ජනාධිපතිවරුන්ට ඕනෑ ඕනෑ විදිහට කැබිනට් ඇමැතිවරුන් පත් කරන්න දෙන්න බෑ

0
18

“කැබිනට් මණ්ඩලයේ විෂයයන් කොච්චර  තියෙනවද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ වගේ අවිනිශ්චිතභාවයෙන් රටක් ගොඩනඟන්න බැහැ. අපි අලුත් ශ්‍රී  ලංකාවක් ගොඩනඟනවා නම් කැබිනට් එකේ විෂයයන් ගලක කොටන්න ඕනෑ. එක එක ජනාධිපතිවරුන්ට කැමැති කැමැති විදිහට ඒව කරන්න බැහැ” යැයි සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රි ඉරාන් වික්‍රමරත්න පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (11දා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් පළ කළේය.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අද හැමෝම කතා කරන්නේ රටේ තියෙන ගැටලු, ප්‍රශ්න ගැන. නමුත් සමගි ජන බලවේගය සැලසුම් හදාගෙන යනවා ගොඩනඟන අලුත් ශ්‍රී  ලංකාවක් ගැන. අපිට අලුත් රටක් ගොඩනැඟිය යුතුයි. එය ගොඩනඟනකොට අපි ආරක්ෂාවට මුල්තැන දෙනවා. උතුරෙන්, දකුණෙන්, නැඟෙනහිරෙන්, බටහිරෙන් වේවා ත්‍රස්තවාදයට ආයේ හිස ඔසවන්න ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම මේ රටේ උපත ලබපු සෑම පුද්ගලයෙක්ටම එක හා සමාන ‍ශ්‍රී  ලංකාවක් තමයි අපි ගොඩනඟන්නේ. අපි ඒක දැක්කා, ළඟදී තිබුණු විරෝධතාවන්, අරගලවලින් එය මතු වුණා.

ඒ වගේම අපි දූෂණයට තිත තියන්න ඕන. ඒක නගර සභාවේ වෙන්න පුළුවන්, ප්‍රාදේශීය සභාවේ වෙන්න පුළුවන්. මහ පාරේ අපිව නතර කරලා වරදක් කළාම පොලිසිය වෙන්න පුළුවන්. ඕනෑම තැනක කුඩා පරිමාණ හෝ මහා පරිමාණ වෙන්න පුළුවන්. හුඟක් ව්‍යාපෘති තියෙනවා. ඒවා කරගන්න ව්‍යාපාරිකයන්ට කතා කළාම තවම හම්බවෙලා නෑ. ව්‍යාපාරිකයෙක් දැනුත් කියනවා අපට කිසි දෙයක් දේශපාලනඥයෙක්ට ගාණක් ගෙවන්නෙ නැතිව කරගන්න බෑ කියලා. ඒ තරමට රට දූෂණය වෙලා තියෙන්නේ. අපි කිව්ව අලුත් ශ්‍රී  ලංකාවේ දූෂණයට ඉඩ තියන්නේ ම නැහැ.

දැන් කැබිනට් මණ්ඩලයකට ඇමැතිවරු පත් කරනකොට ව්‍යාපාරිකයන් පත් කරන්න බැහැ. පාර්ලිමේන්තුවට පත් වෙනකොට අපිට ව්‍යාපාරයක් තියෙන්න පුළුවන්, ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙත් තනතුර පෞද්ගලික අපේ ලාභයට පාවිච්චි කරන්න බෑ. ඒ නිසා තමයි මම කියන්නේ කැබිනට් මණ්ඩලයේ ඉන්නව නම් අනිවාර්යෙන්ම ඒ අයට ඒ අයගේ ව්‍යාපාර කරන්න බැහැ කියලා.

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ අය මුණගැහුණා. එහිදී මට ලොකු චෝදනාවක් කළා, ඔබතුමාලා පසුගිය ආණ්ඩුවේ ඉන්නකොට ඒ කැබිනට් මණ්ඩලයේ ව්‍යාපාරිකයෝ හිටියා කියලා. ඒ ව්‍යාපාරිකයන් එක්ක වැඩ කළා. අන්තිමට ඒ අපි කරපු විශාල ඉදිකිරීම්වලට ආණ්ඩුවෙන් ගෙවල නැහැ. ඒවගේ පාඩු ලබන්න වෙලා තියෙනවා. ඇත්තටම පාඩුව ඒ පුද්ගලයන්ගේ සමාගම්වල. නමුත් අපි ඉදිකිරීම් කරන ව්‍යාපෘති කරන ඉදිකිරීම ආයතන අපිටත් ඒක විඳින්න වෙලා තියෙනවා කිව්වා.

පසුගිය සතියේ ඇමැතිවරුන් තිස්හත් දෙනෙක් රාජ්‍ය ඇමැතිවරු විදිහට දිවුරුම් දුන්නා. කැබිනට් මණ්ඩලයේ ඉන්න අයටත් රාජ්‍ය ඇමැති තනතුරු තියෙන අයගෙන් මම ඉල්ලනවා ව්‍යාපාරිකයෙක් ඉන්නව නම් වහාම ඉල්ලා අස්වෙන්න.

2015 අපේ ආණ්ඩුව පත්වුණාම එදා මොනවද කළේ. විද්වතුන්, වෘත්තියවේදීන් එකතුවෙලා සාකච්ඡා කළා. විද්‍යාත්මක පදනමකින් කැබිනට් මණ්ඩලයක් කොහොමද ඇති කරන්නේ කියලා. එසේ කරන එක බොහොම වැදගත්. අපේ රටේ වෙන්නේ ජනාධිපති කෙනෙක් පත්වෙනවා. ඉන්පසු අපි එක් එක්කෙනාගේ මුහුණ බලනවා. ඉන්පස්සේ බලනවා අපිට කවුද සහයෝගය දෙන්නේ කියලා. ඉන්පසු කියනවා මම සහයෝගය දෙනවා මට තනතුරක් දෙන්න කියලා. එහෙම තමයි අපේ රටේ කැබිනට් මණ්ඩල හැදෙන්නේ. මොකක්ද ඒ විහිළුව.

මම මෙතැන ඉන්න මාධ්‍යවේදීන්ගෙන් ඇහුවොත් අද අපේ කැබිනට් මණ්ඩලයේ විෂයයන් කොච්චිර තියෙනවද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ වගේ අවිනිශ්චිතභාවයෙන් රටක් ගොඩනඟන්න බැහැ. අපි අලුත් ශ්‍රී  ලංකාවක් ගොඩනඟනවා නම් කැබිනට් එකේ විෂයයන් ගලක කොටන්න ඕනෑ. එක එක ජනාධිපතිවරුන්ට කැමැති කැමැති විදිහට ඒව වෙනස් කරන්න බැහැ. ඔතැන තමයි අපිට වැරදිලා තියෙන්නේ. අපි හිතනවා ජනාධිපති කෙනෙක් පත් වුණාම එයා ඔක්කොම දන්නවා කියලා.

නිර්මාණි ගුණරත්න