ක්‍රිකට් ටීම් එකයි නෙට්බෝල් ටීම් එකයි ලංකාව ආසියාවේ බබළවයි

0
47

ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ ඊයේ (11දා) සත්කාරක සිංගප්පුරුව පිල සමඟින් පැවැති අවසන් තරගයෙන් ලකුණු 63-53ක තියුණු ජයක් ලැබූ ශ්‍රී  ලංකා කණ්ඩායම ආසියානු දැල්පන්දු ශූරතාව 6වැනි වරටත් මෙන්ම නොකඩවා දෙවැනි වරටත් තමන් සන්තකයට ගැනීමට සමත්විය.

2020 වසරේදී කොවිඩ්-19 වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම තරගාවලිය නොපැවැත්වුණු අතර, අවසන් වරට 2018 වසරේ පැවැති මෙම තරගාවලියේ ශූරතාව දිනාගෙන තිබුණේද ශ්‍රී ලංකා පිල විසිනි. 

එහිදී සත්කාරකයන් සමඟ ඊයේ ඊයේ පැවැති මෙම අවසන් මහා තරගයේදී පළමු කාර්තුවෙන් ලකුණු 19-13ක පරාජයක් ලැබූ  ශ්‍රී  ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 14-11ක් ලෙස දෙවැනි කාර්තුව ජයගැනීමට සමත් විය. ඉන් අනතුරුව තෙවැනි කාර්තුවේදී නැවතත් තම සුපුරුදු ක්‍රීඩා රටාවට අවතීර්ණ වූ ශ්‍රී  ලංකා පිල ලකුණු  19-08ක් ලෙසත්, තීරණාත්මක සිවුවැනි කාර්තුවේදී ලකුණු 17-15ක් ලෙසත් ජයගත්තේය.

මේ අතර මෙම තරගාවලියේ දෙවැනි වටයේදී ශ්‍රී  ලංකාව හමුවේ මලයාසියාව, සිංගප්පූරුව සහ හොංකොං යන කණ්ඩායම් පරාජයට පත්වූ අතර, අවසන් පූර්ව තරගයේදී හොංකොං පිල 67-43ක් ලෙස ශ්‍රී ලංකාව හමුවේ පරාජය ලබා තිබිණි.

කෙසේ වෙතත් 1985 වසරේදී ආරම්භ වූ මෙම තරගාවලියේදී එවර ශූරතාව මලයාසියාව සතුවෙද්දී අනු ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. ඉන් අනතුරුව 1989, 1997, 2001, 2009 සහ 2018 වසරවලදී ශ්‍රී ලංකාව පිලට ශූරතා හිමිවෙද්දී 1985, 2012, 2014 සහ 2016 වසරවලදී අනු ශූරතා දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.