සහෝදර ප්‍රේමයක සදාදරණීය සමුදීම

0
550

ලෝකේ කොහේ හිටියත් ගෙදර වගේ නෑ කියලා කතාවක් තිබෙනවනේ. ඔව්, ඒ කතාව සහතික ඇත්ත; ආදරය, සතුට ඉතිරුණු ආදරණීයන්ගෙන් දුරස් වෙලා කොහොම ඉන්නද? ඒ තමයි ඔබට, මට තියෙන වටිනම වස්තුව. මොහොතකට නතර වෙලා ඇස් දෙක පියාගෙන අම්මගේ, තාත්තගේ ඒ හිනාවෙන් පිරුණු මුහුණු නංගිගේ, මල්ලිගේ, අක්කගේ, අයියගේ දුවගේ, පුතාගේ, ආදරණීය බිරියගේ ඒ දඟකාරකම්, ඒ මුරණඩුකම්, ඒ හුරතලේ, ඒ කේන්තිය මතක් කරගෙන බලන්න. ඔයා ඔයාවම චූටි වෙලාවකට නතර කරගෙන, එයාලගේ මතක පිරුණු ඔයාගේ ලෝකේ එයාලා එක්ක තනිවෙයි.

ඒත් නොසිතූ වෙලාවක ඔයාගේ ආදරණියන් ඔයාව හැරගියොත්? ඔයාගේ හිත ළඟම දැවටුණු ප්‍රේමවන්තිය, ප්‍රේමවන්තයා එහෙමත් නැත්නම් සෙනෙහසින් කුලගෙට පියනග්ගවන්නට සිහින දැකපු ප්‍රාණය බඳු වූ දියණියට, පුතාට නොසිතූ විපතක් පැමිණියොත්? දඟකාර හිතුවක්කාර හුරුබුහුටි සහෝදරියට, සහෝදරයාට… ඔව් ඇති. මං දන්නවා එහෙම දෙයක් ගැන හිතින් හිතන්නටවත් ඔබට බැරි බව. මේ වචන කිහිපය කියවන කොට ඔබට ඇතිවුණ අපහසුවට සමාවෙන්න. ඒත් ඒ හැඟීම අපි අද කතා කරන්නට යන හිතුමතේ ජීවිතේ චිත්‍රපටය ඔබට දැනෙන්නට ප්‍රවේශයක් වේවි කියලා මං හිතනවා.

අදින් වසර 52කට පෙර අතීතයේ සිදුවුණ සිදුවීමක් පාදක කරගෙන තමයි මේ හිතුමතේ ජීවිතේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. ජේ‍යෂ්ඨ විභාගය අවසන් කිරීමෙන් පස්සේ සුළු රැකියාවක නිරතවෙන සුමතිපාල පවුලේ වැඩිමලායි. රූමතියක වන කුසුමාවතී ඔහුගේ නැඟණියයි. වරාය අධිකාරියේ සේවය කරන පියා සහ ගෘහණියක වුණු මවත් නිරන්තරයෙන්ම කැප වූණේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්මයි. එදා මූසල වැසි දවසක්. වැහි අන්ධකාරයෙන් වටපිටාවම ගිලගෙන තිබුණු ගොම්මන් යාමයේ තම නැඟණිය අමතර පන්තියට සහභාගී වී ආපහු එනකන් සුමති බලාගෙන හිටියේ පුරුදු තැනමයි. ඒත් තම නැඟණියගේ පරක්කුව නිසාම ඇයට තමාව මඟහැරී නිවසට ගොස් ඇතැයි කියා සිතා ඔහු නැවතත් නිවස වෙත යන්නේ තනිවමයි.

නිවසට එන සුමතිට අහන්නට වෙන්නේ ඔහු නොසිතූ දෙයක්. අඳුර වැටුණත් තම නැඟණිය තවමත් නිවසට පැමිණි නැති ඒ රෝමකූප කෙළින් වෙන පණිවුඩය ලැබුණු විගසම ඔහු පියාත් සමඟ එකතු වී මුළු රැයම ඇයව සොයනවා. එත් ඔවුන්ට කිසිම හෝඩුවාවක්වත් හොයාගන්නට බැරි වෙනවා. මේ අවාසනාවන්ත සිදුවීමට පාදක වෙන්නේ එක් වාසනාවන්ත සිදුවීමක්. මීට මාස කිහිපයක පෙර කුසුමාවතී එහෙමත් නැතිනම් කුමාරි අවුරුදු කුමරියක ලෙස අභිෂේක ගැන්වීමයි.

එම අවුරුදු උළෙලේ ප්‍රධාන ආරාධිතයා වුණු ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාට තම වයසින් අඩකටත් වඩා බාල මේ යොවුන් අවුරුදු කුමරිය ගැන පහළවෙන උමතු සිත සුමතිපාලලාගේ සොඳුරු ආදරය පිරුණු කැණිමඬලට ගිනිතියන්නට සැරසුණු පළමු ගිනි පුපුරයි.  එදා රාත්‍රියේ අතුරුදන් වූ තම නැඟණියට සිදුවූයේ කුමක්ද කියා සුමතිට අසන්නට ලැබෙන්නේ පසුවයි. මෙතැනින් එහාට සිදුවන්නේ විනාසයක්. රුධිරයට රුධිරයෙන්ම පළිගන්නා සහෝදරයකුගේ කතාවක්. මේ සහෝදරයාගේ කකියන පපුකුහරයේ නළියන ඒ සහෝදර ප්‍රේමයේ බැඳීම කොච්චරක්ද කියලා අපි චිත්‍රපටය නරඹලාම දැනගනිමු.

