අපිට කළ නොහැකි දේවල් මූල්‍ය අරමුදල යෝජනා කරල නෑ

0
269

ශ්‍රී  ලංකාව මුහුණදී තිබෙන ආර්ථික අර්බුදයත් සමඟ මේ දිනවල කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවකි පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම. සමාජයේ විවිධ දේශපාලන හා සමාජ කණ්ඩායම් අතර මේ පිළිබඳ පක්ෂ විපක්ෂ මතවාද පැවැතුණත් මෙරට ආර්ථිකයේ අනාගතය ගැන සිතා රාජ්‍ය අංශයේ සමහර ආයතන කඩා වැටීම පිළිබඳ වහාම තීරණයක් ගත යුතු කාලය එළැඹ ඇත. ඒ අනුව රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා පීඨයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රෝෂිණි ජයවීර සමඟ කළ සංලාපයකි මේ.     ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට රාජ්‍ය අංශයේ බලපෑම කෙසේද?

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට කාරණා කිහිපයක් බලපෑවා. නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීම, නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි වෙලාවට ක්‍රියාත්මක නොකිරීම, දූෂණය හා වංචාව වැනි කාරණා ඊට උදාහරණ. මේ අතර ප්‍රධාන හේතුවක් තමයි රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාවය.

රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව ඇති වෙන්නේ ඇයි?

රටක රාජ්‍ය අංශය සතුව ලොකු වගකීමක් හා කළ යුතු කාර්යභාරයක් තිබෙනවා. සුබසාධනය ඇති කිරීම, පොදු භාණ්ඩ සැපයීම, සමාජ ආරක්ෂණය හා ජාතික ආරක්ෂාව සැපයීම, වෙළෙඳපොළ අසමත්වීම් ඇති වන විට ඊට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම යනාදිය රාජ්‍ය අංශයේ වගකීම් අතර වෙනවා. රාජ්‍ය අංශය කියන්නේ ව්‍යවසායකයෙක් නොවේ. නමුත් ව්‍යවසායකයන්ට සහාය සපයන්න ඕනේ. රාජ්‍ය අංශය මෙවැනි සේවාවන් සපයන තරමට පෞද්ගලික අංශය ඊට ප්‍රතිචාර දක්වනවා. රාජ්‍ය අංශයේ මෙවැනි සේවාවන් සැපයීම අකාර්යක්ෂම වීම සමස්ත ආර්ථිකයටම බලපානවා. ලංකාවේ සමහර රාජ්‍ය ව්‍යවසාය පාඩු ලබනවා.

රාජ්‍ය සේවකයන් තම රාජකාරිය නිවැරදිව කරනවාද නැද්ද යන්න හරියාකාරව පරීක්ෂා නොකිරීම ප්‍රධාන හේතුවක්. සේවකයන් නිවැරදිව රාජකාරිය කළත් නැතත් වරප්‍රසාදයක් හෝ දඬුවමක්වත් නැහැ. ඉතාම ගෞරවනීය ලෙස තම රැකියාව කරන රාජ්‍ය සේවකයෝ ඉන්නවා. නමුත් කොටසක් ඉන්නවා හරියට නොකරන. තමාට අයත් වගකීම හා රාජකාරිය හරියට කරනවද නැද්ද කියලා පරීක්ෂා නොකිරීමම ආකාර්යක්ෂමතාවට පෙළඹවීමක්.

රැකියාවේ ජේ‍යෂ්ඨභාවය අනුව උසස්වීම් ලබා දීමත් රාජ්‍ය අංශය බිඳවැටීමට එක් කාරණාවක්. වැඩ කරපු කාලසීමාව ගැන නොව කරන රාජකාරියේ කාර්යක්ෂමතාව ගැන සිතා උසස්වීම් දෙනවා නම් රාජ්‍ය අංශය මීට වඩා ඉදිරියට එනවා. පෞද්ගලික අංශයේ උසස්වීම් ගන්න නම් තමන්ගේ කාර්යඵලය පෙන්වන්න ඕනේ. තවද රාජ්‍ය අංශයේ ඇති රැකියාවේ සුරක්ෂිතභාවය උපරිම වීමත් අකාර්යක්ෂමතාවට හේතුවක්. වැඩ නොකළොත් වෙන තැනකට මාරු කරන්න පුළුවන්, නමුත් ඔවුන්ව අයින් කරන්න බැහැ.

