සිනේමාහි මගේ පුංචි කාලේ අත්දැකීම් තියෙනවා

0
309

වෛද්‍යවරයෙක්, ගීත රචකයෙක්, නිවේදකයෙක් වගේම සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙසත් කටයුතු කරන ඔහු තවත් විෂය ක්ෂේත්‍ර ගණනාවකම ප්‍රවීණයෙක්. නමින් වෛද්‍ය කපිල සූරියආරච්චි වන ඔහු මේ දිනවල තිරගත වන ‘සිනේමා’ සිනමාපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම තිරපිටපත් රචකයාද වෙනවා. වෛද්‍ය වෘත්තියෙන් මිනිසුන්ගේ රෝග සුවපත් කරන අතරම කලාවෙන් මිනිසුන්ගේ සිත් සුවපත් කරන ඔහුව හදගැස්ම කතාබහට සමීප කරගන්නට අප සිතුවා. මේ එම කතාබහයි. කොහොමද මේ දිනවල වැඩකටයුතු?

මේ දිනවල මගේ රාජකාරී කටයුතුවලට අමතරව සම්පූර්ණයෙන්ම සිනේමා චිත්‍රපටයේ වැඩකටයුතුවල තමයි නිරත වන්නේ.

සිනේමා කතා තේමාව නිර්මාණය වූයේ කොහොමද?

සිනේමා කියන්නේ මගේ දෙවැනි චිත්‍රපටය. සිනේමා කියන එකේ අදහස මම තමයි චිත්‍රපටය කියන එක. මේ චිත්‍රපටය තුළින් සිනමාව ගැන කතා කළාට නරඹන්නන්ට චිත්‍රපටය අවසානයේදී තේරෙනවා මේ කියන කතාව කුමක්ද කියලා. මේ චිත්‍රපටය සඳහා මගේ කුඩා කල අත්දැකීම් පාදක වෙලා තිබෙනවා. මගේ නිවෙස තිබුණේ සිනමා ශාලාවක් අසලයි.

මම ඒ කාලයේ චිත්‍රපට බැලුවේ සිනමා ශාලාවේ ප්‍රක්ෂේපනාගාරයේ සිටයි. එම ප්‍රක්ෂේපනාගාරයේ සේවය කිරීමට සිටියා වයසක කරුණාවන්ත මහත්මයෙක් සහ සිනමාවට ආස නිසා ගෙදරින් පැනලා ආපු තරුණ පිරිමි ළමයෙක්. මේ අත්දැකීම තමයි සිනේමා සඳහා පාදක වුණේ. ඒ වගේම බුද්ධිමය දේපළ සොරකම් කිරීම ගැනත්, දරුවෙක් තමන්ගේ අනාගතය තීරණය කළ යුත්තේ කොහොමද කියන කාරණය ගැනත් මේ තුළ කතා කෙරෙනවා.

වෛද්‍යවරයෙක් අධ්‍යක්ෂවරයෙක් බවට පත්වූ ආකාරය ගැන කියමු?

කුඩා කාලයේ පටන් සිනමාවට මගේ කැමැත්තක් තිබුණා. මම උසස් පෙළ හදාරන්න කොළඹට පැමිණියා. මම ඒ කාලයේ පාසල් නාට්‍යවලට සම්බන්ධ වුණා. ඒ වගේම ඒ කාලයේ ගුවන්විදුලියේ බාහිර නිවේදකයෙක් ලෙසත් සම්බන්ධ වුණා. කෙසේ නමුත් මගේ මවුපියන්ට විශාල බලාපොරොත්තුවක් තිබුණා මාව වෛද්‍යවරයෙක් කරන්න.

ඒ නිසා මම ජීව විද්‍යාව හැදෑරුවා. උසස් පෙළ අවසන් වුණාට පසුව මම නිවේදන කටයුතු සහ නාට්‍ය සම්බන්ධ කටයුතු කළා. මම කලාවට යොමු වෙයි කියලා සිතූ මගේ මවුපියන් මාව වෛද්‍ය විද්‍යාව හදාරන්න රුසියානු විශ්වවිද්‍යාලයකට යොමු කළා. රුසියාවේදී මට කලාවට තවත් සමීප වෙන්න හැකියාව ලැබුණා. මම එහි කලා උළෙලක කළ අභිරූපණයක් දුටු වෛද්‍ය පීඨයේ පීඨාධිපතිතුමා වෛද්‍ය විද්‍යාව හැදෑරීමෙන් පසුව රංගනය පිළිබඳව ඩිප්ලෝමා එකක් හදාරන්න අවස්ථාව සලසා දුන්නා.

