එකම පට්ටියක ගැබ්බර එළිච්චියන් 24ක් මසට අරන් ගිහින්

0
54

මහපොළොව නුහුලන අපරාධයක් පිළිබඳ පුවතක් බිනර පෝය සඳ බැස යෑමටත් පෙර කන්තලේ අග්බෝපුර පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ. එළු පට්ටියක ගැබ්බර එළු දෙනුන් 22 දෙනකු කිරි  මවුවරුන් දෙදෙනකු හා රැළේ පිරිමි එළුවන් 4 දෙනකු ඇතුළු 28 දෙනකු බඩ පළා බඩවැල් එළියට ඇද දමා මස් කිරීම පිණිස රැගෙන ගොස් ඇතැයි අග්බෝපුර පොලිසියට පැමිණිල්ලක් කරමින් වාන්ඇළ, ජයන්තිගම දෙණිපිටියේ ප්‍රියන්ති රූපසිංහ මහත්මිය කියා සිටියාය.

ඇය වැඩිදුරටත් මෙසේ කීවාය. “මගේ එළු පට්ටියෙන් තමයි අපේ මුළු පවුලම රැකෙන්නේ. මට දරුවන් 4 දෙනෙක් ඉන්නවා. අපිට කුඹුරු නැහැ. මගේ මහත්තයාත් බාල පුතාත් දවල් කාලයට මේ පට්ටිය බලනවා. රෑට කොටු කරලා ගෙදර එනවා. ගාල තියෙන්නේ ගෙදරින් කිලෝමීටර් 5ක් විතර අෑතට වෙන්න වසා දමා ඇති සීනි කම්හල් ඉඩමේ කැලෑබද කොටසකයි. පෙරේදා (10දා) රෑත් ඒ විධියටම ගෙදර ආවා. අපේ බල්ලා හැමදාම උදෙන්ම යනවා තනියම එළුවො බලන්න.

අද උදේ බල්ලා ගාලට ගිහින් ඇවිත් හොඳටම අඬන නිසා මම මහත්තයාට කිව්වා බල්ලා අඬනවා මොකද කියලා ගාලට ගිහින් බලන්න  කියලා. ඒ යනකොට තමයි මේ වින්නැහිය දැකලා තියෙන්නේ” යි ඇය හඬමින් අප සමඟ කියා සිටියාය. මෙම පට්ටියේ දැනට එළුවන් පස් දෙනකු ඉතිරිව ඉන්නවා. එයින් දෙන්නෙක් කිරි බොන පැටවුන්. පට්ටියේ මහලුම එළිච්චිය හා තවත් දෙදෙනෙක් ඉන්නවා. පැටවුන් අම්මා ඉල්ලලා හඬවැටෙනවා.

මෙහි වඩාත්ම ශෝකජනක සිදුවීම වන්නේ පොහොය දින මෙලොව එළිය බැලීමට පෙරුම් පිරූ පැටවුන් දෙදෙනකුද බඩ පළා එළියට ඇද දමා තිබීමයි.

කන්තලේ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අශෝක මහින්ද වීරක්කොඩි මහතාගේ නියෝග මත සහකාර පොලිස් අධිකාරි රෝහණ වනිගසේකර මහතාගේ අධීක්ෂණයෙන් අග්බෝපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කන්තලේ – ඩබ්.එම්. වික්‍රමසිංහ