විධායක බලය තියෙන ජනාධිපති පොහොට්ටුවේ අත්අඩංගුවේ ඉන්න හේතුවක් නෑ

0
11

ජනාධිපතිවරයා විසින් ඔබට පවරන ලද වගකීම කුමක්ද?

විමධ්‍යගත පරිපාලනය, පළාත් සභා, පළාත් පාලන සහ දිස්ත්‍රික් පරිපාලනය සම්බන්ධ උපදේශක ලෙස මා පත්කර තිබෙනවා. එමෙන්ම රාජ්‍ය ආයතන නියාමනය කිරීමේ වගකීමද භාරදී තිබෙනවා.

මේ තනතුරු සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත්වෙනවාද? මොනවද ඉලක්ක?

අලුතින් පටන් ගන්නා ව්‍යාපෘති සහ තිබෙන ව්‍යාපෘති අධීක්ෂණය කිරීම අපට පවරා තිබෙනවා. රට අර්බුදයෙන් ගොඩගැනීම අපගේ අවසාන ඉලක්කයයි. අමාරු කාලයේදී ඊට අවශ්‍ය සහයෝගය ලබාදීමට අපේක්ෂා කරනවා.

පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය යනු පසමිතුරු දේශපාලන බලවේග. දැන් ඒ පක්ෂ දෙක සුසංයෝගයෙන්  වැඩ කරනවා. මේ තත්ත්වය දැනෙන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක් පත් වන්නේ ප්‍රතිවිරුද්ධ කෙනා පරාජයට පත් කරලා. හැබැයි මෙවර ජනාධිපති පත්වුණේ ප්‍රතිවිරුද්ධ කෙනා මේ පැත්තට දිනාගෙන. ජනාධිපතිවරණ සීයක් ඉල්ලා  දිනුවත් ප්‍රතිවිරුද්ධ කෙනා දිනාගෙන ජනාධිපති වෙනවා කියන එක ඓතිහාසික තත්ත්වයක්. අද ඒ කටයුත්ත සිදුවී තිබෙනවා. වත්මන්  ජනාධිපතිවරයා පත් වී තිබෙන්නේ රට කඩා වැටෙන අර්බුදකාරී තත්ත්වයක් හමුවේයි. එතුමාට විශාල ඉලක්කයක් මෙන්ම වගකීමක්ද පැවරී තිබෙනවා. එතුමා භාරගත්තේ කිසිවකුත් භාර නොගන්නා පසුබිමකයි. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, විදුලිය කැපීම, හමුවේ ආර්ථිකය නන්නත්තාර වී තිබුණා. දැන් මේ අර්බුදවලට  ක්‍රම ක්‍රමයෙන් විස¾දුම් දෙමින් යනවා.

කවුරුත් ජනාධිපතිකම භාර නොගත්තේ බයක් නිසා කියලද ඔබ කියන්නෙ?

ගොඩක් අයට තිබූ ඒ බය සාධාරණ වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයකදී භාර ගත්තොත් තමන්ගේ දේශපාලන අනාගතය නැති වෙන්න පුළුවන් කියා ඇතැමකුට සිතෙන්න පුළුවන්. එසේ මෙසේ කෙනකුට මෙය භාර ගන්න බැහැ. එවැනි තත්ත්වයක් තමයි තිබුණේ. ගිනි ගත්ත රටක්. එක පැත්තකින් අරගලය, පැත්තෙන් රටේ ආර්ථිකය. රටට යෑමට හැකියාව ඇත්තේ මාසයක් දෙකක් බව මහ බැංකු අධිපතිවරයා පවා කියමින් සිටියා. මේ වගේ තත්ත්වයක් තිබියදී අභියෝගය භාරගත්ත එකම ඇති. එතකොට අඩුපාඩු, හොඳ – නරක දෙකම තියෙන්න පුළුවන්. ඒක භාර ගත්තා. දැන් හෙමින් හෙමින් යාත්‍රාව ඉදිරියට ගමන් කරමින් තිබෙනවා.

