ගැබිනි සමයේ මුල් මාස තුන ඇතුළත රුධිර වහනයක් වුණොත් මොකක්ද කරන්නේ?

0
98

ගර්භණී සමය කාන්තාවකගේ ජීවිතයේ ඉතාම වැදගත් කාලපරිච්ඡේදයකි. එම නිසාම මෙම කාලපරිච්ඡේදයේදී ඇතිවන විවිධ සංකූලතා සහ රෝග ලක්ෂණ පිළිබඳව සෑම කාන්තාවකටම යම් අවබෝධයක් තිබීම වැදගත් වේ. එමඟින් යම් රෝගයක් උත්සන්න වීමට පෙර හ¾දුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුවීමේ හැකියාව ලැබේ.

එමෙන්ම අනවශ්‍ය බියවීම් සහ මානසික පීඩාවලින් වැළකී යහපත් දරු ප්‍රසූතියක් සිදු කර ගැනීමටද හැකියාව ලැබේ. මෙවර her අතිරේකය තුළින් අප සාකච්ඡා කරන්නේ ගර්භණී සමයේ සිදුවන රුධිර වහනය පිළිබඳවයි. ගර්භණී සමයේ රුධිර වහනයක් ඇතිවීම ඉතාම අසාමාන්‍ය ලක්ෂණයකි. එම නිසාම මවුවරු ගර්භණී සමයේ රුධිර වහනයක් සිදු වූ විට අධික ලෙස බියට පත් වේ. එය බිය විය යුතු කාරණයක් ලෙස සිතීමෙහි වරදක් නැත.

බොහෝ විට ප්‍රසූතියට ප්‍රථමව ඇතිවන සුළු රුධිර වහන ගර්භණී සමයේ සිදුවන සාමාන්‍ය තත්ත්වයකි. නමුත් ඊට ප්‍රථමව ගර්භණී සමයේ රුධිර වහනයක් ඇති වේ නම් එය අසාමාන්‍යතාවක් ලෙස හැඳින්විය හැකියි. ගර්භණී සමය තුළ ඇතිවන රුධිර වහනයන් වර්ග කිහිපයකට බෙදා වෙන් කිරීමට හැකියි. එනම්,

-පළමු මාස 03 තුළ ඇතිවන

     රුධිර වහනයන්

-පළමු මාස 03ට පසු සති 28ට

     පෙර ඇතිවන රුධිර වහනයන්

-සති 28 සිට ප්‍රසූතිය

  -ක්වා සිදුවන

  රුධිර වහනයන්

-ප්‍රසූතියේදී සහ ඊට

     පසුව ඇතිවන

     රුධිර වහනයන්

මෙම රුධිර වහනයන් ඉතා දීර්ඝව සාකච්ඡා කළ හැකි මාතෘකාවක් බැවින් මේ ලිපිය තුළින් අප සාකච්ඡා කරනු ලබන්නේ පළමු මාස 03 තුළ සිදුවන රුධිර වහනයන් පිළිබඳවයි. පළමු මාස 03 තුළ ඇති වන රුධිර වහනයන් ප්‍රධාන කොටස් කිහිපයකට වෙන්කර දැක්විය හැකියි.

-ගබ්සා වීමක පූර්ව ලක්ෂණයක්

  ලෙස සිදුවන රුධිර වහනයන්

-කලලය ගර්භාශයෙන් පිටත

  පිහිටීම නිසා ඇතිවන රුධිර

  වහනයන්

-වැදෑමහ පමණක් වර්ධනය

  වීමෙන් සිදුවන රුධිර

   වහනයන්

ගබ්සා වීමක පූර්ව ලක්ෂණයක්

ලෙස සිදුවන රුධිර වහනය

ගබ්සා වීමකදී සිදුවන රුධිර වහනයන් වර්ග කිහිපයකට බෙදා වෙන් කළ හැකියි. සාමාන්‍යයෙන් ගැබ්ගැනීම් 100ක් ගතහොත් ඉන් විස්සක් වැනි ප්‍රමාණයක් ගබ්සා වීමකට ලක්වේ.

