හෙලෝ අයියේ ඔයා දත් මැද්දද අහනවා

0
68

සිය රංගන ජීවිතය සිනමාව තුළින් ආරම්භ කිරීමට තරම් වාසනාවන්ත වූ ඔහු ඉන්පසුව “සිදූ” ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමට සමත් වුණා. නවක පරපුරේ දක්ෂ රංගන ශිල්පියකු ලෙස හ¾දුන්වාදිය හැකි ඔහු මේ දිනවල විකාශය වන “රේස් 2” සහ “විසේකාර හාදුවක්” ටෙලිනාට්‍ය හරහා ඔබ හමුවට පැමිණෙනවා. එම නිසාම හදගැස්ම අපේ කතාබහට ඔහුව සමීප කර ගන්නට අප සිතුවා. ඔහු නමින් ඉමේෂාන් නෙල්ලිගහවත්තයි. කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

රටේ ප්‍රශ්නත් සමඟ අතරමඟ නැවතිලා තිබුණු නිර්මාණ කිහිපයක වැඩ මේ මාසයේ නැවත ආරම්භ කළා. නිර්මාණ කටයුතු නැවත යථාතත්ත්වයට පත් වෙමින් තිබෙනවා. නමුත් මේ තිබෙන තෙල් ප්‍රශ්නය සමඟ ඉදිරියේදී මොනවා වෙයිද කියන්න බැහැ.

මේ දිනවල විකාශය වන ඔබේ නිර්මාණ සහ රූගත කිරීම් සිදුවන නිර්මාණ මොනවාද?

මේ දිනවල රේස් 2 සහ විසේකාර හාදුවක් යන නිර්මාණ දෙක විකාශය වනවා. දිනේශ් හත්දල්ල අයියාගේ නිර්මාණයක රූගත කිරීම් සිදු කෙරෙනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයකටම සම්බන්ධ වුණා.

“විසේකාර හාදුවක්” සහ “රේස් 2” යන ටෙලිනාට්‍යවලට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?

මේ ටෙලිනාට්‍ය දෙකම විකාශය වන්නේ සියත නාළිකාවේ. විසේකාර හාදුවක් කියන ටෙලිනාට්‍යයේ මගේ චරිතය තරමක් දුෂ්ට චරිතයක්. ඒකට ලැබෙන ප්‍රතිචාර තරමක් නරකයි. ඒ කියන්නේ ප්‍රේක්ෂකයො මට බනිනවා. නමුත් රේස් 2 ටෙලිනාට්‍යයේ මගේ චරිතය ඊට වෙනස්. මම එහි නිරූපණය කරන්නේ සල්ලි නිසා වෙනස් වන පුද්ගලයෙක්ගේ චරිතයක්. ඒ චරිතයට නම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන අවධානය යොමු කරනවා. මොකද ඒ හරහා මට මගේ චරිතය වර්ධනය කර ගන්න පුළුවන්.

ඔබේ දක්ෂතාව පෙන්වීමට පුළුවන් වෙනස් චරිත සඳහා ඔබට ආරාධනා ලැබෙනවාද?

ආරාධනා ලැබෙන චරිත අතරින් සියයට 75ක්ම පෙම්වතාගේ චරිත සහ කැම්පස් යන හෝ පාසල් තරුණයාගේ චරිත. මම හරි ආසයි වෙනස් චරිත කරන්න. මම ඒ වගේ නිර්මාණයකට සම්බන්ධ වුණා. ඒක “වඩිනාගල” කියලා තණමල්විල ප්‍රදේශයේ 1950 ගණන්වල කතාවක්. ගොවිතැන් කරන වයස 19ක චරිතයක්.  ඒ වගේම අනුර ධනංජිත් අයියගේ නිර්මාණයකට සම්බන්ධ වුණා. එයත් තරමක් වෙනස් චරිතයක්. ඒ වගේම මම හරිම කැමැතියි හාසේ‍යාත්පාදක චරිත කරන්න. “නාඩි” ටෙලිනාට්‍යයේ මම කළේ එවැනි චරිතයක්. එයට හොඳ ප්‍රතිචාර ලැබුණා.

නළුවෙක් වෙන්න සිතුණේ කොහොමද?