දැන් ගින්න නිවිලා කියලද කියන්නේ? අපට නම් ගිනි නිවී ඇති බවක් පෙනෙන්නට නැහැ. අරගල පමණක් නතර වී තිබෙනවා?

 ගිනි නිවී නැතැයි කියන්න බැහැ. අද කිව්.ආර්. කෝඩ් යටතේ යම් ප්‍රමාණයකට පෙට්රල්, ඩීසල් ලබාගන්න පුළුවන්. වෙනදා විදුලිය පැය තුනක් කැපුවත් අද විදුලිය කැපීම පැය දක්වා අඩු වී තිබෙනවා. බඩු මිල ඉහළ යනවා. ඒක වළක්වන්න බෑ. ආර්ථිකය ශක්තිමත් කර නැවතත් ජනතාවට සහන දීමේ බලාපොරොත්තුවෙන් ජනාධිපතිතුමා කටයුතු කරනවා. 2015 වසරේත් ඒ කටයුත්තම කළා. එදා බඩු මිල අඩු කළා. පෙට්රල්, ඩීසල්, භූමිතෙල් මිල අඩු කළා. ගෑස් එක්දහස් ගණනකින් අඩු කළා. ඒ කාර්යය කළ ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් නැවත පැමිණ තිබෙනවා.

ජනාධිපති  පත්වී සැලකිය යුතු කාලයක් ගතවෙනවා. වැට් බද්ද 15% දක්වා වැඩි කළා. පිරිවැටුම් බද්දක් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. ඒ කාරණා සමඟ තවම ජනතාවට සහනයක් නැහැ?

රාජ්‍ය ආදායම ගිලිහී ගියේ පසුගිය ආණ්ඩුව පත්වී ආදායම් බදු ඇතුළු බදු අඩු කිරීම නිසයි. බදු නැතිව ඉස්සරහට යන්න බැහැ. දැන් කටයුතු කරමින් යන්නේ අය විය යුතු බදු අයකර ගැනීම සඳහායි. රේගු, දේශීය ආදායම්, සුරාබදු අංශවල අක්‍රමිකතා නතර  කළහොත් බිලියන ගාණක බදු ලබාගත හැකිව තිබෙනවා. බදු අය කර ගැනීම මෙන්ම බදු පැහැරහැරීම නතර කරන්නට වෙනවා. එහෙම වුණොත් 4 ගුණයකට වැඩිය හම්බ කරන්න පුළුවන්. මේ වගේ දේවල් පාලනය කරන්නට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම හැමදාම ජනතාවගේ ඇඟ උඩ බදු දාන්න කල්පනා කරන්නේ නැහැ. හැකි ඉක්මනින් යථා තත්ත්වයකට පත්කර ආධාර සහ අයි.එම්.එෆ්. උපකාර ලබාගෙන, සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කොට ජනතාවට කාලා බීලා හොඳින් ජීවත් විය හැකි වටපිටාවක් ඇති කිරීම අපේ අරමුණයි.

ඔය සුන්දර කාලය කොපමණ කලෙකින් උදා වෙයිද?

අප 2015දී කරලා පෙන්නුවානේ. මේක පවත්වාගෙන යන්න බදු ගහන්න වේවි. නැවත ආදායම් එනකොට බදු අඩු කරන්න පුළුවන් වේවි.

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අය-වැයෙන් පීඩිත පන්තියට සහනයක් නැතැයි දිගින් දිගටම චෝදනා එල්ල වෙනවා. මහ උන්ට බදු ගහන්නේ නැහැ. පොඩි උන්ට බදු ගහනවා කියලා සමස්ත  සමාජයම කියනවා. මෙය දිගින් දිගටම සිදුවෙමින් පවතිනවා. මේ සම්බන්ධව ඔබේ අදහස මොකක්ද?

මහ උන්ටත් බදු ගහනවා. බදු ක්‍රමය සරල මෙන්ම සාධාරණ විය යුතුයි. බදු අය කරන්නට සිදුවී ඇත්තේ ඒ මූලිකාංග මතයි. පොඩි අය ආරක්ෂා කර ගැනීම සඳහා ලක්ෂ ගණනකට මූල්‍ය ආධාර ලබා දෙන්නට අතුරු අය-වැයෙන් යෝජනා කර තිබෙනවා. පුළුවන් මට්ටමින් ඒ කටයුතු කරගෙන යනවා.