එනම් සෑම ගැබ් ගැනීම්වලින් පහෙන් එකක් ගබ්සා වීමට ලක්වේ. මෙහිදී ඇතැම් ගබ්සා වීම්, ගැබ් ගැනීමක් සිදු වුණාදැයි දැනගැනීමටත් ප්‍රථම එනම් ආර්තව දවස් කිහිපයකින් ප්‍රමාද වී සිදුවන අවස්ථා ඇත. ගර්භණී සමයේ මුල් මාස 03 තුළ ඇතිවන ගබ්සා වීම්වලට ප්‍රධාන හේතුව ලෙස දැක්විය හැක්කේ කලලයේ ඇතිවන ජානමය වෙනස්කම්ය. මෙය ස්වභාව ධර්මය විසින් සලසා ඇති ආරක්ෂණ උපක්‍රමයක් ලෙස දැක්විය හැකියි. කලලයක් ජානමය වශයෙන් යම්කිසි වෙනස්කමකට භාජන වී තිබේ නම් ස්වභාව ධර්මය විසින්ම එය ඉවත් කිරීමේ කටයුත්තක නිරත වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස මුල් මාස 03දී සිදුවන ගබ්සා වීම් පිළිබඳව අප එතරම් අවධානය යොමු කරනු නොලැබේ. මීට අමතරව කලලයේ අවයවවල තිබෙන ප්‍රශ්න හා විවිධ අසාමාන්‍යතා, ගර්භාශයේ ඇති විවිධ අසාමාන්‍යතා සහ මවගේ විවිධ රෝගාබාධ නිසාද ගබ්සා වීම් සිදුවීමට පුළුවන්. නමුත් මෙම ගබ්සා වීම්වලට හේතු කවරේදැයි සොයා බලනු ලබන්නේ යම්කිසි කාන්තාවකට ගබ්සා වීම් 2කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු වුවහොත් පමණි.

බොහෝවිට මවුවරුන් බියට පත්වන්නේ එක වරක් ගබ්සා වීමකට ලක් වූ පසු නැවත නැවත ගබ්සා වීමක් සිදු වේද යන අනියත බිය හේතුවෙනි. නමුත් මෙහිදී බොහෝවිට එසේ සිදු නොවේ. නැවත නැවත ගබ්සා වීම් සිදු වේ යැයි බිය විය යුතු නැත. අප මුලින් සඳහන් කළ පරිදි යම් කාන්තාවක් එක දිගට ගබ්සා වීම් තුනකට වඩා භාජන වුවහොත් වෛද්‍යවරුන් ඇයව පරීක්ෂණ සඳහා යොමු කරයි.

ගබ්සා වීමේ අවදානමකට ලක් වූ මවකට ගර්භණී වූ මුල් කාලයේදී සුළු රුධිර වහනයක් සිදු වේ. මෙහිදී වෛද්‍යවරයා විසින් එම මවට ඔෟෂධ කිහිපයක් නිර්දේශ කරයි. මෙහිදී සිදුවන්නේ ගර්භය ගර්භාශයට සවිවන වැදෑමහ සහ ගර්භාශය අතර පිහිටි ආස්තරයෙන් යම් රුධිර වහනයක් සිදු වීමයි. මෙවැනි තත්ත්වයකදී සාමාන්‍ය ගර්භණී තත්ත්වයක මෙන් කලලය වර්ධනය වෙයි. මෙවැනි තත්ත්වයක් ඇති වූ විට මවක් මානසික පීඩාවකට ලක්වීම නොවැළැක්විය හැකි කාරණයකි. මෙහිදී මවුවරුන් බොහෝවිට බිය වන්නේ මේ ආකාරයට ගර්භණී සමයේ මුල් කාලයේදී රුධිර වහනයට ලක් වූ කලලයන් යම්කිසි ගැටලුකාරී තත්ත්වයකට පත් වේද යන්න හේතුවෙනි.

