ක්‍රිකට් ටීම් එකයි නෙට්බෝල් ටීම් එකයි ලංකාව ආසියාවේ බබළවයි

0
42

ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගවලියේ ඊයේ (11දා) රාත්‍රියේ නිමා වූ අවසන් මහා තරගයෙන්  ලකුණු 23ක ජයක් ලැබූ ශ්‍රී  ලංකාව 6 වැනි වරටත් ආසියානු කුසලානයක පහස විඳගත්තේය.

මෙම තරගයේ තීරණාත්මක කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායකයාගේ ආරාධනයෙන් පළමුව ලකුණ­ රැස්කළ ශ්‍රී  ලංකාව පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 6කට රැස්කළ ලකුණු 170ට පිළිතුරු සැපයූ පාකිස්තානයට පන්දුවාර 20ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 147ක් පමණි.එම ඉලක්කය හඹා යෑමේදී පාකිස්තාන පළමු කඩුල්ල ලෙස බාබර් අසාම් ලකුණු 5කට දැවී ගිය අතර, ෆකාර් සමාන් ද ලකුණු නොලබා දැවී ගියේ දෙවැනි කඩුල්ල ලෙසිනි.

ඉෆ්ටිකාර් අහමඩ් තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 32කටත්, සිවුවැනි කඩුල්ල ලෙස මොහොමඩ් නවාස් ලකුණු 6කට දැවී ගියේය. තීරණාත්මක දැවී යෑම වූ මොහොමඩ් රිස්වාන් ලකුණු 55කට ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට වනිඳු සමත් විය. වනිදුගේ අවසන් පන්දුවාරය තුළදීම අසීෆ් අලී සහ කුෂ්දිල් ශා දවාගත් වනිඳු පාකිස්තානය දැඩි පීඩනයකට නතු කරගත්තේය.

ශදාබ් ඛාන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 8ක් පමණි. ඒ අනුව පාකිස්තාන ඉනිම ලකුණු 147කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබිණි. පන්දු යැවීමේදී ප්‍රමෝද් මධුෂාන් කඩුලු 4ක් දවාගත් අතර, වනිඳු හසරංග කඩුලු 3ක් දවාගත්තේය. ශ්‍රී  ලංකාව වෙනුවෙන් ලකුණු රැස්කිරීමට පිටියට පිවිසි ශ්‍රී  ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියේය. ඉන් අනතුරුව ලකුණු පුවරුවට තවත් ලකුණු 21ක් එක්වෙද්දී පැතුම් නිස්සංක දෙවැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් විය.

ඉන් අනතුරුව ධනුෂ්ක ගුණතිලක එක් ලකුණකටත්, ධනංජය ද සිල්වා ලකුණු 28කට හා ශ්‍රී  ලංකා නායක දසුන් ශානක ලකුණු 2කට දැවී යෑම හේතුවෙන් ශ්‍රී  ලංකා ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 58ක් ලෙසින් දැක්විණි. එසේ වුවද 6 වැනි කඩුල්ලට එක්වූ භානුක රාජපක්ෂ සහ වනිඳු හසරංග ලකුණු පුවරුව 116 දක්වා ඉහළ දැමීය. වනිඳු ලකුණු 36කට පිටියෙන් ඉවත් වූයේ 6 වැනි කඩුල්ල ලෙසිනි. ඉන් අනතුරුව භානුකට එක්වූ චාමික කරුණාරත්න ඉනිමේ 7 වැනි කඩුල්ලට පන්දු 31කදී ලකුණු 54ක් එක් කරනු ලැබූවේ තරගය ශ්‍රී  ලංකාව දෙසට නතු කරමිනි.විශිෂ්ට ඉනිමක් දියත් කළ භානුක පන්දු 45ක් තුළ ලකුණු 71ක් වාර්තා කරනු ලැබූවේ දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමඟිනි.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව (පන්දුවාර 20 තුළදී කඩුලු 6කට) 170  (භානුක රාජපක්‍ෂ නොදැවී 71, වනිඳු හසරංග 36, ධනංජය ද සිල්වා 28, චාමික කරුණාරත්න නොදැවී 14, පැතුම් නිස්සංක 08, දසුන් ශානක 02, ධනුෂ්ක ගුණතිලක 01, කුසල් මෙන්ඩිස් 00, හැරිස් රාවුෆ් 3/29, ඉෆ්ටිකාර් 1/21, සදාබ් ඛාන් 1/29, නසීම් ෂා 1/40)

පාකිස්තානය (පන්දුවාර 20කදී සියලු දෙනා දැවී) 147 (මොහොමඩ් රිස්වාන් 55, ඉෆ්ටිකාර් අහමඩ් 32, හැරිස් රාවුෆ් 13, සදාබ් ඛාන් 08, මොහොමඩ් හස්නෙයින් නොදැවී 08, මොහොමඩ් නවාස් 06, බාබර් අසාම් 05, නසීම් ෂා 04, ෆකාර් සමාන් 00, අසීෆ් අලී 00,  ප්‍රමෝද් මධුෂාන් 4/34, වනිඳු 3/27, කරුණාරත්න 2/33, තීක්‍ෂණ 1/25