සචිත්‍රගේ හිතට වැටුණු මිසයිල

0
106

වේදිකාව යනු  අප රටෙහි කලා ක්ෂේත්‍රය තුළ ප්‍රබල භූමිකාවක් මෙහෙයවන මහා රංගන පෞරුෂයන් බිහි කරන,  බහුතරයක් රංගවේදීන් ගොඩනැඟෙන  මූලික අඩිතාලමකි. එහෙත් රටෙහි තිබුණු අර්බුදකාරී පසුබිම හේතුවෙන් සිනමාවට, ටෙලි නාට්‍යයට සාපේක්ෂව වේදිකාව තරමක් පසුබෑමකට ලක් විය. නමුත් වේදිකාවට මේ එලැඹෙන කාල වකවානුව නම් සුබදායක බව කිව යුතුමය. 

මෙරට  නාට්‍යකරුවන් හට ලාංකේය වේදිකාව වැසී නොමැති බව පෙන්වා දුන්,  වේදිකා නාට්‍යය වෙනුවෙන් ස්වර්ණමය යුගයක් බිහිකළ දැවැන්ත යුග පුරුෂයකු ලෙස සම්මානනීය අධ්‍යක්ෂ සචිත්‍ර රාහුබද්ධ හ¾දුන්වා දිය හැකිය. වේදිකාවේ සුබ සිද්ධිය උදෙසා ඔහු දරන වෑයම අති මහත්ය. වේදිකාව වෙනුවෙන් වේදිකාවෙහි රැඳෙන සහ රැඳුණ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔහු ගත් එක වෑයමක් එලැඹෙන 22 වැනිදා මල්ඵල ගැන්වෙනු ඇත. ඒ පිළිබඳ ඔහු සමඟ සිදුකළ සංවාදයයි මේ. මේ දිනවල වැඩ කටයුතු කොහොමද?

මේ දිනවල මගේ කෙටි නාට්‍ය උළෙලට සූදානම් වෙමින් සිටිනවා. ‘හිතට වැටුණු මිසයිල’ නමින් තමයි අපි කෙටි නාට්‍ය උළෙල නම් කළේ.  2022 සැප්තැම්බර් මස 18 වැනිදා සවස 3.30ට සහ 7.00ට ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී තමයි කෙටි නාට්‍ය උළෙල පැවැත්වීමට සූදානම් කර තිබෙන්නේ. ‘රත්මල් යහනක සැතපී’, “කැපනං, උත්පලවර්ණා” යන වේදිකා නාට්‍යත්, “දෙමළා නම්”  වේදිකා නාට්‍යයෙහි මංගල දර්ශනයත් එදින පෙන්වීමට සැලසුම් කොට තිබෙනවා.

පසුගිය කාලයේ අපේ රටේ නාට්‍ය කලාව තරමක් අඩපණ වී තිබුණා. ඉතින්  ජනතා අරගලයකට පස්සේ පොඩි සංක්‍රාන්ත්‍රික අවධියක් තමයි මේ ගෙවන්නේ. ඉදිරියට මොන වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවෙයිද කියලා අපිට නිශ්චිතව කියන්න බැහැ. ඒ නිසා මේ මොහොතෙහි නැවත වතාවක් සමාජය කියවමින්, නාට්‍ය පිළිබඳව කියවමින් අපිට කුමක්ද කරන්න පුළුවන් කියලා සිතමින් සිටින අතරතුර තමයි මෙම කෙටි නාට්‍ය උළෙල පැවැත්වීම  පිළිබඳ අදහස මට ආවේ.

රටෙහි තිබෙන ගැටලු  සමඟ වේදිකා නාට්‍යයක් නැරඹීමට වෙනදා මෙන්ම සබුද්ධික ප්‍රේක්ෂකාගාරයක් මෙවරත් ඔබට බලාපොරොත්තු විය හැකිද?

මම නම් මේ පිළිබඳව සිතන්නේ  සුබවාදී විධියටයි. පසුගිය සමයේ  අරගලය නිසා කලාවට විශාල බලපෑමක් සිදුවුණා. නමුත් අරගලයට පෙර වුණත් වේදිකාවට ප්‍රබල ප්‍රේක්ෂකාගාරයක් තිබුණේ නැහැ. එහෙත්  මට සිතෙනවා මෙම ගැටලුවලින් පසුව වේදිකාව වෙනුවෙන් සජීවී ප්‍රේක්ෂකාගාරයක් නැවත තැනෙයි කියලා. කලාව තුළින් සමාජයට යම් දෙයක් කරන්න පුළුවන් කියලා ඇතැම් පිරිස් දැන් තේරුම් ගෙන සිටිනවා. ඒ නිසා ආර්ථික, සමාජීය, ප්‍රවාහන ගැටලු මැද වුවත් රසිකයන් පෙර පරිදි පැමිණෙයි යන බලාපොරොත්තුවෙන් තමයි අපි සිටින්නේ.