කොවිඩ්  කාලයේදී ආදායම් නැති කාණ්ඩ හඳුනා ගත්තා. මෙවර රුපියල් 10,000ක දීමනාවක් දෙන බව කියන්නේ 61,000ක කණ්ඩායමකටයි. ඒ ගණන් හිලව් වෙනස් වෙන්නේ කොහොමද?

සමෘද්ධි  ව්‍යාපාරයත් නැවත ප්‍රතිසංශෝධනය විය යුතුයි. ගොඩක් දේවල් දේශපාලනීකරණය වෙලා. ඇත්තටම මුදල් ගලාගෙන යා යුතු පවුල් අප හ¾දුනාගත යුතුයි. වාහන තියෙන, ආදායම් තියෙන සමහර සමෘද්ධිලාභීන් ඉන්නවා. මෙවැනි තැනකට රට පත්වී ඇත්තේ එවැනි වැරැදි භාවිතාවන් නිසයි. මේවා නැවත නිවැරදි කළ යුතු කාලය පැමිණ තිබෙනවා. පහළම දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් හ¾දුනාගන්නේ රාජ්‍ය සේවකයන්ගේ නිර්දේශ මතයි. මේවා නිවැරැදිව ක්‍රියාත්මක වේවි යැයි අප බලාපොරොත්තු වුණා. නමුත් ඒවා නිවැරදිව ක්‍රියාත්මක නොකරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ඉදිරියේදී තීන්දු තීරණ ගන්නට සිදු වේවි.

ඔබේ කාලයේදී දේශපාලනීකරණය නතර කිරීම සඳහා ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලන්නට අවස්ථාව දුන්නේ නැහැ. දැන් එ් ක්‍රමය නතර කර තිබෙන බව කියනවා?

අපේ  කාලයේ ගොඩක් නරක දේවල් නතර කරන්න ගිහින් අපට වැරදුණා. මා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් හොඳ දේවල් කරන්න ගියා. නිල ඇ¾දුම වෙනුවට වවුචරය දෙන්නට හැදූ විට ඇතැමුන් එයට කැමැති වුණේ නැහැ. එහෙම කළේ දූෂණය නවත්වන්නයි. ටැබ් පරිගණක දෙන්න හදන විට එය විවේචනය කළා. ටැබ්  පරිගණක දුන්නා නම් කොරෝනා කාලයේදී දරුවන් ගෙදර සිට ඉගෙන ගන්නවා. “ළඟම පාසල හොඳම පාසල” යන මගේ ව්‍යාපෘතිය යටතේ සුරක්ෂිතම පාසල වන්නේ ගෙදරට ළඟම පාසලයි. අද මවුපියන්ට දරුවන් හදන්නටවත් නොහැකි තත්ත්වයක් ඇති වෙලා. පාසල් වෑන් රථයකට එදා අටදහසක් ගත්තා නම් අද 25,000ක් ගන්නවා. බස් ගාස්තු වැඩියි. මේවට හොඳම විස¾දුම ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියයි. නමුත් අපේ මේ ව්‍යාපෘති පිළිගත්තේ නැහැ.

ක්‍ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දයට ඉදිරිපත් වීමට ඉඩ සැලසීම හරිද? ඊයේ පෙරේදා එම තීරණය ගෙන තිබෙනවා නේද?

ඒ පිළිබඳව සලකා බලන්න පුළුවන්. මෑත කාලයේ එවැනි අවසරයක්  දුන්නා කියලා මම  නම් හිතන්නේ නැහැ. ඒ ගැන හොයලා බැලිය යුතුයි.

පොහොට්ටුවේ අය සමඟ වැඩ කරන එක දැනෙන්නේ කොහොමද? ඔවුන් වැඩ කළේ ඔබතුමන්ලා සමඟ බොහෝ විරුද්ධවනේ?