වෛද්‍යවරයෙක් ලෙස නැවත ලංකාවට පැමිණියාට පසුව කලාවට සම්බන්ධ වුණේ ගීත රචනාව හරහා. ඉන් පසුව 1993දී ජාතික රූපවාහිනියේ නිවේදකයෙක් ලෙස සම්බන්ධ වීමට හැකියාව ලැබුණා. වැලිසර ළය රෝහලේ සේවය කරන සමයේ ‘තරණිය’ කියලා ක්ෂය රෝගය සම්බන්ධව ඒකාංගික ටෙලිනාට්‍යයක් කළා. ඉන්පසුව ‘‍ෙදාළොස් පැය’ කියලා කථාංග 12කින් යුතු ටෙලිනාට්‍යයක් කරන්න හැකියාව ලැබුණා. ක්ෂය රෝගය පිළිබඳව සමාජයේ ඇති මතය වෙනස් කිරීම සඳහා අතින් ඉගිලෙන සමනලයා, කෝරලේ මහත්තයා වැනි වෙළෙඳ දැන්වීම් කිහිපයක්ම මම නිර්මාණය කළා. 

ඔබේ පළමු චිත්‍රපටය ‘ප්‍රතිරූ’ ගැනත් කතා කරමු?

යුද්ධය අවසන් වීමත් සමඟ යුද්ධය ගැන නොපෙන්වා යුද්ධය නිසා සිදුවූ අම්මා කෙනෙක්ගේ සහ පුතෙක්ගේ සත්‍ය ජීවිත කතාවක් වටා ගෙතුණු කතාවක් චිත්‍රපටයක් ලෙස නිර්මාණ කරන්නට මට සිතුණා. මට හමුවූ මේ අම්මා ගැන මුලින්ම ගීතයක් රචනා කළා. පසුව තමයි මට සිතුණේ මෙය චිත්‍රපටයක් ලෙස ගොඩනැඟිය යුතු බව. සිනමා අධ්‍යක්ෂවරයෙක් වූ ලංකාවේ පළමු වැනි වෛද්‍යවරයා විධියට මම ප්‍රතිරූ කියන සිනමාපටය නිර්මාණය කළා.

සිනේමා හි ඔබේ පුතා ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා නේද?

ඔව් මගේ පුතා මේඝ සූරියආරච්චි සිනේමා හි රඟපානවා. මට මවුපියන්ගෙන් කලාවට පැමිණීමට තිබුණු බාධක මම ඔහුට දැමුවේ නැහැ. ඔහු තෝරාගත් මාවතේ ගමන් කරන්නට මම ඔහුට උපරිම නිදහස ලබාදී තිබෙනවා. මම මේ චරිතයට ඔහුව තෝරා ගත්තේ මගේ පුතා වීම නිසා නොවෙයි. ඔහු ඒ චරිතයට ගැළපෙන නිසයි.

ඔබ සිනේමා නිර්මාණය කර බොහෝ කාලයකට පසුවයි මෙය තිරගත කරන්නට ලැබෙන්නේ?

මම සිනේමා නිර්මාණය කරන්නේ සිනමාවට වසර 70 ක්වූ මොහොතේ දීයි. නමුත් මට සිනේමා තිරගත කරන්න ලැබුණේ සිනමාවට 75ක් වූ මොහොතේයි. මේ අතර විශාල කාල පරතරයක් තිබෙනවා. චිත්‍රපටයක් තිරගත කිරීමට ගතවන කාල පරතරය අඩු වෙනවා නම් හොඳයි. මොකද නිෂ්පාදකවරුන්ට එතරම් කාලයක් බලාගෙන සිටින්න පුළුවන්ද කියන එක ආදී විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වෙනවා.

සිනේමා කියන්නේ සිනමාව ගැන කතා කරන චිත්‍රපටයක්. මෙහි සුවිශේෂීතා කිහිපයක්ම තිබෙනවා, ඒ ගැනත් කතා කරමු?