මුහුණ දෙන ආර්ථික අර්බුද හමුවේ වේදිකා නාට්‍යයක් නැරඹීමට තරම් මූල්‍යමය හැකියාවක් ඇතැම් ප්‍රේක්ෂකයන්ට නොමැති වී තිබෙනවා. ඒ පිළිබඳ ඔබගේ අදහස?

අපි මෙහි පැති දෙකක් පිළිබඳ සිතා බැලිය යුතුයි. එහි එක් පැතිකඩක් තමයි  වේදිකා නාට්‍යය ශිල්පීන්, වේදිකා නාට්‍ය කලාකරුවන් ගෙවන  ඉතාම අසීරු ජීවන පැවැත්ම. අද  අපේ  රටේ සජීවී කලාවකට ඉඩ ඇහිරිලා. පාස්කු ප්‍රහාරයට මුහුණ දෙන්න අපට සිදුවුණා. කොරෝනා වසංගතයක් පැමිණියා. අරගලයක් ආවා. පසුගිය  වසර තුනේම පැමිණි එවැනි ගැටලු තුළින්  වේදිකා නාට්‍යකරුවන් බැට කෑවා. ඔවුන් වෙනුවෙන් කිසිවකුගේ  අවධානයක් යොමු වුණේ නැහැ. බලධාරියෙක් වුණත් තවම අපි පිළිබඳ කතා කරලා නැහැ. මේ වෙලාවේ අපිට බලාපොරොත්තුවක්  තබා ගන්නට  පුළුවන් එකම දෙය තමයි ප්‍රේක්ෂකාගාරය. ප්‍රේක්ෂකාගාරයටත් පහසු ලෙස කලා ශිල්පීන්ටත් පහසු ලෙස දෙපැත්තම  විමසා බලලා තමයි ප්‍රවේශ පත්‍රයක මිල වුණත් අපි තීරණය කරන්නේ. ලංකාවේ අනෙක් දේවල්වල මිල ඉහළ යෑමට සාපේක්ෂව ඇත්තටම ටිකට් එකක මිල ඉහළ ගිහින් නැහැ. බොහොම අසීරුවෙන් තමයි නාට්‍යකරුවන් මේ කටයුත්ත කරන්නේ. වැඩිපුර ප්‍රේක්ෂකාගාරයක් පැමිණෙනවා නම් අපිට මෙම ගැටලුකාරී තත්ත්වය මඟහරවා ගැනීමට පහසුයි. මෙම ගැටලුව නාට්‍යකරුවන් සහ ප්‍රේක්ෂකාගාරය එකතු වෙලා විස¼දාගත යුතු ප්‍රශ්නයක් කියලයි මම නම් විශ්වාස කරන්නේ.

වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකූගේ භූමිකාවට පමණක් සීමා වීමට ඔබට විශේෂ හේතුවක් තිබෙනවාද? ඉන් ඔබ්බට යෑමට අදහසක් නැද්ද?

ටෙලිනාට්‍ය කලාව සහ චිත්‍රපට කලාව පිළිබඳ අවධානය යොමු කරලා තමයි මම  වේදිකා නාට්‍ය කලාවට පිවිසුණේ. වේදිකා නාට්‍යයක්  කියන්නේ එක්තරා ආකාරයකට කලා මාධ්‍යයක්. ලෝකයේ තිබෙන පොහොසත්ම කලාව නාට්‍ය කලාව වීම මම මේ ක්ෂේත්‍රය තෝරා ගන්නට එක හේතුවක්.  ඒ වගේම රංගන ශිල්පීන්ගේ පැත්තෙනුත්, ප්‍රාසාංගික කලාව පැත්තෙනුත්, සමාජ කාර්යභාරය පැත්තෙනුත් ඉතාම දියුණු පැතිකඩක් තිබෙන කලා මාධ්‍යයක් තමයි නාට්‍ය කලාව කියන්නේ. 