මම පාසල් යන කාලයේ උඩරට නර්තනය හැදෑරුවා සහ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. ඒ නිසා මට පිරිසක් ඉදිරියේ වේදිකාවක රංගනය කරන එක අලුත් අත්දැකීමක් වුණේ නැහැ. ඉන්පසු ශාහිරු රණසිංහ මහත්මයාගේ වීරවර්ණ කියන චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව  ලැබුණා. නළුවෙක් වෙන්න හිතාගෙන මම එයට සම්බන්ධ වුණේ නැහැ. මම ඒ වනවිට උසස් පෙළ හදාරමින් සිටියේ. ෆිල්ම් එකෙන් පසුව මට සිදූ ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුණා. සිදූ හරහා මාව බොහෝදෙනෙක් හ¾දුනාගත්තා සහ මට තවත් නිර්මාණ සඳහා ආරාධනා ලැබුණා.

ඔබට මුලින්ම රඟපාන්න ලැබෙන්නේ ප්‍රවීණයන් පිරිසක් සමඟ ඒ අත්දැකීම ගැන කතා කරමු?

ඔව්. වීරවර්ණ ෆිල්ම් එකේ පළමුවැනි දර්ශනය රඟපාන්න තිබුණේ රවීන්ද්‍ර රන්දෙණිය මහත්මයා සමඟ. මම ඊට පෙර හැබැහින් ඔහුව දැක තිබුණේ නැහැ. ඊට අමතරව ටෙඩි විද්‍යාලංකාර, වීණා ජයකොඩි, සිරිල් වික්‍රමගේ, ඩග්ලස් රණසිංහ වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණ පිරිසක් සමඟ තමයි මම එහි රඟපෑවේ. ඒක මට හීනයක් වගේ. ඔවුන් සියලුදෙනාම මට විශාල සහයෝගයක් ලබා දුන්නා වගේම මට බොහෝ දෑ ඉගැන්වුවා. ඒ නිසා වීරවර්ණ ෆිල්ම් එක මට විශ්වවිද්‍යාලයක් වගේ වුණා. රවීන්ද්‍ර රන්දෙණිය සර් කියලා දීපු දේවල් මට අදටත් මතකයි.

දීර්ඝ ටෙලිනාට්‍යවලට සම්බන්ධ වීම තුළ රංගන ශිල්පියෙක්ට යම් ආකාරයක පීඩාවක් ඇති වෙනවා නේද?

දීර්ඝ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක්ට හෝ ශිල්පිනියකට ආර්ථික වශයෙන් ඉතාම හොඳයි. චරිතයක් විධියට යම් පීඩනයක් තිබෙනවා. කතාවක් එක දිගට ඇදගෙන යන විට ප්‍රේක්ෂකයන්ගෙන් චෝදනා එල්ල වනවා. එය තමයි මට තිබුණු විශාලම පීඩනය. ඒ වගේම දීර්ඝ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වී සිටින විට ප්‍රේක්ෂකයන් ඒ චරිතයෙන් අපිව මනින අවස්ථාත් තිබෙනවා. ආර්ථිකමය වශයෙන් යම් වාසියක් තිබුණත් චරිතය ගොඩනඟාගෙන දීර්ඝ කාලයක් යන විට එය අසාර්ථක වෙනවා.

සිනමාව පැත්තෙන් ඉදිරියට එන්න අදහසක් නැද්ද?

නාලක විතානගේ අයියාගේ සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණා. ඒ වගේම සරත් දික්කුඹුර අයියාගේ “මරු කතර” සිනමාපටයට සම්බන්ධ වුණා. එම නිර්මාණ ඉදිරියේදී තිරගත වෙයි. සිනමාවට මම ආසයි. ආරාධනා ලැබුණොත් ඉදිරියේදී සම්බන්ධ වෙනවා.

ඉමේෂාන්ට ගැහැනු පාර්ශ්වයෙන් වැඩිපුර ප්‍රතිචාර ලැබෙනවාද?

