ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑමෙන් කතරගම කෑම කඩත් වැහෙන ලකුණු

0
10

රටෙහි පවතින ආහාර ද්‍රව්‍ය මිල අධික  ලෙස ඉහළ යෑම මුල් කරගෙන ආපනශාලාවල  (කෑම කඩ) බත් ඇතුළු අමතරව කෑමට ගන්නා  ආහාරවලද මිල ඉහළ දැමීම  මත ජනයා  ආහාර  නොගන්නා බව හෝටල් හිමියෝ මැසිවිලි නඟති.

මාළු කෑම රුපියල් 500ත් කුකුළු මස් කෑම එකක් රුපියල් 600-650 අතර මිලකට හෝටල්වල මේ දිනවල  විකිණීම  සිදුවේ.

තිස්සමහාරාම, කතරගම දෙස් විදෙස්  සංචාරයන්, වන්දනා බැතිමතුන්  නිතර පැමිණියත් රටේ පවතින ආර්ථික අහේනිය මුල්කරගෙන  ජනයා වන්දනා ගමන් සීමාකර තිබේ. තිස්සමහාරාම  ආපනශාලා  හිමියන්  පැවැසුවේ දිනකට කෑම පිඟන් 50 -70 අතර විකිණීම  සිදුවුවත් මේ දිනවල කෑම 10ක් පමණ විකිණීම  සිදුවන බවයි.

මේ වන විට හෝටල්වල පිසින ලද ආහාර  අලෙවිය නොමැතිව අපතේ දැමීමට සිදුවන බැවින් ඉදිරියට මෙලෙස ආර්ථිකය රටේ පැවතුණහොත් ආපනශාලා වසා දැමීමට සිදුවන බව හෝටල් හිමියෝ සඳහන් කරති.

 වාහන  සඳහා ඉන්ධන  ලීටර් 20ක් සතියකට  ලබාදීම හේතුවෙන් ඉන්ධන ගැටලුව මත සංචාරකයන්, වන්දනාකරුවන්, කතරගම, තිස්සමහාරාම, යාල වන උද්‍යානය නැරඹීමට  පැමිණි  පිරිස්ද අඩුවී ඇති බව සෆාරි  ජීප්  රථ හිමියෝ  සහ සංචාරක  මඟ පෙන්වන  පිරිස්  පවසති.

 කතරගමට එන ඇතැම් බැතිමතුන් මුදල්  ගෙවා  කාමර  ගැනීම නොකර  නිවෙසේ  සිට රැගෙන එන සුළු  ආහාරයක් කෑමට ගෙන එක් දිනකින්  කතරගම  වන්දනා  කර  යෑමට  හුරුව සිටිති. මෙම හේතුව  මත වන්දනාකරුවන්ගේ  පැමිණීම මත දිවි ගෙවන නවාතැන්පොළවල්  රැසක්  වැසීගොස්  ඇත.

කොළඹ සිට කතරගමට පැමිණීමට වෑන් රථයකට රුපියල් අනූදහසක් (රු. 90,000) පමණ  මුදලක් අය කරන බවද පැවැසේ.

කතරගම  – සන්දිම දේවප්‍රිය