අපට දැනෙන්නේ ජනතාවගේ හැඟීම් විතරයි. අපට දැනෙන්නේ ඒ අයගේ ප්‍රශ්න විතරයි. එතකොට කා එක්කවත් වැඩ කිරීම ගැටලුවක් වෙන්න බැහැ. ජනතාවට අමාරුයි. ජීවත් වෙන්න බැහැ කියා දැනෙනවා. දරුවන්ට කන්න දෙන්න මවුපියන්ට හැකියාවක් නැහැ. මන්දපෝෂණය ඇතිවෙමින් තිබෙනවා. මේ සියලු සම්පත් තියෙන, හොඳට කාලා බීල හිටපු රටක්. මේ ප්‍රශ්නවලට විස¾දුම් දෙනවා හැර කා එක්කවත් වැඩ කිරීම ප්‍රශ්නයක් නොවෙයි. අපේ පරමාර්ථය ජනතාව දුකින් මුදාගැනීම නම් සජබෙද, ජේවීපීද කියා ප්‍රශ්නයක් නැහැ. එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වුණාට පාර්ලිමේන්තුවේ අපේ ආණ්ඩුවක් නැහැ. පාර්ලිමේන්තුවේ ඡන්ද  134ක් ලබාදී බලයට පත් කළේ ඒ තත්ත්වය පාලනය කරමින් රටේ විනයක් හදන්නට පුළුවන්, ලෝකය සමඟ කතා කොට ප්‍රශ්නවලට විස¾දුම් දිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා නිසයි.

ජනාධිපති පත්කළේ අපි, අපට ඕන විධියට ඔහු ඉන්න ඕන කියලා  පොහොට්ටුවේ පැත්තේ අය කියා තිබුණා, මේක බලපෑමක් නේද?

ඒ එක එක්කෙනාගේ පෞද්ගලික අදහස්. ඒ පොදු මතයක් නොවේ.

නමුත් ජනාධිපතිවරයා  ඉන්නේ රාජපක්ෂලාගේ අත්අඩංගුවේ වගේ මතයක් ඉදිරිපත් වෙන්නෙ?

ජනාධිපතිවරයා යනු විධායක බලය තිබෙන ජනාධිපතිවරයෙක්. එතුමාට කාගෙවත් අත්අඩංගුවේ ඉන්න වුවමනාවක් නැහැ. එතුමා කරන්නේ අවශ්‍ය දේ බව ඉදිරියේ වැඩ කරගෙන යන විට පෙනේවි. ජනතාවට මෙන්ම රටට අවශ්‍ය දේ කරන බව පෙනේවි ඉස්සරහට.

සර්වපාක්ෂික කතා එහෙමම ගිලිහිලා ගියා නේද?

ඔක්කොම එකතු කරගෙන මේ ප්‍රශ්නවලට විස¾දුම් දෙන්න ජනාධිපතිතුමා බලනවා. ඒ හොඳ චේතනාවෙන් කරන එකක්. මේ දේශපාලනය කළ යුතු වෙලාවක් නොවේ. මේ වෙලාවේ ඡන්දයක් තියන්නත් බැහැනේ. මේ රටේ තත්ත්වය ගොඩදාගන්නා තුරු සැමගේම සහයෝගය ලබාගෙන යන්න එතුමා බලාපොරොත්තු වෙනවා. ඊට දේශපාලනිකව සහයෝගය දෙන්නේ නැතිනම් ජනාධිපතිතුමා සහයෝගය දෙන අය සමඟ ගොස් ප්‍රශ්නවලට විස¾දුම් සොයාවි. ඇතැම් විට මේ ප්‍රශ්නවලට විස¾දුම් සොයාගත් විට සහයෝගය නොදුන් අයට එහි වාසිය ගන්නට නොහැකි වේවි.

සජබෙන්  ලොකු කණ්ඩායමක් ආණ්ඩුවට එන බව කිවුවා. නමුත් කිසිවකුත් නොයන බව සජබෙ පැහැදිලිවම  කියනවා?