උදාහරණයක් ලෙස එවැනි රුධිර වහනයක් සිදු වූ විට සංජනන ආබාධ ඇති දරුවන් බිහිවීමට අවදානමක් තිබේද යන්න පිළිබඳව මවුවරුන් අතර සැකයක් පවතී. අප මුලින් සඳහන් කළ පරිදි මෙම රුධිර වහනය සිදු වන්නේ කලලයෙන් නොවන අතර එය ගර්භාශ බිත්තිය සහ වැදෑමහ අතර ඇතිවන ආස්තරයෙන් සිදු වන්නකි. මෙය කලලයට බලපෑමක් සිදු නොවන අතර කලලය සාමාන්‍ය පරිදි වර්ධනය වී නිරෝගී දරුවකු මෙලොවට බිහි වේ. මෙය වෛද්‍ය විද්‍යාවේදී Threatened Miscarriage ලෙස හ¾දුන්වයි.

කළලය ගර්භාශයෙන් පිටත පිහිටීම නිසා ඇතිවන රුධිර වහනයන්‍

කලලය ගර්භාශයෙන් පිටත පිහිටීම එසේත් නොමැති නම් ගර්භාශයේ නියමිත ස්ථානයේ නොපිහිටීම නිසා ඇති වන රුධිර වහනයන් වෛද්‍ය විද්‍යාවේ හ¾දුන්වනු ලබන්නේ Ectopic Pregnancy ලෙසයි. බොහෝවිට මෙහිදී කලලය පිළිසිඳ ගන්නේ පැලෝපීය නාළය තුළයි. මෙහිදී නිසි ලෙස සංසේචනය වූ කලලය ගර්භාශය අභ්‍යන්තරයට ළඟා වීම සිදු නොවේ. එය පැලෝපීය නාළයේ රැඳෙන අතර එම ස්ථානයේ කලලය වර්ධනය වීම සිදු වේ.

බොහෝවිට මෙහිදී පැලෝපීය නාළයේ ඉඩ ප්‍රමාණවත් නොවන නිසා යම් කාලයකින් පසුව එය පුපුරා මවගේ කුස තුළට රුධිරය වහනය වීමක් සිදු වේ. මෙහි රෝග ලක්ෂණ ලෙස කුසෙහි තද බල වේදනාවක් ඇති වීම, ක්ලාන්තය සහ කැරකිල්ල සහ රුධිර වහනයක් ඇතිවීම සිදු විය හැකියි. මෙය ඉතාම බරපතළ රෝගී තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැකියි. කුස තුළට රුධිරය අභ්‍යන්තරව වහනය වීම නිසා ඇතැම් විට මවුවරුන් මියයෑමේ අවදානමක් පවා ඇති විය හැකියි.

ගර්භණී මවකට හෝ ආර්තවය නියමිත දිනට සිදු නොවූ ගර්භණීත්වය අපේක්ෂා කරන කාන්තාවකට තදබල ලෙස යටි බඩෙහි වේදනාවක් සමඟ රුධිර වහනයක් සිදු වේ නම් වහාම වෛද්‍යවරයකු මුණගැසී ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. මෙහිදී Ultrasound scan පරීක්ෂාවක් මඟින් රෝගය නිශ්චය කර ගත හැකි අතර ශල්‍යකර්මයක් මඟින් රුධිරය පිටවන ස්ථානය සහ කලලයේ පටක කොටස් ඉවත් කිරීම සිදු කරයි. එමඟින් රෝගය සම්පූර්ණ ලෙස සුව කරගත හැකියි.

