ලොව හොඳම ආදර කතාව සිදුහත් යශෝදරා

0
72

අද මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු දිහා බැලුවම ආදරය කියන වචනයේ තේරුමවත් දන්නවද කියලා සැකයි. හැමෝම හිතන්නේ ආදරය කියන්නේ තමුන් කැමැති දෙයක්, ආස කරන දෙයක් ලබාගෙන, එහෙමත් නැතිනම් අල්ලලා බැඳගෙන එය භුක්ති විඳින එක කියලයි.

දෙන්නෙක් ආදරය කරන්නේ බොහෝ විට ආදරය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතිවයි. එහෙත් ආදරයට ආදරය කරන මිනිස්සු දන්නවා ආදරය කියන්නේ මොකක්ද කියලා. ඒ මිනිස්සු ආදරය කරන්නේ ආදරයට මිස දේවල්වලට හෝ පුද්ගලයන්ට නොවේ. ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද? සැබෑම ආදරය යනු කෙනකුගේ සතුට වෙනුවෙන් තවත් කෙනෙක් කරන කැපවීම කියන්න පුළුවනි.

තමන් ඇත්තටම කෙනකුට ආදරය කරනවා නම් කළ යුත්තේ ඒ තැනැත්තා ආස කරන දේවල් කිරීම, ඒ තැනැත්තාට ගරු කිරීම, ඒ තැනැත්තා මුළු හදින්ම විශ්වාස කිරීම ඒ තැනැත්තා සතුටු කරන්න පුළුවන් දේවල් කිරීම, ඒ තැනැත්තාගේ දියුණුව දැක සතුටුවීම, ඒ දියුණුව වෙනුවෙන් කරන කැපවීම ඒ තැනැත්තා වැරදි මඟක යන්නේ නම් නිවැරැදි මඟ කියාදීම, කරදරයක් විපතක් වෙන්නට යනවා නම් එයින් ආරක්ෂා කිරීම වගේ බොහෝ දේවල් කියන්න පුළුවනි. නමුත් අපි ඒ මොන දේ කළත් ඒ අයගේ නිදහසට, ඔවුන්ගේ ස්වාධීනත්වයට ඉඩදී ගරු නොකළොත් ඇතැම් විට ඒ කරන කිසිම දෙයකින් ඵල ප්‍රයෝජනයක් නොවෙන්නත් පුළුවනි.

ආදරය කියන්නේ අනෙකාට ගරු කිරීම, අනෙකාගේ මතයට ඉඩදීම වගේම ඊට සවන් දීම තුළින් එකිනෙකා තේරුම් ගෙන ජීවත් වීමයි. එහෙත් අපි දකිනවා ආදරයෙන් බැඳුණු ඇතැම් අය බලහත්කාරයෙන් තම මතයට නතු කරගෙන තම අභිමතයට අනුව ජීවත් වීම අපේක්ෂා කරන අයුරු. එවැනි දේවල් දුර දිග ගිහින් සමහර විට එක පාර්ශ්වයක් ජීවිත කාලයම ජීවත්වෙන්නේ අනෙකාගේ ප්‍රාණ ඇපකරුවෙක් වගේ.

ගොඩක් වෙලාවට ආදරය කරන කාලය තුළ ඔවුන් ළඟ සැබෑ ආදරය දකින්න පුළුවන් වුණත් විවාහ වෙලා ටික කලක් යන විට ජීවිතේ ප්‍රශ්න එනකොට, කරදර එනකොට දේවල් හිතන විධියට වෙන්නේ නැතිකොට ඔවුන් අතර විරසක ඇතිවෙන්න පටන් ගන්නවා. ලස්සනට, රූපයට, කතාවට වසඟ වුණු අයට ඒ ඒ අය තුළ සිටින සැබෑ පුද්ගලයා දකින්න පුළුවන් වෙනවා.