තමන් සහයෝගය දෙනවාද නැද්ද කියා තීරණය කරන්න දේශපාලන පක්ෂවලට අයිතිය තිබෙනවා. ඒක අපේ ප්‍රශ්නයක් නොවේ. අප හැමෝටම ආරාධනා කරනවා. අපට අවශ්‍ය මේ ප්‍රශ්නය හැමෝගෙම ප්‍රශ්නයක් ලෙස ගෙන හැමෝගෙම සහයෝගය ගෙන විසඳීමටයි. ඊට ආණ්ඩුවේ ඇමැතිකම් ගත යුතුම නැහැ. නමුත් ඇමැතිකම් ගෙන හෝ වෙනත් ක්‍රමයකින් මෙහි කොටස්කරුවන් වුවහොත් ප්‍රශ්නවලට මැදිහත් වී කටයුතු කරන්න ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා 2030 වසර වන තෙක් ජනාධිපති බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර  ප්‍රකාශ කර තිබුණා. මේක හරිද? සාධාරණද?

අපේ සංවත්සරයටත් හැම පක්ෂයේම අය සහභාගි වී සිටියා. මේ වන විට ජනාධිපතිතුමාගේ වැඩසටහනට විවිධ පාර්ශ්වයන් එකතු වෙමින් තිබෙනවා. එහෙම වුණොත් පක්ෂ සහ නායකයන් ඉදිරියට පැමිණිය යුතු නායකයා කවුද කියලා  තීරණයක් ගනීවි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණියා. ඡන්දයෙන් දිනපු කෙනා ගෙදර. ඡන්දෙන් පැරදුණු කෙනා රටේ ජනාධිපති. මේක අමුතු සිද්ධියක්. ඔබට මේක දැනෙන්නේ කොහොමද?

මිනිස්සු ඡන්දය දෙනවා. ඒ ඡන්ද දායකයොම මේකට විරුද්ධ වෙලා පාරට බහිනවා. අරගල කරනවා. කැරලි ගසා පලවාහරින්නට කටයුතු කරනවා. බලාපොරොත්තු පොදි බැඳගෙන ඡන්දය දීලා ඒ බලාපොරොත්තු එකින් එක කඩ වෙද්දි එ් ජනතාවම පාරට බහිනවා. එ්ක වළක්වන්නට බැහැ. පොහොර නැති වුණාම කෘෂිකාර්මික ජීවිත ගෙවන අයට වෙන විකල්පයක් නැහැ. ඒක වැරැදි තීන්දුවක් ලෙස රටේ ජනතාව තීරණය කළා. සමහර සිද්ධි ඔවුන් පිළිගත්තේ නැහැ. රටම විරුද්ධ වුණේ ඒකයි. පාර්ලිමේන්තුව කියන්නෙත් මහජන මතය නියෝජනය කරන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයයි. මේ තත්ත්වයෙන් රට ගොඩගත හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාට බව එම නියෝජිතයන් තීරණය කර තිබෙනවා.

හොරු බව කියා 2015 වසරේදී රාජපක්ෂවරුන් ජනමතයෙන් ඉවත් කළා. හොරුන්ට දඬුවම් දෙන්න ඔබතුමන්ලාගේ ආණ්ඩුව එෆ්.සී.අයි.ඩී. පවා හැදුවා. එහි චූදිතයන් බොහෝ දෙනා අද කැබිනට් මණ්ඩලයේ සිටිනවා. මේ කාරණය බරපතළ  ප්‍රශ්නයක් නේද?

ආණ්ඩුව ඒ කාලයේ මේ විමර්ශන කටයුතු කළා. විශේෂ අධිකරණ දැම්මා. කෙනෙක් අධිකරණ පද්ධතියේ ඔප්පු වී වැරැදිකරුවෙක් විය යුතුයි. අපට පරමාදර්ශී චරිතත් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔය කියන අය ඔක්කොම එව්වෙ ජනතාවයි. එහෙනම් ජනතාවත් එහෙම වෙන්න එපැයි. ගත්ත තීන්දුව හරිදද වැරදිද මේ අය කවුද කියා ජනතාවත් දැනගන්න ඕන. ඒ නිසා අඩු වැඩි වශයෙන් දෙපාර්ශ්වයේම වැරදිකරුවන් ඉන්නවා. හැබැයි කිසි විටෙක හොරෙක් නිදහස් කරන්නවත් හොරෙක් බේරගන්නවත් අධිකරණවලට බලපෑම් කරන්නවත් වත්මන් ජනාධිපතිතුමා ලෑස්ති නැහැ.

