කෘෂිකර්මයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ජනපති මූලිකත්වයෙන් හෙට සාකච්ඡාවක්

0
6

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය සංවර්ධනය කිරීමේදී ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන කෘෂිකර්මයට අදාළ සියලු පාර්ශ්ව ඒකාබද්ධ පුළුල් සාකච්ඡාවක් හෙට (13දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ.

ඉදිරි  මාස් කන්නයේදී වී, බඩඉරිඟු ඇතුළු සියලු ආහාර බෝග, පශු සම්පත් භෝග කිරි, බිත්තර, කුකුළු මස් ඇතුළු නිෂ්පාදනය වැඩිකර සාධාරණ මිලකට ජනතාව වෙත සැපැයීම මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජාත්‍යන්තර සංවිධාන හා රටවල් ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබාදීමට එකඟත්වය පළ කොට ඇති අතර ඒ අනුව මේ දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමරිකානු වැඩසටහනේ (USAID) පරිපාලන නිලධාරි සමන්තා පවර් මහත්මිය ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 40ක් ලබාදීමට පසුගියදා පොරොන්දු විය. මේ අතර එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ගොවියකුට යූරියා කිලෝග්‍රෑම් 50කින් යුත් පොහොර බෑගය බැගින් පොහොර බෑග් 375,000ක් ලබාදීමට එකඟවී තිබේ.

එසේම එක් පවුලකට රුපියල් 18,000 බැගින් ඩොලර් 50ක් ආධාර ලබාදීමටද කැමැත්ත පළකොට ඇත.

මේ අතර මෙවර මාස් කන්නයේ ගොවි ජනතාවට පොහොර ලබාදීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 110ක ආධාර ලබාදීමට ලෝක බැංකුව තීරණය කොට තිබේ.

මේ සහනාධාර මත මාස් කන්නයේ වී ඇතුළු භෝග වගාව බාධාවකින් තොරව කරගෙන යෑමට හැකිවෙතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.