පුද්ගලයකුට හෝ ධනය, බලය, තනතුර හෝ ප්‍රසිද්ධියට කැමැති වුණු අයට ජීවිතේ ප්‍රශ්න එනකොට අනෙක් පාර්ශ්වයෙන් ලැබෙන ප්‍රතිචාර අනුව දැකගන්න පුළුවනි ඇත්තටම ඔවුන් ආදරය කරල තියෙන්නේ ආදරයටද නැත්ද කියලා. දෙන්නෙක් ආදරය කලේ ආදරයට නම් ඒ දෙන්න මොන ප්‍රශ්න ආවත් වෙන් කරන්න මේ ලෝකේ කිසිම කෙනකුට බැහැ. ඇතැම් අය සිතනවා තවත් පිටස්තර පුද්ගලයකුට හෝ යාළුවකුට මේ දෙන්නගෙන් කවුරු හෝ උපායශීලී විධියට වසඟයට අරන් ඔවුන් දුරස් කරන්න පුළුවනි කියලා එහෙම වෙන්නේ ඒ දෙන්නගෙන් එක අයකු හෝ අනෙකා අවිශ්වාස කළොත් පමණි.

ඔවුන් දෙන්නට දෙන්නා මුළු හදින්ම ආදරය කරනවා නම් කවදාවත් කුමන හේතුවක් නිසාවත් අනෙකා සැක කරන්නේ නැහැ. යම් වෙනසක් දැනුනත් ඒ ගැන ආදරයෙන් කරුණු විමසල සත්‍යය කුමක්ද කියල වෙනස් පාර්ශ්වයන්ගෙන් අහන්න හෝ එහි සත්‍ය අසත්‍ය සොයන්න මොනම හේතුවක් නිසාවත් තුන්වැනි පාර්ශ්වයක් සම්බන්ධ කරගන්නේ නැහැ. ඔවුනොවුන් දෙදෙනාට පමණක් එය සීමා කරගෙන එම ප්‍රශ්නයට විසඳුම් සොයාගන්නවා.

ආදරය එක්කම බැඳුණු දෙයක් තමයි කරුණාව, දයාව, සෙනෙහස, මෙත්තාව, මුදිතාව සහ උපේක්ෂාව කියන්නේ. ආදරයට ආදරය කරන අය තුළ මේ කියන ගුණාංග කිසිම අඩුවක් නැතිව පවතින නිසා ඔවුන් ජීවිතේ කියන්නේ මොකක්ද කියල අවබෝධ කරගෙන ඒ ප්‍රශ්න දුර දිග යන්න නොදී කතා බහ කරලා බුද්ධිමත්ව කළමනාකරණය කරගන්නවා. නමුත් වෙනත් දේවල් පදනම් කරගෙන ආදරය කරන අයට තමන් බලාපොරොත්තු වුණු දේවල් ඒ විධියටම නොවෙන කොට එකිනෙකා අතර විරසක ඇතිවෙන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවට කෙනෙක් සිතනවා මෙයා ඉන්න ඕනෑ මන් කියන විධියට මම මොකටද මෙයාගේ ආඩම්බර බලන්නේ.

මෙවැනි සුළු දේවල්වලින් ආරම්භ වන විරසක දුරදිග ගිහින් ඊළඟට පොඩි දෙයටත් අනෙකා විශ්වාස නොකරන තත්ත්වයට පත්වෙනවා. එවිට බැඳලා තියන්න, තහංචි  දමන්න, ගරු නොකරන්න යෑම නිසා ඔවුන්  අතර පැවැති බැඳීම ක්‍රමයෙන් ගිලිහෙන්න පටන් ගන්නවා. අද බොහෝ තරුණ පරපුරේ විවාහ ඉතාම කෙටි කලකින් අවසන් වෙන්න හේතු වෙන්නේ මෙන්න මේ වධියට ආදරයට ආදරය නොකර වෙනත් දේවල් මත පදනම් වෙලා ආදරය කිරීමේ විපාකය නිසයි.