තරුණයකුට නායකත්වය දෙන බව එජාප නායක ජනාධිපති  රනිල් වික්‍රමසිංහ කිව්වා. ඒත් පක්ෂ  සංවත්සරයේදී එහෙම දෙයක් දකින්න ලැබුණේ නැහැ?

එහෙම ප්‍රශ්නයක් පැනනැඟිලා නැහැ. එතුමා රටේ ජනාධිපති. අවශ්‍ය විටෙක එතුමා විශ්‍රාම යාවි. මෙවැනි පරිණත නායකයෙක් තවත් ඉතිරි වෙලා නැහැ. එතරම් අත්දැකීම් ඇති, රාජ්‍ය පාලනයේ හොඳ – නරක දෙකම හ¾දුනාගෙන තිබෙන නායකයාගෙන් රටේ ජනතාව වැඩ ගත යුතුයි. නැවත එවැනි නායකයෙක් හදා ගන්නත් අමාරුයි. මේ අවසාන පුරුක.

රනිල් වික්‍රමසිංහ මහතා  ජනාධිපති ධුරයෙහි දිවුරුම්-දීමෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරයට ඔබ පත්වනු ඇතැයි කියැවුණා. එය ඔබට අහිමි වුණාද?

අපට එහෙම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. මා කිසිවිටෙක මන්ත්‍රි ධුරය ඉල්ලා නැහැ. ඒක පක්ෂ නායකතුමා ගන්න තීන්දුවක්. ඒ ගැන අපට ප්‍රශ්නයක් නැහැ. කවුරු මන්ත්‍රි වෙනවාද නැද්ද කියන එක අදාළ නැහැ. අපේ ප්‍රතිපත්ති මෙන්ම දර්ශනය වෙනස් කර නැහැ. අප පසුගිය මැතිවරණයේදීත් ලක්ෂ තුනක් පමණ ඡන්ද ලබාගනිද්දීත් අපේ ප්‍රතිපත්ති සහ දර්ශනය මත සිටියා. අපි දිනුවා, පැරදුණා කියා අපේ වැඩපිළිවෙළ මෙන්ම ප්‍රතිපත්ති වෙනස් වෙලා නෑ.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ලක්ෂ ගණන් ඡන්ද  ගත් ඔබ පාර්ලිමේන්තුවට නොයවා වෙනත් කෙනෙක් යැවීම ගැන කලකිරීමක් තිබෙනවාද?

නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. මන්ත්‍රි ධුරයට පත් වුණේ මේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ කෙනෙක්.

නැවත  ඇමැතිවරුන් දිවුරුම් දුන්නා. මේ තත්ත්වය එක්ක කඩිනම්  විය යුත්තේ ඇමැතිවරුන්,  රාජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දීමද? ජනතාවගේ ප්‍රශ්න විසඳීමද?

ප්‍රශ්න විසඳන්නත් රාජ්‍ය ඇමැතිවරුන් පත්විය යුතුයි. නැතිනම් නායකත්වය ලබාදී ඒවා ගෙනයන්න විධියක් නැහැ. ඔය හැම එකක්ම විය යුතු දේවල්.

මැයි නව වැනිදා දේපළ හානි වූ මන්ත්‍රිවරුන්ට තිබුණාටත් වඩා හොඳට ඒවා හදාදිය යුතු බව වජිර අබේවර්ධන මන්ත්‍රිවරයා පවසා තිබුණා. ගෑස්  පෝලිම්, තෙල් පෝලිම්වල මැරුණු අය ගැන කිසිම කතාවක් නැහැ. මේ වෙනස අසාධාරණයි නේද?

