදලින් බිල් ගෙවන දුරකථන ලැබෙනවා. රු. 5,000 සිට 6,000 දක්වා බිල් ඔවුන් වෙනුවෙන් ගෙවනවා. ස්ථාවර ගාස්තු සහ රජයේ බදු ඉවත් කර ලබාදෙන මුදල මේක. ආරක්‍ෂාව වෙනුවෙන් ඇමැතිවරයකු හට පොලිස් නිලධාරීන් 08ක් ලබා දෙනවා. මන්ත්‍රිවරුන්ට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ලබාදෙනවා. අපි නම් ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන් ලබාගෙන නැහැ.

ඉන්ධන සමඟ පසු ගමන් ආරක්‍ෂක රථයක් ඇමැතිවරයකුට ලබා දෙනවා. රාජ්‍ය අමාත්‍ය ධුර වෙනුවෙන් ලබාදෙන අමාත්‍යාංශ කාර්යාලවලට කුලිය ගෙවන්න ඕනෑ. අමාත්‍යාංශ ලේකම් ඇතුළු ඉහළ නිලධාරීන්ට වාහන, ඉන්ධන, දුරකථන ඇතුළු වරප්‍රසාද ලබා දෙනවා. අතිරේක ලේකම්වරුන්ටත් ඒ වගෙයි. රාජ්‍ය අමාත්‍ය ධුරයක් නඩත්තු කරන්න යන වියදම අපේ රටේ ජනපදයක් නඩත්තු කරන්න යන වියදමක් වගෙයි. අපේ රටේ පුරවැසියන් මෙවැනි බරක් දරන්න ඕනෑද? අනෙක් පැත්තෙන් ජනතාවට 15%ක වැට් බදු, 2.5% බැගින් වැල් පොලී එකතු වන තව බදුත් පටවනවා. ජනතාවගේ ධනයෙන් පරපුටු රැළක් නඩත්තු වෙනවා. මහජනතාවට කන් හැන්දෙන්වත් නොදී ඇමැතිවරුන්ට බැකෝවලින් බෙදා ගන්නවා. මේ වැනි වැය බරක් ජනතාව තවදුරටත් දැරිය යුතුද?

අපේ රට ආර්ථික ප්‍රපාතයට හෙළුවේ මේ දේශපාලන සංස්කෘතියයි. මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ අතේ හැන්ද තියෙන්නේ. ඒ වගේම අටවා ගත් ජනාධිපති. අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු සිතු සේ පත් කරමින් භාණ්ඩාගාරයේ ධනය බැකෝවලින් බෙදා ගනිමින් ජනතාවට කන් හැන්දෙන්වත් ලබා දෙන්නේ නැහැ. මෙවැනි විශාල ආර්ථික අර්බුදයක් තිබෙන අවස්ථාවක නාස්තිකාර ඇමැති ධුර ඕනෑද? ජනතාවගේ ප්‍රශ්නය ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු, නැතිකමද? ජනතාවට තියෙන්නේ ආහාර හිඟයත් මිල ඉහළ යෑමත් පිළිබඳ ප්‍රශ්න. රටට තියෙන්නේ  ඩොලර් නැතිකමේ ප්‍රශ්නය.

භාණ්ඩාගාරයට මුදල් නැතිකම. මේ හැම එකක්ම පැත්තක තියලා ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න විසඳා ගන්න අතර රනිල් වික්‍රමසිංහ වේදිකාවට ඇවිත් කියන්නේ රාජ්‍ය සේවය අඩු කරන්න, වියදම් අඩු කරන්න ඕනෑ කියලයි. ඒ අයට උපරිමයෙන් බෙදා ගන්න ගමන් ජනතාව අන්ත පීඩනයකට පත් කරනවා. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. ඒ වෙනස් කිරීම සඳහා ජනතාව පෙළගැහෙන්න ඕනෑ. නාස්තිකාරී, විගඩම්කාරී සහ පිනට ලැබුණු වස්තුව වියදම් කරනවා වගේ යැපෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි.

 මේ සඳහා තවත් අත්දැකීම් අවශ්‍ය නැහැ. මේ පාලකයන් ඇති තරම් අපට අත්දැකීම් දීලා තියෙනවා. කරුණු දීලා තිබෙනවා. ඔවුන් මොන වගේ කණ්ඩායමක්ද කියලා ඔප්පු කර තිබෙනවා. ජනතාවගේ මුදල්වලින් යැපෙන මොනතරම් පරපුටු කණ්ඩායමක්ද කියලා ඔප්පු කර තිබෙනවා. ඒ නිසා මේ දේශපාාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා පෙළගැසෙන්න කියලා ජනතාවට අපි ආරාධනා කරනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කර තිබෙන්නේ අමාත්‍යවරුන් සංඛ්‍යාව 25කට නොවැඩි වීමත්, නියෝජ්‍ය අමාත්‍ය ධුර ඒ හා සමානව දීමත් පමණයි. රාජ්‍ය අමාත්‍ය ධුර කියා ජාතියක් නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනය සකස් කරන අවස්ථාවේ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පමණක් සිටිය යුතු බවට අපේ යෝජනා භාර දුන්නා. ඇමැතිවරයාට සහාය වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. රාජ්‍ය අමාත්‍ය ධුර කියන්නේ කැබිනට් අමාත්‍යවරුන්ට ලැබෙන සියලු වරප්‍රසාද ලබාගන්නා අතිවිශාල මහජන මුදල් නාස්තියක්. මෙතනදී කරන්නේ ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙන ඇමැතිවරුන් 30කට වඩා පත් නොකළ යුතු බවට තිබෙන වගන්තියෙන් රිංගා යෑමට යොදන උපක්‍රමයක්.

ඒ වගේම ඉතාම විද්‍යාත්මක පදනමකින් විෂයයන් බෙදා ඒ ඒ විෂයයයන් වෙනුවෙන් නිපුණතාවන්, හැකියාව සහ දැනුම තිබෙන ඇමැතිවරුන් පත්කළ යුතුයි. විශේෂයෙන් අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද ඉවත් කළ යුතුයි. ඇමැතිවරුන්ට ලබාදෙන නිල නිවාස ඉවත් කරන්න ඕනෑ. ඇමැතිවරුන් බොහොමයකට ලබාදී තිබෙන ඉංග්‍රීසීන් හැදු පෞරාණික නිවාස අපි නම් සංචාරක නිකේතන බවට පත් කරනවා. ලෝකයේ සිටින ධනවත් සංචාරකයන් වෙනුවෙන් වෙන් කරනවා. ඇමැතිවරුන්ට අඩු වියදම් වාහනයක් ලබා දෙනවා. විශාල වශයෙන් ඉන්ධන වියදම් වන වාහන ඉවත් කළ යුතුයි. භාණ්ඩාගාරයේ පතුළට සිඳී තිබෙන රටක් ගොඩඟන්න පුළුවන් ඒ ආකාරයෙන්. මහ බැංකු අධිපති නන්දලාල් කියා තිබෙන්නේ විදෙස් සංචිත බින්දුවටම හිඳී ඇති බවයි.”

අනුරාධා හේරත්