අධිකරණයට බලපෑම් කළැයි කියන නීතිඥවරයකුගේ හඬපට ගැන රස පරීක්ෂක වාර්තා කැඳවයි

0
15

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන නීතිඥවරයකුගේ හඬපට දෙකක් පිළිබඳව රස පරීක්ෂක වාර්තා කැඳවන මෙන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝග කළේය.

පසුගිය මැයි 23 වැනි දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණය සංවිධානය කිරීම හා අධිකරණය කටයුතුවලට අවහිරයක් සිදුවන අයුරින් කටයුතු සිදුකිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග නිකුත් කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර ඇති අතර ඒ පිළිබඳව විමර්ශනයන් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන බව අපරාධ පරීක්ෂණ

දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥවරයකු විසින් පවත්වන ලදැයි කියන දුරකථන සංවාද දෙකක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වීම හේතුවෙන් එම හඬපට ඔහුගේම දැයි තහවුරුකර ගැනීම සඳහා රස පරීක්ෂක වාර්තා කැඳවීමට නියෝග ලබාදෙන ලෙස අපරාධ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර සිටියේය.

හංසි නානායක්කාර