නමුත් දෙන්නගෙන් එක් අයෙක් හෝ අවංකවම අනෙකාට ආදරය කළේ ආදරය පමණක් පදනම් කරගෙන නම්, ඒ තැනැත්තා අනෙකාගෙන් කුමන චෝදනාවක් එල්ල වුණත් මදි පුංචි කම් වුණත් ගැරහුම් නින්දා මේ මොන දේ ආවත් නමුත් ආදරය කළේ ඒ පුද්ගලයාට හෝ වෙනත් දෙයකට නොව ඒ අය තුළ ඇතැයි උපකල්පනය කරපු ආදරයට නිසා ඔවුන් හැම දෙයක්ම විඳ දරාගෙන දුක සැප දෙකේදීම උපේක්ෂාවෙන් එය අවබෝධ කරගෙන එම පවුල් ජීවිතය හැල හැප්පීම් වුණත් දිගටම අරන් යන්න අවසන් තත්පරය දක්වාම උත්සාහ කරනවා.

පිට රටවල්වල තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවනි. මොකද ඔවුන්ගේ සංස්කෘතිය අනුව ඔවුන් අතර බොහෝ විට ලෞකික දේවල් පදනම් කරගෙන තමයි බැඳීම ඇතිවෙන්නේ. එහෙම වුණාම අපි වගේ ජීවිත කාලෙම එකම කෙනෙක් එක්ක ප්‍රශ්න, ගැටලු මැද ඒවා විඳ දරාගෙන ජීවත් වෙන එකට වඩා ඔවුනොවුන් අපේක්ෂිත දේවල් අයුරින්ම ඉටු නොවෙනකොට, නොගැළපීම් වැඩි වෙනකොට පහසුම දේ තමයි වෙන්වීම. ඒ සඳහා අපට මෙන් සමාජයෙන් එල්ලවන පීඩනයක් ඔවුන්ට නොමැති නිසා ඔවුන්ට ඉතාම පහසුවෙන් වෙන්වෙලා වෙන කෙනෙක් සොයාගන්න දෙපාර්ශ්වයටම පුළුවනි.

මොකද සමාජය ඒ දෙස වපර ඇසින් නොබලන නිසා. නමුත් මේ ලංකාවේ අපි දෙදෙනෙක් අතර පරම පිවිතුරු ආදරය පදනම් කරගෙන එකතුවන දෙන්නෙක් නම් ඔවුන් එකතු වෙන්නේ ලෞකික දේවල්වලට එහා ගිය ආත්මීය බැඳීම වගේම ආධ්‍යාත්මික වශයෙනුත් ඔවුනොවුන් අතර බැඳීම තුළින් දෙදෙනාගේම දියුණුවක් බලාපොරොත්තුවෙනුයි. වෙනත් විධියකට කියනවා නම් රාගය මත පමණක් පදනම් වූ එක්වීමක් නොවේ.

ඕනෑම මනුෂ්‍ය බැඳීමකදී ඔවුන් අතර පැවැත්මට අත්‍යවශ්‍ය කරුණක් වන සම්බන්ධතාවක් දිගටම පවත්වා ගැනීමට එය යම් පිටුවහලක් වුවත් එයට වඩා ඔවුන්ගේ මූලික අවශ්‍යතාව වන්නේ දෙදෙනාගේ එකතුව තුළින් පවුලක් විධියට දරු මල්ලන් හදාගෙන ආදරය වගේම එන දුක සැප බෙදාගෙන ජීවිතේ කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගනිමින් සතුටින් සාමයෙන් ජීවත් වෙමින් ඔවුන් එකිනෙකාගේ දියුණුව වෙනුවෙන් දෙදෙනාම කැපවෙමින් තම යුතුකම් ඉටු කරමින් යන ගමන අවසානයේ දෙදෙනාම ආධ්‍යාත්මිකව දියුණු වීමයි.

මෙන්න මේ නිසා ලංකාවේ අපේ පවුල් දිවිය සහ වෙනත් රටවල මිනිසුන්ගේ පවුල් දිවිය වුණත් විශේෂයෙන් අර වගේ පුද්ගල කරුණු මත පදනම්ව එක් වුණ ජීවිත බහුල නිසා මුළු ජීවිත කාලයම එවන් දෙදෙනෙක් එකතු වී අරගල කරමින් විඳවමින් ජීවත් වීම තම පවුලට මෙන්ම සමාජයටත් හානිකර බැවින් එවන් උදවිය එක්ව වසනවාට වඩා වෙන්වීම වඩාත් යෝග්‍ය වනු ඇත. එවිට එවන් අය දෙස සමාජය වපර ඇසින් නොදැකිය යුතු වන්නේ ඒ ජීවිත ඔවුන්ගේ මිස අපගේ නොවන බැවිනි.