අවුරුදු 15-16 වෙනකොට සිනමාකාරයෙක් වෙන්න හීන මවපු, තිර නාටක ලියාගෙන ධර්මසේන පතිරාජ, සුනිල් ආරියරත්න, තිස්ස අබේසේකරලා හොයාගෙන ගිහින් තමන්ගේ පික්චර් පිස්සුව හොඳ කරගන්නට මාන බලපු පුංචි කොල්ලෙක්ගේ ඒ කාලේ තිබ්බ හීනයක් රට වෙනුවෙන් පැත්තකින් තබලා ආයෙම වසර 30ට පස්සේ ඒ හීනය සැබෑ කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි හිතුමතේ ජීවිතේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. රට වෙනුවෙන් තමන්ගේ වගකීම අකුරටම ඉටුකළ රණවික්‍රම, රණශූර පදක්කම්වලින් පිදුම් ලැබූ ගුවන් හමුදාවේ ගෘෘප් කපිතාන් ක්‍රිශාන්ත මනම්පේරි මහතා තමයි හිතුමතේ ජීවිතේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. ඔහුගේ හීනයට පණ දෙන ආදරණීය බිරිය වන විහාරා සමරසිංහ මෙහි නිෂ්පාදකවරියයි.

මේ චිත්‍රපටයට පාදක වෙන්නේ මව්බිම පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයෙක් වශයෙන් සේවය කරන ප්‍රවීණ මාධ්‍යවේදී උදේනි සමන්කුමාර මහතා 2016දී ලියූ හිතුමතේ ජීවිතේ කෘතිය බව සඳහන් කරන්නම ඕනේ.. ක්‍රිෂාන්ත මනම්පේරි විසින් කරන පරික්ෂණ සහ අධ්‍යයනයන් ගණනාවකට පස්සේ ප්‍රියංකර රත්නායක හා ඉන්දික අතුලගේ තිර රචනයෙන් හැඩවෙන චිත්‍රපටයේ සංගීතය සාගර විජේසිංහ හා ගයාත්‍රි කේමදාසයි, සංස්කරණය රුක්මන් නිරෝෂ්, කැමරාකරණය නිශාන්ත ප්‍රදීප් අතින් සිදුවනවා.

dhaka international film festival, uk asian film festival, third eye asian film festival ඇතුළු අන්තර්ජාතික සිනමා උළෙල රැසක් නියෝජනය කරන්නට හිතුමතේ ජීවිතේ චිත්‍රපටය මේ වෙනකොට සමත්වෙලා තිබෙනවා.

චිත්‍රපටයේ සියලු නළු නිළියන්ගේ ප්‍රතිභාපූර්ණ රංගන කුසලතාව නිසාම පැය දෙකකට ආසන්න වූ ධාවන කාලය ඉතා ඉක්මනින් ගත වෙන බව ඔබට අනිවාර්යයෙන්ම දැනෙයි. මහේන්ද්‍ර පෙරේරා, ජයනි සේනානායක, ප්‍රියංකර රත්නායක, දමිතා අබේරත්න, කුමාර තිරිමාදුර, දිනෙත් ද සිල්වා, පාලිත සිල්වා, ජගත් චමිල, සරත් කොතලාවල, ගිහාන් ප්‍රනාන්දු ඇතුළු තවත් ජේ‍යෂ්ඨ රංගන ශිල්පීන් රැසකගේ රංගන දායකත්වය චිත්‍රපටයට ලබා දෙනවා.

2019 වර්ෂයේ සියලු වැඩ අවසන් වන චිත්‍රපයට මේ වෙනතුරු තිරගත නොවීමට හේතු වෙලා තිබෙන්නේ රටේ ඇතිවුණු අයහපත් වාතාවරණයයි. හිතුමතේ ජීවිතේ ප්‍රදර්ශනය වෙන්නේ කවදාද? ඒ සුවහසක් සිනමාවට ආදරය කරන සිනමාලොලීන්ට ඇති ප්‍රශ්නයක්. ඒකට පිළිතුරක් දීමට මේ වන විට චිත්‍රපටය ප්‍රදර්ශනයට නිෂ්පාදන කණ්ඩායම සියලුම කටයුතු සූදානම් කරලා තිබෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂ මනම්පේරි මහතා පවසන ආකාරයට සැප්තැම්බර් 15දින සිට EAP මණ්ඩලයේ සිනමා ශාලා ප්‍රමුඛ ශාලා 50කට අධික ප්‍රමාණයකින් හිතුමතේ ජීවිතේ චිත්‍රපටය ඔබට දැකගැනීමට ලැබෙයි.

“මට සමාවෙන්න අම්මේ මට බැරි වුණා ඔයාලා වෙනුවෙන් කිසිම දෙයක් රැකගන්න.” පසුගිය දිනක ජනගත වුණු හිතුමතේ ජීවිතේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයේ අවසානයට එහෙම කියන්නේ කුසුමාවතීයි. තම ලෙයම ඇති නැඟණියට කළ සාහසික අපරාධයට, ආදරය සෙනෙහහ උතුරාගිය කැණිමඬලේ සැනසීම ගිනි තබා අළු කරපු පවුකාරයන්ට ලෙයට ලෙයින් දඬුවම් දෙන සහෝදරයාගේ සහෝදර ප්‍රේමයක සදාදරණීය සමුදීමේ කතාව බලන්න ඔබත් සැප්තැම්බර් 15 ළඟම ඇති සිනමා ශාලාවට එන්න.

ෂාමික ඉරේෂ් ජයලත්