ව්‍යාජ ගමන් බලපත්‍ර පෙන්වා කටුනායකින් ප්‍රංශයට සහ දකුණු අප්‍රිකාවට පළා යාමට තැත් කළ විදේශිකයින් දෙදෙනෙකුට වූ දේ

0
355

කූඨ ලෙස සකස් කළ විදේශ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ප්‍රංශයට සහ දකුණු අප්‍රිකාවට යාමට තැත් කළ ඉරාන ජාතිකයෙකු සහ සෝමාලියානු ජාතිකයෙකු දෙදෙනෙකු අද (සැප්. 11) දින කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

43 හැවිරිදි ඉරාන ජාතිකයා අද අලුයම 12.40ට ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව යාම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 563 දරන ගුවන් යානයට පිවිසීමට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.

26 හැවිරිදි සෝමාලියානු ජාතිකයා ඊ‍යේ (සැප්. 10) දින රාත්‍රී 08.40ට තුර්කි ගුවන් සේවයේ ටී.කේ. – 731 දරන ගුවන් යානයෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත ගොස් එතැන් සිට බ්‍රසීලයේ සාඕ පාවුලෝ නුවර ඔස්සේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඇති වූ සැකය මත මොවුන් ඉදිරිපත් කළ ලියැකියවිලි, දේශ සීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂාවලදී මොවුන් ඉදිරිපත් කළ ප්‍රංශ සහ දකුණු අප්‍රිකානු ගුවන් ගමන් බලපත්‍ර, ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ ඒවා බවට තහවුරු වී තිබේ.

මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීම සිදු කළ අවස්ථාවේ තමන් ඉරාන ජාතිකයෙකු බව ත් තමන්ට එරට තුළ පවතින ජීවිත තර්ජනය හේතුවෙන් මෙසේ ප්‍රංශය වෙත පැන යාමට පැමිණි බව ත් සදහන් කර ඇත.

ඉරාන ජාතිකයාගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආසනයක් මත තබා තිබියදී සහ සෝමාලියානු ජාතිකයාගේ සත්‍ය ගුවන් ගමන් බලපත්‍රය, ඔහු නැවතී සිටි හෝටල් කාමරය තුළ තිබියදීත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ.

අත්අඩංගුවට ගත් දෙදෙනා පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ප්‍රධාන ආගමන විගමන නිලධාරීහු පවත්වති.