ග්‍රාමීය ප්‍රජාව ශක්තිමත් කිරීමට ‘BOC ගම්මාන’ ව්‍යාපෘතිය ආරම්භ කරයි

0
14

ශ්‍රී  ලංකාවේ අංක 1 බැංකුව ලංකා බැංකුව විසින් සිය 83 වැනි සංවත්සරයට සමගාමීව පළාත් මට්ටමින් තෝරා ගත් දිරිය ගම්මාන කිහිපයක් නඟාසිටුවීමේ ව්‍යාපෘතිය දියත් කිරීම ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ, මහ කළමනාකරු කේ.ඊ.ඩී. සුමනසිරි, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි යන මහත්වරුන්ගේ සහ ලංකා බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි. ‘BOC ගම්මාන’ යනුවෙන් නම් කර ඇති මෙම වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති ‘තිස්සඅමුණ’ ග්‍රාමයෙන් ඇරැඹිණි.

ලංකා බැංකුවේ පාරිභෝගික හා සංවර්ධන බැංකු කටයුතු අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සංකල්පය මඟින් තෝරාගනු ලබන ගම්මානවල ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව හා ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරයි. ඒ වෙනුවෙන් කුඩා කණ්ඩායම් ණය යෝජනා ක්‍රම හඳුන්වා දීම, BOC මිතුරු කණ්ඩායම් ආරම්භ කිරීම, පාසල් මට්ටමින් BOC රන්කැකුළු සංසද ඇරැඹීම තුළින් දූදරුවන්ගේ ඉතුරුම් පුරුද්ද වර්ධනය කිරීම, ගෙවතු වගාව සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම තුළින් දේශීය යැපුම් ආර්ථිකය ශක්තිමත් කිරීම, විවිධ සංවර්ධන ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම හා ක්‍ෂුද්‍ර මූල්‍ය පහසුකම් යටතේ ස්වයංරැකියා සඳහා පහසුකම් සැලසීම වැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මත කිරීමට සැලසුම් කර ඇති අතර ඇතැම් වැඩසටහන් මේ වනවිටත් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව තිස්සඅමුණ ගම්මානයේ පොදු පහසුකම් සංවර්ධනය කිරීම යටතේ තිස්සඅමුණ ග්‍රාමීය වැව සංවර්ධනය කිරීම, ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීම හා පූජනීය ස්ථාන පිළිසකර කිරීමට ලංකා බැංකුව දායක වූ අතර සංවර්ධනය කෙරුණු තිස්සඅමුණ ග්‍රාමීය වැව ආශි්‍රතව හරිත වටපිටාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, ලංකා බැංකුවේ ද සහයෝගය ඇතිව දිවුලන්කඩවල ජනාධිපති ජාතික පාසලේ ඉදිකෙරුණු පරිගණක විද්‍යාගාරය හා BOC රන්කැකුළු සංසද විවෘත කිරීම යන වැඩසටහන්ද BOC ගම්මානය විවෘත කිරීමට සමගාමීව සිදුකෙරිණි.

මෙම නව සංකල්පය පිළිබඳව අදහස් දැක්වූ ලංකා බැංකුවේ මහ කළමනාකරු කේ.ඊ.ඩී. සුමනසිරි මහතා

“ග්‍රාමීය ජනතාව කියන්නේ මේ රටේ ආර්ථිකයේ ප්‍රධානතම කොටසක්. ඒ වගේම ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම කියන්නේ රටේ සමස්ත ආර්ථිකයේ දියුණුවට සහයෝගය ලබා දෙනවා කියන එකයි. රටේ ශක්තිමත්ම බැංකුව වගේම ප්‍රධානතම රාජ්‍ය බැංකුව විදිහට ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කරමින්, ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ලංකා බැංකුවට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බව මා විශ්වාස කරනවා.”

ලංකා බැංකුවේ නියෝජ්‍ය මහ කළමනාකරු (ශාඛා මෙහෙයුම් හා සංවර්ධන බැංකු කටයුතු) ප්‍රියල් සිල්වා මහතා

“ගම දියුණුකිරීම වෙනුවෙන් ලංකා බැංකුව ක්‍රියාත්මක කරන සුවිශේෂී ව්‍යාපෘතියක් විදිහට ‘BOC ගම්මාන’ වැඩසටහන හඳුන්වා දීමට පුළුවන්. එම වැඩසටහන මඟින් මේ රටේ ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය වගේම මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමටත්, අපගේ ඩිජිටල් සේවාවන් ඇතුළු සුවිශේෂී බැංකු සේවාවන් ග්‍රාමීය ප්‍රදේශ කරා ගෙන යෑමටත් අපි බලාපොරොත්තු වෙනවා.”