 ගැහැනු පාර්ශ්වයෙන් ප්‍රතිචාර වැඩිපුර ලැබෙනවා. ඒ වගේම මට සාමාන්‍යයෙන් අවුරුදු 10 වැනි වයස්වල කුඩා දරුවන්ගෙන් ප්‍රතිචාර බොහෝමයක් ලැබෙනවා. මම හිතන්නේ ඒ වෙළෙඳ දැන්වීම් නිසා. මම එකපාරක් කන්දක් උඩට ගොස් හෙලෝ කියන වෙළෙඳ දැන්වීමක පෙනී සිටියා. බොහෝ කුඩා ළමයින් මාව දැක්කම හෙලෝ අයියේ ඔයා දත් මැද්දද “ආ මේ නාන්නෙ නැති අයියා නේද” කියලා අහනවා. ඒ වගේ විවිධ වෙළෙඳ දැන්වීම්වල චරිත තමයි ඔවුන්ට හොඳටම මතක.

ඔබ ඇතුළු වර්තමාන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක්ට ව්‍යාපාර තිබෙනවා. ඒ කියන්නේ රංගනය වෘත්තිය කරගෙන ජීවත් වෙන එක අමාරුයිද?

ඇත්තටම රංගනය වෘත්තිය කරගෙන ජීවත් වන පිරිසක් සිටිනවා. එය නිවැරදිව කළ යුතුයි. ව්‍යාපාරයක් කරන එක හොඳ දෙයක්. මොකද බැංකුවකට ගිය විටත් රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් අපහසුතාවට පත් වෙනවා. ඒ ආර්ථික ප්‍රශ්න නිසා තමයි බොහෝ දෙනෙක් ව්‍යාපාරයකට යොමු වන්නේ. මමත් කුරුඳු සහ රබර් වගාවක් කරගෙන යනවා. මම ව්‍යාපාරය ආරම්භ කළේ රංගනයෙන් ලැබුණු මුදල් හරහා. ඉතින් නිසි කළමනාකරණයකින් යුතුව වැඩ කළොත් රංගනය හරහා පමණක් වුවත් ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන්.

අද ක්ෂේත්‍රයට විවිධ අංශ ඔස්සේ නවකයන් බොහෝ දෙනෙක් පිවිසෙනවා. එය අභියෝගයක් නොවෙයිද?

මම සිතන්නේ එහෙම වෙන්න ඕනෑ. අභියෝගයක් තිබෙන තැන තමයි තරගකාරීත්වයක් තිබෙන්නේ. ටික් ටොක් කරන අයත් අද වනවිට ක්ෂේත්‍රයට පැමිණෙනවා. ඇතැම් අය එය දකින්නේ වැරදි දෙයක් විධියට. නමුත් මම දැකලා තිබෙනවා ඔවුන් මියුසික් වීඩියෝවලදී කෙටි රූප රාමුවලට අනෙක් අයට වඩා ලස්සනට රඟපානවා. අද වනවිට ප්‍රේක්ෂකයා ස්මාර්ට් ෆෝන් සංකල්පයට පැමිණිලා අවසන්. ඉතින් ටික් ටොක් කරන අය රඟපාන්නේ ස්මාර්ට් ෆෝන් එකක් ඉදිරියේ. එම නිසා ඔවුන් කෙටි රූප රාමුවලට මුහුණේ ඉරියව් හොඳින් පෙනෙන්නලා දක්ෂ ලෙස රඟපානවා මම දැකලා තිබෙනවා. ඔවුන්ගෙන් මමත් ඉගෙන ගන්නවා. මම සිතන්නේ ඒ විධියට අලුත් පිරිසක් පැමිණෙන විට තමයි ක්ෂේත්‍රය දියුණු වෙන්නේ.

ඉමේෂාන් පෙම්වතෙක්ද?

ඒ ප්‍රශ්නයට මම ළඟදීම පිළිතුරක් දෙන්නම්.

පවුලේ විස්තර?

මගේ පවුලේ අම්මා, තාත්තා, අයියා සහ නංගී තමයි සිටින්නේ. ඔවුන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා. කොවිඩ් කාලයේදීත් ඔවුන් මට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඔවුන් තමයි මගේ ශක්තිය.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මගේ ව්‍යාපාරය දියුණු කරගෙන, කුරුඳු අපනයනය කරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ සම්බන්ධව අදාළ වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම රංගන ජීවිතය පැත්තෙනුත් හොඳ රංගන ශිල්පියෙක් විධියට සාර්ථකව කටයුතු කරන එක තමයි මගේ බලාපොරොත්තුව.

කුශාන්ති අනුරාධා බණ්ඩාර