සිනමාවේදී නැවත දකින්නට නොලැබෙන සෙලෝලයිඩ් පට ආදී සියලු උපකරණ මේ සිනේමා චිත්‍රපටය තුළ දැක ගන්නට පුළුවන්. ප්‍රොජෙක්ටර් වැඩ කරන විධිය ස්ටූඩියෝ එකක් තුළ සිදුවන සියලු කාර්යයන් මෙහිදී දැක ගන්න පුළුවන්. ආචාර්ය රෝහණ වීරසිංහ සහ දර්ශන රුවන් දිසානායක මෙහි සංගීතය සපයනවා. ඒ වගේම සේනක බටගොඩ කලාකරුවා මගේ ගී පද රචනයකට මෙහිදී ඔහුගේ හඬ මුසු කරනවා. සිනේමා චිත්‍රපටයේ තේමා ගීතය ගයන්නේ ඔහුයි. ඊට අමතරව විශාරද අමරසිරි පීරිස්, උරේශා රවිහාරි, රන්ජන් සාලිය ආදී ගායන ශිල්පීන් ගීත ගායනා කරමින් සම්බන්ධ වුණා.

සිනේමා හි ලංකාවේ මෙතෙක් බිහිවූ සෑම රංගන පරපුරක්ම නියෝජනය කරන රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් සිටිනවා නේද?

ඔව්. රේඛාව චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ආනන්ද වීරකෝන්, අනුලා කරුණාතිලක, කාන්ති ලංකා, නෙතලි නානායක්කාර, රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, අයිරාංගනී සේරසිංහ, වීණා ජයකොඩි, රොබින් ප්‍රනාන්දු, ඩග්ලස් රණසිංහ, විජේරත්න වරකාගොඩ, චාන්දනී සෙනවිරත්න, ගාමිණී හෙට්ටිආරච්චි, දුලීකා මාරපන, බිමල් ජයකොඩි, ශ්‍යාම් ප්‍රනාන්දු, කලනි ‍ෙදාඩංතැන්න, මේඝ සූරියආරච්චි සහ නයනතාරා වික්‍රමආරච්චි වැනි මෙතෙක් බිහිවූ රංගන පරපුරවල් සෑම එකක්ම පාහේ නියෝජනය කරන එක් පරපුරකින් අවම වශයෙන් එක් රංගන ශිල්පියෙක් බැගින් හෝ සිනේමා සඳහා සම්බන්ධ වුණා.

මෙවැනි අර්බුදකාරී කාලයක නිර්මාණ කරන එක අභියෝගයක් නේද?

ඔව්. එය විශාල අභියෝගයක්. මේ රටේ අනෙකුත් දේවල්වල වගේම සිනමා ක්ෂේත්‍රය තුළත් බොහෝ ගැටලු තිබෙනවා. නිවැරදි සාධාරණ ක්‍රමයක් නොමැතිකමක් මේ තුළත් දකින්නට ලැබෙනවා. උදාහරණයක් විධියට අවුරුදු ගණනක් චිත්‍රපටය පෙන්වීමට පෝලිමේ සිටි කෙනෙක්ගේ චිත්‍රපටයට කලින් අලුතෙන් කළ චිත්‍රපටයක් පෙන්වන අවස්ථා තිබෙනවා. ලාංකේය සිනමාවක් දකින්න ඕනෑ නම් මේ දේවල් නිසි ලෙස නියාමනය කරන්න ඕනෑ.

ඔබ වෛද්‍යවරයෙක් වීම නිසා සිනමා ක්ෂේත්‍රය තුළ ලැබුණු පිළිගැනීම ගැන කතා කළොත්?

මම වෛද්‍යවරයෙක් වීම නිසා ඇතැම් අවස්ථාවල මට ලැබෙන පිළිගැනීම තරමක් අඩුයි. මට එය දැනෙනවා. ලෙඩෙක්ට බෙහෙත් කරගෙන සිටින්නේ නැතුව ඇයි මේ වෛද්‍යවරයෙක් චිත්‍රපට කරන්නේ කියන ආකල්පය තිබෙන මිනිසුන් බොහෝමයක් සිටිනවා. මම සිතන්නේ මාව වෛද්‍යවරයෙක් ලෙස නොසිතා මනුෂ්‍යයෙක් ලෙස දකිනවා නම් ඒ ගැටලුව මතු වෙන්නේ නැහැ.

ඉදිරි වැඩකටයුතු මොනවාද?

මම Change With Kapila නමින් යූටියුබ් චැනල් එකක් ආරම්භ කර තිබෙනවා. එහි වැඩකටයුතු ඉදිරියේදී කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. තිරපිටපත් කිහිපයක්ම මම මේ වන විට රචනා කර තිබෙනවා. ඒවා අතුරින් එකක් ඉදිරි මාස දෙක ඇතුළත පටන් ගන්න බලාපොරොත්තු වෙනවා.

කුශාන්ති අනුරාධා බණ්ඩාර