“ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන හද කම්පා වුණා” – සමන්තා පවර්

1
275

ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මානුෂීය ආධාර වශයෙන් තව ත් අමෙරිකානු ඩොලර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබා දෙන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් පවසයි.

ඇය මේ බව සඳහන් කළේ, අද (සැප්. 11) පස්වරුවේ මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ආර්ථික න්‍යාය පත්‍රය අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කළයුතු බව ත්, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සඳහා එක්සත් ජනපදය සිය ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කර දීමට සහතික වන බව ත් ඇය එහිදී පැවසුවා ය.

අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේදී ද ඇය මේ බව සඳහන් කර තිබිණි.

2019 වසරෙන් පසු තමන් ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බව ත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය දැක තම හදවත කම්පා වූ බව ත් ඇය අද පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා ය.

ශ්‍රී ලංකේය ජනතාවට මුහුණ දීමට සිදු වී ඇති අහියෝග පිළිබඳව තමන් කණගාටු වන බව ද ඇය පැවසුවා ය.

ඇය පෙන්වා දුන්නේ, මෙම අර්බුදකාරී අවස්ථාවේ ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග එක්ව සිටින බව ය.

මෙරට ගොවීන්ට පොහොර සහ අනෙකුත් අත්‍යවශ්‍ය කෘෂිකාර්මික යෙදවුම් මිල දී ගැනීමට උපකාර කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 40ක සංවර්ධන ආධාර ලබා දෙන බව ඊයේ (සැප්. 10) නිල වශයෙන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනය නිල වශයෙන් නිවේදනය කළේ ය.

එම ආධාරය සම්බන්ධයෙන් ද සිහිපත් කළ ඇය සඳහන් කළේ, ඒත් සමග අමෙරිකා එක්සත් ජනපදය මෙම වසරේ ජූනි මාසයේ සිට ශ්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතා සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 240කට ආසන්න ආධාර ලබා දී ඇති බව ය.

රජය දූෂණයට එරෙහිව කටයුතු කරන විට ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය වැඩි වනු ඇත බව ද ඇය පෙන්වා දුන්නේ ය.

ණය හිමි රටක් ලෙස ත් පැරිස් සමූහයේ සාමාජික රටක් ලෙස ත් අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහභාගි වීමට සූදානම් බව ද ඇය එහිදී සඳහන් කළා ය.

ඇය වැඩිදුරට ත් සඳහන් කළේ, එම ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සියලු ම ණය හිමි රටවල්, විශේෂයෙන් ම චීනය, විවෘතව සහ අනෙක් රටවල්වල කොන්දේසි හා සැසඳිය හැකි කොන්දේසි සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහභාගි විය යුතු බව ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලී චංග්, අමෙරිකානු සංවර්ධන නියෝජිතායතනයේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ ගේබ්‍රියල් ග්‍රවු ද සහභාගි වූහ.

ඡායාරූපය: @roelraymond

1 COMMENT

Comments are closed.