මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් 4 දෙනෙකුට පිරිසක් පහර දීලා

0
224

පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් ඊයේ (සැප්. 10) සවස ආනමඩුව පුරාණගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් ගොස් සිටියදී නිලධාරීන් සිව්දෙනෙකුට පිරිසක් පහර දී තිබේ.

පොලිසිය සඳහන් කළේ, පහර දීම හේතුවෙන් තුවාල ලැබූ නිලධාරීන් සිව් දෙනෙකු පුත්තලම් රෝහලට ඇතුළත් කර ඇති බව ය.

එහිදී නිලධාරීන් දෙදෙනෙකු නීති විරෝධී මත්පැන් වැටලීමක් සඳහා ගොස් ඇති අතර අනෙක් සිව්දෙනා මත්ද්‍රව්‍ය සන්තකයේ ඇති බවට සැක සහිත පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂා කර ඇත.

එයට විරෝධය දක්වමින් පිරිසක් නිලධාරීන් සමග බහින්බස් වීමක් සිදුව වැටලීමට ගොස් සිටි නිලධාරීන්ට පොලුවලින් සහ මොට ආයුධවලින් පහර දී ඇති බව පොලිසිය පැවසීය.

එහිදී පොලිස් භාරයේ සිටි සැකකරුවන් දෙදෙනා එම ස්ථානයෙන් පළා ගොස් ඇත.

පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ආණමඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ආනමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.