කාගේ හෝ දේපළක් විනාශ කිරීම අපට අනුමත කරන්න බැහැ. දේපළ හානි වූවාට යම් සීමාවක් තුළ යමක් දීමේ වරදක් නැහැ. එමෙන්ම අප ඇවිල්ලා ඉන්නේ ජනතාවගේ පැත්තෙන් ඒ ප්‍රශ්න විසඳන්නයි. ප්‍රමුඛත්වය ලබාදී තිබෙන්නේ ඒ කටයුතු සඳහායි. ඉන්නට ගෙයක් නැතැයි මන්ත්‍රිවරයෙක් කියනවා නම් කරන්නේ කුමක්ද? ඒ අයටත් දරුවන් ඉන්නවා. ගෙයක් හදාගන්න වත්කමක් නැතිනම් යන එන තැනක් නැතිනම් ඒ ගැනත් බැලිය යුතුයි.

තෙල් පෝලිම්වල මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක්ද?

ඇතැම් විට රෝගාබාධ නිසා මියගිය අය සිටිනවා. සියලුමදෙනා ගැන පුළුවන් ආකාරයට බැලිය යුතුයි. මෙය අප නිර්මාණය කළ දෙයක් නොවේ. මේ හැමදෙනා සම්බන්ධයෙන්ම කළ හැක්කේ කුමක්දැයි සොයා බැලිය යුතුයි. අසනීප වූ අය ගෙදර හිටියත් මෙතැනට ආවත් අකරතැබ්බවලට මුහුණදෙනවා වෙන්න පුළුවන්. මේ හැම එකක්ම දිහා එක එක මට්ටමින් බැලිය යුතුයි.

පළාත්  පාලන මැතිවරණය පෙබරවාරියේ පැවැත්විය යුතුයි. එය කල් දමනවාද? නැතිනම් නිසි පරිදි පවත්වනවාද?

ඒ පිළිබඳව රජය තවම තීරණයක් ගෙන නැහැ. පවතින තත්ත්වයන් දෙස බලා පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය එය තීරණය කරාවි.

විදුලි බිල, ජල බිල ආදිය වැඩි වෙලා. නමුත් ජනතාවගේ ආදායම වැඩි වෙලා නැහැ. මේ සම්බන්ධව ජනතාවට සහනයක් දෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

සහන දිය යුතුයි. ඊට පෙර ආර්ථිකය ශක්තිමත් කරගන්න ඕන. අයි.එම්.එෆ්. සල්ලි ආවොත්, අපට මෙය යාන්තමින් කළමනාකරණය කරගන්න පුළුවන් වුණොත්, සහන දෙන්න පුළුවන්. ණය හිමියන් සමඟ සාකච්ඡා කොට ඒවා සමථයකට පත් කර ගත යුතුයි. එමෙන්ම නැවතත් වෙනදා පැමිණි සංචාරකයන් ගෙන්වා ගත්තොත් විදේශ ප්‍රේෂණ නැවත එන්නට පටන් ගත්තොත් නැවත ජනතාවට සහන දෙන්න පුළුවන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කඩිනමින් ණය ලැබේද යන්න ප්‍රශ්නයක් නේද? මොකද, එහි ප්‍රතිඵල ලබන්න වසර කිහිපයක් ගතවෙනවා?

නමුත් IMF එකෙන් හොඳ සිග්නල් එකක් අපිට ඇවිත් තිබෙනවානේ. එය අරමුදල තීරණය කළ යුතුයි. කෙටි කාලීන මෙන්ම දිගුකාලීන පියවර තිබෙනවා. අද මේවා අසාර්ථක වී තිබෙනවා. එය ලොකු දෙයක්. කවුරුත් ණය නොදුන්නොත් අපි කරන්නේ කුමක්ද? ආර්ථිකය තවත් දරුණු තැනකට යනවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඔබට බලාපොරොත්තුවක් නැද්ද? පාර්ලිමේන්තුවට එජාපයෙන් හතරක්වත් දාගන්න ඕනෑ යැයි ජනාධිපතිවරයා පවසා තිබෙන බව ආරංචියි?

එහෙම එකක් නෑ. එහෙම බලාපොරොත්තුවක් නෑ. මෙහෙම ඉන්න එක හොඳයි.

සංවාදය- අනුරාධා හේරත්