අනෙක් කාරණාව නම් රාජ්‍ය අංශයට සේවකයන් බඳවා ගැනීමේදී තිබෙන දුර්වලතාද අකාර්යක්ෂමතාවට හේතුවක්. එනම් දේශපාලනික මැදිහත්වීම් නිසා සුදුස්සා සුදුසු තැනට පත් නොවීම. එවගේම දේශපාලනික ඡන්ද වැඩි කරගැනීමේ අරමුණින් ශ්‍රමයට තිබෙන ඉල්ලුම ගැන නොතකා රජයේ රැකියා ලබා දීමත් රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවට හේතුවක්. මෙතෙක් පත් වූ බොහෝ රජයන් විසින් සිදු කළා මෙන් උපාධිය ගැන පමණක් සලකා බලා එකවර 50,000කට පමණ රැකියා ලබා දීම මීට නිදසුනක්. ඒ අනුව මෙවැනි කාරණා රැසක් මෙරට රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවට බලපානවා.

රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවට වගකිව යුතු පාර්ශ්වය කවුද?

රජයේ පරිපාලනයේ සිටින දේශපාලනඥයන් හා රාජ්‍ය පරිපාලකයන්.

රාජ්‍ය සේවයේ බිඳ වැටීම නිසා තෝරාගත් සමහර රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත  කිරීමට යෝජනා කර තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස?

මේක දැන් නොව මීට වසර විස්සකට විතර පෙර කළ යුතුව තිබුණු දෙයක්. ලංකාවේ දේශපාලනය හරහා විවිධ ආණ්ඩු එක එක කාලවල රාජ්‍ය ආයතනවලට පුහුණු ශ්‍රමිකයන් වගේම නුපුහුණු ශ්‍රමිකයන්ද අනවශ්‍ය ප්‍රමාණයට බඳවාගෙන තිබෙනවා. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍ය උපරිම තැනට අපි ඇවිත් ඉන්නේ. ඒ කියන්නේ දැන්වත් මේක කරන්න ඕනේ.

ප්‍රධාන වශයෙන්ම රජයේ ආදායම කොටස් දෙකයි. බදු ආදායම හා බදු නොවන ආදායම. රාජ්‍ය ව්‍යවසාය අයිති වනුයේ බදු නොවන ආදායමට. රාජ්‍ය ව්‍යවසාය පාඩු ලබන විට බදු නොවන ආදායම අඩු වෙනවා. එතකොට රජයේ ආදායම වැඩි කරගන්න වෙන්නේ බදු වැඩි කරලා. පාරිභෝගිකයෝ විදියට බදු වැඩි කරනවා කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. මේ විධියට පාඩු ලබන රජයේ ආයතන තවදුරටත් එලෙසම තිබුණොත් ගෙවන්න වෙන බදු තවත් වැඩි වෙනවා.

තවදුරටත් පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත නොකළොත් ඉස්සරහට මීට වඩා බදු ගෙවන්න වෙනවා. නමුත් මෙම ආයතන ප්‍රතිව්‍යුහගත කරලා කාර්යක්ෂම මට්ටමකට රැගෙන ආවොත් සමස්තයක් ලෙස සියලු ජනතාවම එහි වරප්‍රසාද භුක්ති විඳිනවා. හැබැයි කෙටි කාලීනව හැඟුම්බරව හිතලා ප්‍රතිව්‍යුහගත නොකළොත් දිගු කාලීනව මීටත් වඩා පහළට අපිව ඇද වැටෙනවා. එම නිසා පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුයි.

මීට පෙර ප්‍රතිව්‍යුහගත කර සාර්ථක වූ ආයතන ලංකාවේ තිබෙනවාද?

මීට පෙර ලංකාවේ ප්‍රතිව්‍යුහගත කළ ආයතනයක් ලෙස ගන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි ටෙලිකොම් එක. ඉස්සර නිවෙසකට ගෘහස්ථ දුරකථන සේවාවක් ලබා ගැනීම හරිම අපහසුයි. හැබැයි දැන් ටෙලිකොම් ආයතනය ලාභ ලබමින් විවිධ ක්‍රම හ¾දුන්වාදෙමින් සාර්ථකව පවත්වාගෙන යනවා.

ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් රටේ සමහර පුද්ගලයන්ට රැකියාව අහිමි වෙන්න පුළුවන්. මේ රැකියා අහිමි වීමේ අවදානමට අපි මුහුණ දෙන්නේ කොහොමද?

