ඛනිජ තෙල් නිෂ්පාදන පනත් කෙටුම්පතේ ශේ‍ර්ෂ්ඨාධිකරණ තීරණය කඩිනමින් කථානායකට

0
12

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති ඛනිජ තෙල් නිෂ්පාදන (සංශෝධන) පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරමින් ගොනුකොට තිබූ පෙත්සම් පිළිබඳ විභාගය ඊයේ (09දා) අවසන් කළ ශේ්‍රෂ්ඨාධිකරණය එහි නිගමනය නොපමාව කථානායකවරයා වෙත යොමු කරන බැව් ප්‍රකාශ කළේය. මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ එම පෙත්සම් විමසුම සිදුවිය.

ශ්‍රී  ලංකා නිදහස් සේවක සංගමය විසින් එක් පෙත්සමක්ද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විධායක නිලධාරීන්ගේ සංගමය විසින් තවත් පෙත්සමක්ද ගොනුකොට තිබිණි.

ශ්‍රී  ලංකා නිදහස් සේවක සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාද, ඛනිජ තෙල් සංස්ථාවේ විධායක නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතාද පෙත්සම් විභාගයේදී කරුණු දැක්වූ අතර නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා වගඋත්තරකාර රජය වෙනුවෙන් කරුණු දැක්වීය.

මෙම යෝජිත (සශෝධිත) පනත් කෙටුම්පතේ 2, 3, 4, 6 හා 7 වගන්තීන් ශ්‍රී  ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කොට එම වගන්තීන් සමඟ පනත සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ 2/3 බහුතර අනුමැතිය හා ඉන් අනතුරුව ජනමත විචාරණයකදී ලබා ගන්නා ජනතා කැමැත්තෙන් එය සම්මත කළ යුතු බවට ශේ්‍රෂ්ඨාධිකරණය මත ප්‍රකාශයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියහ.

කමල් මහේන්ද්‍ර වීරරත්න