ඡන්දය විමසන දිනය සාමකාමී වූ පමණින් මැතිවරණයක් නිදහස් හා සාධාරණ වෙන්නේ නෑ

Date:

මැතිවරණ කොමිෂන් සභාව හැටියට අප ඉදිරිපත් කර තිබෙන යෝජනා ක්‍රියාත්මක කරගන්නට හැකිනම් මේ රටේ දැනට පවත්නා මැතිවරණ ක්‍රමය සම්පූර්ණ වෙනසකට ලක්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසයි.

එපමණක් නොව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විශාල පුළුල් පරිවර්තනයකට ලක්වන බවද ඒ මහතා අවධාරණය කර සිටී.

යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනා විධිමත්ව ක්‍රියාවට නැඟීම සඳහා නිර්මිත මැතිවරණ කොමිෂන් සභා ක්‍රියාමාර්ග ජනගත කිරීමේ සංවාද මාලාවේ  පොළොන්නරුව දිස්ත්‍රික් සාකච්ඡාව ගිරිතලේ “ඩියර් පාක්” හෝටලයේදී පැවැති අවස්ථාවේ ඊට එක්වෙමින් සභාපතිවරයා මේ අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා මෙසේද කීය.

“1931 ඉඳලා මෙතෙක් පවත්වපු මැතිවරණ නිදහස් හා සාධාරණද නැද්ද කියන ප්‍රශ්නය තියෙනවා. විශේෂයෙන්ම නිදහස්, සාධාරණ මැතිවරණ යන්නෙන් හැඟෙන්නේ 1978න් පස්සේ පවත්වපු මැතිවරණ දිහා බැලුවම නිදහස් හා සාධාරණ මැතිවරණ කියලා තීන්දුවක් ගන්න පුළුවන්කමක් නෑ. මොකද නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙන්න නම් ඒ මැතිවරණයට තරග කිරීමේ ක්‍රියාවලිය සාධාරණ වෙන්න ඕනෑ.

ඕනෑම කෙනකුට තරග කිරීමේ හැකියාව තියෙන්න ඕනෑ. තරග කරලා නියෝජිතයන් හැටියට පත්වුණායින් පස්සේ ඒ නියෝජිතයන් සම්බන්‍ධයෙන් මහජන අධීක්‍ෂණයකට යටත් වෙනවා. එහෙම වුණොත් පමණයි ඒක නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙන්නේ. එහෙම නැතිව මැතිවරණය දවසේ මැතිවරණය හොඳින් තිබ්බා. කලබල නෑ, බරපතළ සිදුවීම් සිදුවුණේ නෑ කියන එක විතරක් නිදහස් හා සාධරණ මැතිවරණයක් හැටියට කොමිෂන් සභාවකට සලකන්න බෑ.

දැන් අපේ රටේ දූෂිත මැතිවරණ තුනක් ගැන කතා කරනවා. 1982 තියපු දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දය, 1982 තියපු ජනමත විචාරණය, පාර්ලිමේන්තුව කල් දාගන්න 1999 පවත්වපු  වයඹ පළාත් සභා ඡන්දය. මේවා අපි සලකන්නේ දූෂිත මැතිවරණ හැටියට. ඒ හින්දා මැතිවරණ දෙපාර්තමේන්තුව ඡන්දය තියලා ඡන්දෙන් පස්සේ වාර්තාවක් නිකුත් කරනවා මෙන්න මේ විධියට ඡන්දේ තිබ්බා. මේ මේ ඡන්ද මධ්‍යස්ථානවල කලබල ඇති වුණා.

මිනිසුන්ට ඡන්දෙ දාන්න හැකියාව ලැබුණේ නෑ කියලා වාර්තාව නිකුත් කිරීම නොවෙයි මැතිවරණ කොමිෂන් සභාව කියන්නේ. එහෙම ඒ වගේ සිදුවීම් වෙනවා නම් ඒ සිදුවීම් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අවශ්‍ය යම් යෝජනා, ඒවාට අවශ්‍ය පද්ධති ගොඩනැඟීමට මූලිකත්වයක් ගැනීමත් මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය භාරය හැටියට තමයි අපි දකින්නේ. එතැනින් තමයි කොමිෂන් සභාවයි, දෙපාර්තමේන්තුවයි වෙනස් වෙන්නේ. දෙපාර්තමේන්තුවට යම් සීමාවක් තියෙනවා.