කෙනකුට කියන්න පුළුවනි මොන පිස්සුද අද කොහෙද ඔය වගේ ආදරය මත විතරක් පදනම් වෙලා ඔහොම ජීවත් වන අය ඉන්නේ හැමෝම ලෞකිකත්වය සහ සුන්දර ලෝකයක් දකින්, ජීවිතේ විඳින්න මිස ඔය තරම් ජීවිතේ සංකීර්ණ කරගන්න කවුද කැමැති කියලා. ඇත්ත, එහෙම එහෙම එක්වෙන, එහෙම ජීවත් වෙන අය අද සමාජයේ ඉතාම අඩුයි. එහෙත් ඉඳහිට හෝ එහෙම අය මුණගැසෙනවා තවමත් අපේ වාසනාවට. නමුත් අපි කුඩා කාලේ නම් එවැනි අය ඕනෑ තරම් හිටිය.

පිටස්තර සමාජයට යන්න කලින් අපේම මවුපියෝ ජීවත් වුණු හැටි අපි දැක්ක. අපේ ආච්චිලා, සීයල ජීවත් වුණු හැටි අපි දැක්ක. අපේ නැන්දලා, මාමලා, ලොකු අම්මලා, මහප්පලා, බාප්පලා, පුංචිලා ජීවත් වුණ හැටි අපි දැක්කා. ඔවුන් එකිනෙකාට ගරු කරමින් විවාහ ජීවිතේ කියන්නේ මොකක්ද කියල අවබෝධ කරගෙන ජීවත් වුණා. අද කාලේ බැලුවාම මේ අපිට වඩා සතුටින් ඔවුන් අතරත් ඕනෑ තරම් නොගැළපීම් තියෙන්නට ඇති. කලාතුරකින් අයෙක් වෙන්වෙලා යන අවස්ථා පවා තිබෙන්න ඇති. විශේෂයෙන් ලොකු සල්ලිකාර  පවුල්වල උදවිය අතර තමයි දික්කසාද බොහෝ විට දකින්න ලැබුණේ.

නමුත් අවාසනාවට අද සමාජයේ සෑම තරාතිරමක අය අතර දකින්න ලැබෙන පොදු දෙයක් තමයි ඔවුන් එක්ව විසුවත් ඇත්තටම ජීවිතේ විඳිනවද, සතුටින් ජීවත් වෙනවද කියන එක. මෙන්න මේ නිසා තමයි අපි දෙදෙනකුගේ සිතුම් පැතුම් සහ ගැළපීම් පිළිබඳව නිසි අවබෝධයක් ඇතිව එම බැඳිම ඇතිවිය යුතු වන්නේ. මේ ගැන තරුණ පරපුරට ‍ෙදාස් කීමට පෙර ඊට හේතු සොයා බැලීම වැඩිහිටි අපගේ යුතුකමයි. ඔවුන් එක්ක අපගේ අත්දැකීම් බෙදා හදාගෙන ඔවුන්ට විවාහ ජීවිතය පිළිබඳව නිසි අවබෝධයක් මෙන්ම එය පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය සියලු කාරණා පිළිබඳව පාසල් සමයේ සිට කිසියම් අධ්‍යාපනයක්ද ලබාදිය යුතුමයි.