මෙම කාල වකවානුවේදි රට පුරා වේදිකා නාට්‍යයක් ප්‍රදර්ශනය කරනවා යනු ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එම කර්තව්‍යයේදී ඔබ අත් විඳින දුෂ්කරතා මොනවාද?

මෙයත් දීර්ඝව සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. අපට තිබෙන්නේ ජංගම නාට්‍ය කලාවක්. ඒ නිසා වේදිකා නාට්‍ය කලාව  රට වටේ අපි රැගෙන යා යුතුයි. අපි හැම  මොහොතකම සිතන්නේ  කොළඹ නාට්‍යයක්  නිර්මාණය කරලා රට වටේ රැගෙන ගියාම හරි කියලා. නමුත් පොළොන්නරුවේ නාට්‍ය පොළොන්නරුවේ බිහි විය යුතුයි. යාපනයේ නාට්‍යය යාපනයේත් බිහි විය යුතුයි. අප උත්සහ කළ යුත්තේ පොළොන්නරුවෙහි නාට්‍ය පොළොන්නරුවේ  නිර්මාණය කර කොළඹ ප්‍රදර්ශනය කිරීමයි. ලාංකේය නාට්‍ය කලාවෙහි  ව්‍යුහාත්මක වෙනසක් ඇති කිරීමට අප උත්සාහ කළ යුතුයි. ඉදිරි පැවැත්මක් තිබෙන්නේ එවිටයි. මුලින්ම කළ යුත්තේ මේ සඳහා නිවැරැදි දැක්මක් තබා ගැනීම පමණයි.

අධ්‍යක්ෂවරයායේ භූමිකාව තුළ රැඳෙමින්  නිවැරැදිව නළුවරණයක් සිදු කිරීමට ඔබ යොදන උපක්‍රම පිළිබඳ කතා කළොත්?

මම සාමාන්‍යයෙන් නවක තරුණ කණ්ඩායම් සමඟ වැඩ කරන්න කැමැතියි. ඔවුන් වෙනස් විධියට සිතනවා. ඔවුන්ට ජවයක් තිබෙනවා. අපි සමඟ  වැඩ කරපු රංගන ශිල්පීන් ක්ෂේත්‍රයේ යම්  තැනක අද සිටිනවා. මට නිතරම අවශ්‍ය වෙන්නේ පුහුණු නළු නිළියන්. මම වෘත්තීය වශයෙන් අධ්‍යක්ෂ කෙනෙක් වෙන්නේ මගේ රංග කාර්යය කොපමණ දුරකට පවත්වාගෙන යෑමට කොපමණ සූක්ෂ්ම වෙනවාද යන ආකාරය මතයි. අපි සමඟ රංගනය පුහුණු වෙමින් සිටින කණ්ඩායම ලොකු කාලයක් කැප කරනවා. ඔවුන් ඒ වෙනුවෙන්  දැඩි වෙහෙසක් දරමින් තමයි රංගනය පුහුණු වෙන්නේ.

“දෙමළා නම්” වේදිකා නාට්‍යයේ මංගල දර්ශනයත් සැප්තැම්බර් මස දහඅට වැනිදා පෙන්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ ගැනත් කතා කරමු?

ඔව් “දෙමළා නම්” වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වෙන්නේ ජෙනට් ඇන්තනී සහ දේශාන් සේනාරත්න.  සුළු ජාතීන් සහ මහා ජාතීන් කියලා අපේ රටේ බෙදීමක් තිබෙනවා. නමුත් මම දන්න තරමින් එහෙම බෙදීමක්  අපේ රටේ තිබෙන්නට බැහැ. භාෂාවේ එන මෙම වචන භාවිත වුණාට පස්සේ අපේ මිනිස්සු සිතන විධියත් එක්තරා අකාරයකට වෙනස් වෙනවා. අපි  පහුගිය කාලයේ ජාතිවාදී ගැටුම් සමඟ ගොඩක් පීඩාවට පත් වී සිටියා.  ඉතින් මෙම ජාතිවාදී ගැටුම් ඇති වීමට පනත්, පනත්වල තිබෙන වචන, නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් හේතු වනවද යන කාරණය  තමයි මේ නාට්‍යයෙන් අපි නිරූපණය කරන්නට උත්සාහ කරන්නේ. ඉතින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ‘දෙමළා නම්’ නරඹන්නට  එන්න කියලා මම ආරාධනා කරනවා. 

සචිනි බස්නායක