වැරදි මග ආ වෑන් රථයක් යතුරුපැදි 3ක ගැටෙයි: තිදෙනෙක් මරුට

0
583

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ රන්වල ප්‍රදේශයේදී ඊයේ (සැප්. 9) රාත්‍රී කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් කෑගල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදි 3ක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අදාළ වෑන් රථය මාර්ගයේ දකුණු පසට බරව ධාවනය වෙමින් සිටියදී නියමිත මං තීරුවේ ධාවනය වෙමින් තිබූ යතුරුපැදි 3ක එලෙස ගැටී ඇති බව ය.

අනතුරින් යතුරුපැදි 3හි පැදිකරුවන් තිදෙනා සහ පසු පැදිකරුවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පැදිකරුවන් දෙදෙනකු සහ පසු පැදිකරුවෙකු මිය ගොස් තිබේ.

මරණකරුවන් තිදෙනා ම වයස අවුරුදු 27හි පසුවන තුල්හිරිය වේයන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

පොලිසිය සඳහන් කළේ, එම අනතුර වෑන් රථයේ රියැදුරුගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් සිදු වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ය.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.