වැදෑමහ පමණක් වර්ධනය වීමෙන් සිදුවන රුධිර වහනයන්

බොහෝ කලාතුරකින් අවස්ථාවක සංසේචනය වූ කලලයක් වර්ධනය වීමේදී වැදෑමහ පමණක් වර්ධනය වීම සිදු වේ. මෙහිදී දරුවාට සම්බන්ධ පටක කොටස් වර්ධනය නොවන අතර වැදෑමහට සම්බන්ධ පටක කොටස් පමණක් වර්ධනය වේ. මෙය වෛද්‍ය විද්‍යාවේදී H-mole ලෙස හ¾දුන්වයි.

මෙය තරමක් බරපතළ රෝගී තත්ත්වයක් ලෙස හ¾දුන්වා දිය හැකියි. මෙහිදී වැදෑමහ සාමාන්‍ය ලෙස වර්ධනය වීම නිසා කාන්තාවකට සාමාන්‍යයෙන් ගර්භණීතාවයකදී ඇතිවන සංකූලතා උදාහරණ ලෙස උදෑසන වමනය, කෑම අරුචිය, පියයුරුවල ඇති වන වේදනාව, බඩපුරවා දැමීම වැනි රෝගී තත්ත්වයන් සියල්ලම පවතී. බොහෝවිට ගර්භණී තත්ත්වයකදී ඇති වන සංකූලතා ඊට වඩා වැඩිපුර පෙන්නුම් කිරීමක් මෙම රෝගී තත්ත්වයේදී සිදු වේ. නමුත් මෙම වැදෑමහ යම්කිසි කාලයක් වර්ධනය වූ පසු එයින් රුධිරය පිටවීමක් සිදුවන අතර මෙය තරමක් සංකීර්ණ රෝගී තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැකියි.

මෙම රෝගී තත්ත්වයේදී රෝගියා ශල්‍යකර්මයකට භාජන කර එම වැදෑමහ සම්බන්ධ පටක කොටස් ඉවත් කිරීම සිදු කළ යුතුය. මෙම රෝගයේදී මුල් මාස 03 තුළ අධික රුධිර වහනයක් සිදුවිය හැකි අතර මෙම රෝග ලක්ෂණ තිබේ නම් වහාම වෛද්‍යවරයකු මුණගැසී රෝගය නිශ්චය කරගැනීම කරගත යුතුයි. කලාතුරකින් අවස්ථාවක මෙම රෝගය යම් කාන්තාවකට නැවත නැවත ඇති විය හැකියි.

ඉහත සඳහන් කළ රෝගී තත්ත්වයන්ට අමතරව බොහෝ මවුවරුන්ට විවිධ හේතූන් නිසා යෝනි මාර්ගය ආශ්‍රිතව රුධිරය වැනි ශ්‍රාවයන් පිටවීම දැකිය හැකියි. එම පිටවන ශ්‍රාවය ටිෂූ එකක හෝ පිරිසුදු කපු රෙදි කැබැල්ලක තවරා එය රුධිරය දැයි යන්න නිශ්චිතව හ¾දුනා ගන්න.

එය රුධිරය නොවේ නම් අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැත. කාන්තාවන්ට සුලබව වැල‍ෙ¾දන දිලීර වර්ධනයක් නොඑසේ නම් සුදයෑම ලෙස හ¾දුන්වන Candidiasis වැනි රෝග තත්ත්වයන්වලදී රෝස පැහැති ස්‍රාවයක් පිටවීම සිදුවිය හැකියි. එය රුධිරය ලෙස වරදවා වටහා ගෙන කලබල නොවිය යුතු අතර ඒ පිළිබඳව යම්කිසි සැකයක් පවතී නම් වෛද්‍යවරයකුගේ සහාය පැතීම වඩාත් යෝග්‍ය වේ. 

කුශාන්ති අනුරාධා බණ්ඩාර

සම්පත් ඥානරත්න

විශේෂඥ වෛද්‍ය

ප්‍රසව හා නාරිවේද

ජේ‍යෂ්ඨ කථිකාචාර්ය

වෛද්‍ය පීඨය පේරාදෙණිය

ශික්ෂණ රෝහල

පේරාදෙණිය