අවසන් වරට ඉදිරිපත් කළ අය-වැය වාර්තාවේදී රජයේ පාඩු ලබන ආයතන හ¾දුනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ඛනිිජ තෙල් සංස්ථාව මීට උදාහරණ. ප්‍රතිව්‍යුහගත කරනවා කියන එකෙන් රාජ්‍ය සේවකයෝ අයින් කරනවා කියන එකම අදහස් වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස රාජ්‍ය සේවකයන්ට වසර පහක් නිවාඩු දාලා පිටරටක හෝ වෙනත් රැකියාවකට යන්න පුළුවන්.

රජය ඉන් තම වියදම අඩු කරගන්නත්, කෙටි කාලීනව යම් සේවක පිරිසක් අඩු කරගන්නත් උත්සාහ කරනවා. නමුත් වසර පහ ඉවර වුණාම එම පුද්ගලයාව නැවත රැකියාවට ගන්නවා. මේ වගේ වේලාවට ස්වේච්ඡාවෙන් රැකියාවෙන් විශ්‍රාම යාම් හෝ අකාර්යක්ෂම සේවකයන්ට අනතුරු ඇඟවීමක් හරහා කාර්යක්ෂම කරගැනීමේ ක්‍රමවේදයක් හ¾දුන්වාදෙන්න පුළුවන්.

එවගේම මෙම ක්‍රියාවලියේදී මුලින්ම ආයතනයේ කළමනාකරණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. මේ හරහා ක්‍රමයෙන් කළමනාකාරීත්වය කාර්යක්ෂම වෙන විට ඊට පහළ සේවකයන්ගෙන් වැඩ නිවැරදිව ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. මේ වගේ විවිධ ක්‍රමවලට අනුව ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරන්න හැකි නිසා සේවකයන්ගේ රැකියාවට බලපෑමක් වෙයි කියා සිතන්න අපහසුයි.

දිවයිනේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ IMF හි ඇති යෝජනා මොනවාද?

අපේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න දැනට IMF එක අපිට කරන්න බැරි දේවල් යෝජනා කරලා නැහැ. උදාහරණයක් විධියට එම යෝජනා අතර රාජ්‍ය ආදායම වැඩි කරගන්න කියලා තිබෙනවා. 2019 වගේ කාලෙදී උපයන ආදායම මත තැබූ බදු ප්‍රමාණය විශාල ලෙස අඩු කළා. එය රාජ්‍ය ආදායම අඩු වෙන්න එක් හේතුවක්.  එය හොඳ ප්‍රතිපත්තියක් නොවේ. බදු අඩු කරන එක හොඳයි කියලා බොහොම පටු විධියට අපි හිතුවොත් එය අනෙක් පැත්තෙන් භාණ්ඩවල මිල ගණන් ඉහළ යෑමට හේතු වෙනවා. බද්ද අඩු වුණා කියලා නැහැ එම ඉතුරු වන මුදල භාණ්ඩවල ඉහළ ගිය මිලට ගෙවනවා.

මේ වගේ වෙලාවක බද්ද වැඩි කිරීමෙන් රාජ්‍ය ආදායම වැඩි කරන්න පුළුවන්. ඒ වගේ පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට ගෙනාවාම රාජ්‍ය ආදායම වැඩි වෙනවා. ඒ අනුව IMF එක කියන පරිදි රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය හෝ ප්‍රතිව්‍යුහගත කිරීම අහිතකර දෙයක් නොවේ.

ඒවගේම යෝජනාවල තිබෙන තව කරුණක් තමයි තරුණ සේවා වියුක්තිය අඩු කිරීම. ලංකාවේ කොවිඩ් -19 පැතිරීමට පෙර සිට තරුණ පරම්පරාවේ, උගත් අය හා කාන්තාවන් අතර සේවා වියුක්තිය වැඩියි. තරුණ අය අතර සේවා වියුක්තිය අඩු කිරීම වක්‍රාකාරව කාර්යක්ෂමතාව වැඩි වීමට හේතු වෙනවා. මොකද වයසින් වැඩි අයට වඩා තරුණයන්ගේ කායික මානසික ශක්තිය ඉහළයි. ඒ අනුව විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා වැඩි කරපු එක වයස 60 දක්වා නැවත අඩු කිරීම තරුණ සේවා වියුක්තිය අඩු කිරීමට හේතු වෙනවා. ඉතින් මෙවැනි යෝජනා ලංකාවට අහිතකර නැහැ.

සංලාපය _ අමානි ඉරේෂිකා රූපසිංහ

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය,

කැලණිය විශ්වවිද්‍යාලය