වරක් මගේ පන්තියේ සිසුවෙක් ඇසූ ප්‍රශ්නයක් තමයි ගැහැනු ළමයෙක් දැක්කම එයාගේ සිනාව, ළයාන්විත කතාව, ලැසි ගමන, බැල්ම, ලස්සන වගේ දේවල් මිස ඒ හදවත අපිට හරියටම හඳුනාගන්න විධියක් නැහැනේ කියලා සම්පූර්ණ ඇත්ත. ඒ සිසුවාට ඒ පිළිබඳව කිසිම අත්දැකීමකුත් නැත්නම්, අධ්‍යාපනයකුත් නැතිනම් කොහොමද හදවත දකින්නේ. මම ඔහුට කිව්වා ළමයෝ එක වගේ හදවත් දෙකක් ගැහෙන්නේ එකම සංඛ්‍යාතයකට.

එ දෙකේම බොහෝ සමානකම් පවතිනවා. සිතුම්,පැතුම්,ආදරය, සෙනෙහස, ගතිගුණ ආදී බොහෝ දේවල් සමාන වන්නේ අන්න ඒ සමාන සංඛ්‍යාතවලින් යුතු හදවත් දෙකක්  දෙදෙනා තුළම තිබුණොත් පමණක් බව. නැවතත් ඇසූ ප්‍රශ්නය තමයි අපිට ඒ සංඛ්‍යාතය මනින උපකරණයක් තියෙනවද කියන එක. මම කීව ලස්සනට හෝ කතාවට, පෙනුමට, එහෙමත් නැත්නම් උගත් කමට, ධනයට, බලයට ආදී දේවල් පදනම් කරගෙන ආදරය කිරීමෙන් එකතු වීම තුළ කලාතුරකින් ඒ වගේ සමාන දෙන්නෙක් එකතු විය හැකි වුවත් එසේ නොවීමට ඇති සම්භාවිතාව ඉතාම අඩු  බව. ඒ වගේම ඔය ළමයා නිතරම බලන්නේ වෙනත් දේවල් දෙස මිස කවදාවත් ඒ ආදරය පිරුණ  හදවත දිහා එක පාරක්වත් බලල තියනවද කියල. එහෙම නම් දකින්නේ කොහොමද?

දෙයක් දෙස බලන්නේ නැත්නම් ඒ නිසා ඒ ළමයාගේ හදවත දකින්න තියෙන එකම ක්‍රමය ඇස් දෙක පියාගෙන අර රූපය ඇතුළු සියලු ලෞකික දේවල් අමතක කොට තම අධ්‍යාත්මය සමඟ සිතින් සම්බන්ධ වෙලා ඒ ළමයාගේ හදවත දකින්න උත්සාහ කරන්න කියල මොකද අපි ජීවිතේ ලස්සනම දේවල් දකින්නේ, පරම පිවිතුරු දේවල් දකින්නේ. අපේ ඇස් දෙක වහගත්තම. හොඳම දේ අපි බුදුන් වඳිනකොට ඇයි අපි ඇස් පියාගන්නේ. එවිට තමයි අපිට සත්‍ය වශයෙන්ම බුදුන් දකින්න පුළුවන්. දෙවියන් වඳිනකොටත් එහෙමම නේද?

ඒ වගේම කුඩා කල සිට මවුපියන්, ගුරුවරු, වැඩිහිටියෝ ඔවුන්ගේ අත්දැකීම් ළමයින් සමඟ බෙදාගන්නව නම් මේ වගේ විෂය කරුණු වලට පමණක් සීමා නොවී එදිනෙදා ජීවිතේ විඳින හැටි, සතුටින් ඉන්න හැටි වගේ දේවලුත් කියල දෙනව නම් ළමයින් ඉගෙන ගනීවි.

නමුත් අද උගන්වන එකම දේ විභාගෙන් වැඩිපුරම ලකුණු ගන්නේ කොහොමද, හොඳට පාඩම් කරන්නේ කොහොමද, අනෙකා පරද්දලා ඔවුන් අභිභවා යන්නේ කොහොමද, වැඩියෙන් හම්බ කරන්නේ කොහොමද, උසස්වීම් ලබාගන්නේ කොහොමද, ඉක්මනට වාහනයක් අරන් ගෙයක් ‍ෙදාරක් හදාගන්නේ කොහොමද වගේ දේවල් මිස මෙවැනි කරුණුවලට කිසිම වැදගත්කමක් දී නැති අධ්‍යාපන ක්‍රමයක් තුළින් අප බලාපොරොත්තු වන මේ කිසිම දෙයක් ඉටු නොවනු ඇත.