කොමිෂන් සභාව ඒ සීමාවෙන් එහා ගිහිල්ලා මැතිවරණ නිදහස්ව හා සාධාරණව පවත්වා ගන්න ක්‍රියා කරනවා. ඒක නිසා තමයි වර්තමාන කොමිෂන් සභාව හැටියට අපි 2020 දෙසැම්බර් 10 වැඩ භාර ගත්තට පස්සේ, ඒ වෙනකොටත් අපි නිරීක්‍ෂණය කරලා තිබ්බා පසුගිය කාලේ ආපු යම් යම් තරුණ ක්‍රියාකාරීත්වයන්ට මඟපාදන පසුබිමක් මේ මැතිවරණ ක්‍රියාවලිය තුළ තිබ්බා කියලා. මේ පත්වන නියෝජිතයන් පත්වන ක්‍රමයේ සහ පත්වන නියෝජිතයන් ක්‍රියාකරන ආකාරයත් අනුව ඒ වගේ දේවල් සිද්ධවෙන් පුළුවන්. ඒක නිසා වෙනසකට භාජන වෙන්න ඕනෑ කියලා අපේ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහත්තයා කියපු විධියට අපි තේරීම් කාරක සභාවක් පත්කර ගන්න විතරක් නොවෙයි, ඒ තේරීම් කාරක සභාවට කොමිෂන් සභාව හැටියට මේවා වෙනස් වෙන්න ඕනෑ මේ විධියටයි කියලා යෝජනා 28ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ යෝජනා 28 අතුරු යෝජනා එක්ක 48ක් තියෙනවා.

අපි විශ්වාස කරනවා ඒ යෝජනා ක්‍රියාත්මක කරගන්න පුළුවන් නම් මැතිවරණ ක්‍රමය සම්පූර්ණ වෙනසකට ලක්වෙනවා විතරක් නොවෙයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විශාල පුළුල් පරිවර්තනයකට ලක්වෙනවා. අපි දැන් මැතිවරණයක් තිබ්බත් මේ විධියට මැතිවරණය තිබ්බොත් පත්වෙන්නේ මේ ආකාරයේම නියෝජිතයෝ තමයි අපිට ලැබෙන්නේ. අපිට ඊට වෙනස් නියෝජිතයෝ ලැබෙන ක්‍රමවේදයක් නෑ.

ඊට වෙනස් නියෝජිතයෝ ලබාගන්න නම්, ඒ නියෝජිතයෝ මහජන අධීක්‍ෂණයට යටත් වෙන්නනම් ඒ වෙනස් ක්‍රමවේදයන් යටතේ තියන්න ඕනෑ. එහෙම නැති මැතිවරණයකින් මේ අවස්ථාවේ මේ තිබෙන නීති රීති පද්ධති යටතේ මැතිවරණයක් තිබ්බොත් අපිට ලැබෙන නියෝජිතයන්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ මහජන අභිලාෂ හා අරමුණු ඉෂ්ටකරන ආකාරයට ක්‍රියාකරයි කියලා.”

පොළොන්නරුව – අනුරාධ විශ්වනාත්

Share post:

ජනප්‍රිය

එවැනි තවත් පුවත්
එවැනි තවත් පුවත්

රිදියගම සෆාරි උද්‍යානයේ දෙවැනි අදියර විවෘත කරයි

හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ අක්කර 34කින් සමන්විත දෙවැනි අදියර...

ගෝලීය රන් මිල තවත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව...

දික්ඔය මූලික රෝහලේ ස්කෑන් පරීක්‍ෂාව නතර වෙලා

හැටන් දික්ඔය මූලික රෝහලේ විකිරණ අංශයේ ස්කෑන් පරීක්‍ෂාව සිදු...

සැප්තැම්බර් මාසයේ උද්ධමනය 69.8%ක් දක්වා ඉහළට

ශ්‍රී  ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවන්ට අනුව කොළඹ පාරිභෝගික...