අත්බෝම්බයක් හා ගිනි අවියක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

0
8

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අතැතිව  බුලත්සිංහල කල්ලුමලේ මාර්ගයේ සැරිසැරූ  පුද්ගලයෙක් සහ බලපත්‍ර රහිත බෝර 12 ගිනිඅවියක් සමඟ බුලත්සිංහල දෙල්මෑල්ල ප්‍රදේශයේදී පුද්ගලයකු 9 දා අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි.

බුලත්සිංහල අතුර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයකු අත්බෝම්බයක් රැගෙන බුලත්සිංහල ඉහළ වෙල්ගම කල්ලුමලේ ප්‍රදේශයට පැමිණෙන බවට බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිසිය මඟ රැක සිට සැකකරු අත්බෝම්බය සමඟ අත්අඩංගුවට ගෙන ඇත. එසේම බුලත්සිංහල දෙල්මෑල්ල ප්‍රදේශයේදී පෙරේදා (10දා) බෝර 12 වර්ගයේ ගිනිඅවියක් සමඟද එම ප්‍රදේශයේම අයකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චමින්ද සිල්වා මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක දුලංජන ඒකනායන, ඇතුළු නිලධාරීහු  වැටලීමට සහභාගි වූහ.

මතුගම – වසන්ත කුමාර