අවසානයේ සියල්ල තිබියදීත් ජීවිතේ විඳවමින් අසතුටින් සහ කලකිරීමෙන් පිරුණ ශාරීරික මෙන්ම, මානසිකවද දුබල වූ ජාතියක් පමණක් දැකිය හැකිවනු ඇත. එහෙත් සැබෑ  ආදරය හඳුනන, ආදරය මත පදනම් වූ ජීවිත ඇති ජීවිතය යනු කුමක්දැයි අවබෝධ කරගත් පිරිස අනෙක් ලෞකික දේවල්වලින් එතරම්  පොහොසත් නොවුවත් ලද දෙයින් තෘප්තිමත්ව සතුටින් සහ නිරෝගී ජීවිත ගත කරමින් ජීවිතය විඳිනු දැකිය හැකිය.

අවසන් වශයෙන් කීමට ඇත්තේ ඔබ ආදරය කරන්න. අනෙක් ලෞකික සියලුම දේ ලස්සන, හැඩරුව, ධනය, බලය මේ සියල්ල දවසක වෙනස් වෙනවා. එසේ නැත්නම් නැතිවෙන්නත් පුළුවනි. නමුත් දෙදෙනෙක් අසීමිත ලෙසින් ඔවුනොවුන්ට ආදරයෙන් ජීවත් වුණොත් ඉන් ලබන සතුට කිසි දිනෙක වෙනස් නොවේ. එය අප මියගියත් සදාකල්හිම අපේ හදවත් තුළ පවතිනු ඇත. සංසාරික බැඳීම් ඇතිවන්නේ අන්න එහෙමයි.

අපි බොදුනුවන් නම් අපිට මෙච්චර දුර යන්න අවශ්‍ය නැහැ. අපේ ජාතක කතා ටික කියවල බලන්න. සාරා සංකල්ප ලක්ෂයක් පෙරුම් පිරූ සිදුහත් කුමරුගේ කතාව ආදර්ශයට ගතහොත් මේ සියල්ලටම පිළිතුර එතැන ඇත. මන්ද ඒ සියලු භාවයන් තුළ ඔවුන් එක්වන්නේ එම අරමුණක් පෙරදැරි කරගෙනයි. මේ ජීවිතේ විඳින ගමන් ඔවුන්ගේ ආධ්‍යාත්මයද දියුණු කරගනිමින් කුසල් රැස් කරමින් සියලු ලෝ සතුන් වෙත කරුණාව, දයාව, පතුරවමින් තමන් ගැන සහ තම පවුල ගැන පමණක් නොව අනෙක් මිනිසුන් ගැනද සිතමින් හැමගේ සුව සෙත සලසමින් සසර ගමන අර්ථවත් කරගනිමින් ජීවත් වන කලාව අපට ඉගැන්වූ සිදුහත් කුමරුගේ සහ යශෝදරාවගේ කතාව අප ජීවිතවලට එකතු කරගත හැකි නම් අපට මේ ලොව ද දිනා පරලොවද ජයග්‍රහණය කිරීමට හැකි වනු ඇත.

එබැවින් ලෞකිකත්වය පමණක් පදනම් කරගෙන ආදරය කරන, එසේ එකතුවන උදවිය වරක් දෙවරක් නොව සිය දහස් වරක් ඒ ගැන සිතා ඔබේ ජීවිතයේ ඉරණම පිළිබඳව ඔබ ගන්න වටිනාම සහ ලොකුම තීරණය ගැනීමට ඔබට නුවණ පහළ වේවා! මේ රට අනාගතයේ යම් දිනක අතීතයේ අප දුටු එවන් සුන්දර මිනිසුන්ගෙන් පිරි පින් බිමක් වේවා! යනු ඔබ අප සැමගේම පැතුම විය යුතුය.

ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ජේ.එස්.කේ. ජයමහ

ශ්‍රී  ලංකා විවෘත විශ්වවිද්‍යාලය, නාවල, නුගේගොඩ