ලංකාවම කතා කරන නෙළුම් කුලුනේ පත්තරකාරයකු ඇසින් දුටු අසිරිය..!

0
153

ඩී.ආර්. විජේවර්ධන මාවත ඔස්සේ මෙතෙක් ගමන් කළ අපට නිරන්තරයෙන්ම දකින්නට ලැබුණේ ගරු ගාම්භීරව වැජඹෙන ලේක්හවුස් ගොඩනැඟිල්ලය.

දැන් ඒ අතරට එක්වී ඇති ඊළඟ වටිනාම ගොඩනැඟිල්ල ලෙස සඳහන් කළ යුතුව ඇත්තේ නෙළුම් කුලුනය.

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම සාමාන්‍ය ජනතාව අතර පවා ඉමහත් කතාබහට ලක්වූ මෙය දේශපාලන වේදිකාවේදී විවේචනයට බඳුන් වූයේ ‘ණය කුලුන’ හැටියටය. රටේ ආර්ථිකය වළ පල්ලට යවා අධික ණය මුදලක් යොදාගත් මේ කුලුන වැඩකට නැති ව්‍යාපෘතියක් හැටියටද හැඳින්විණි.

මේ කාරණය නිසාම 2008 වසරේදී යෝජනා වී සැලසුම් කොට 2012 වැඩ ඇරඹුණු මේ නෙළුම් කුලුනේ කතාව 2020 වසර දක්වාම ඇදී ගියේ විවිධ මතිමතාන්තර සමඟය.

කෙසේ හෝ දැන් නෙළුම් කුලුන ආසියානු පුදුමය සාමාන්‍ය මහජනයාට විවෘත වීමට ආසන්නය. ඒ අනුව මේ මස 15 වැනිදා සිට කුලුන නරඹන්නට සේම එතුළ ඇති කඩසාප්පු, අවන්හල් මෙන්ම උත්සව ශාලා ව්‍යාපාරික මධ්‍යස්ථාන ආදියෙන් ජනතා සේවය සපයන්නට සූදානම් කොට ඇත.

මේ සියලු කටයුතු සිදුවන්නේ කළම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම (Colombo Lotus tower management company (pvt) Ltd) මඟිනි. එහි මුල් පුටුව හෙවත් විධායක අධ්‍යක්ෂ තනතුර දරන්නේ මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතාය.

පසුගිය වැහිබර දිනයක අපි මේ කාගේත් අවධානයට පාත්‍ර වූ නෙළුම් කුලුනට ගොඩවූයෙමු. ඒ මෙරට ආර්ථිකයට මේ කුලුනින් ලැබෙන ආර්ථික හයිය කෙබඳුදැයි සොයා බැලීමටය.

“මේ කුලුන හදන්න ඇස්තමේන්තු කොට තිබෙන මුදල ඩොලර් මිලියන 104ක්. ඒ අනුව චයිනා එක්සිම් බැංකුව ඩොලර් මිලියන 88ක් වෙන් කරමින් මේ ව්‍යාපෘතිය ගොඩනඟන්න කටයුතු කොට තිබෙනවා.

ඒ වගේම මේ කුලුන 2015 අවුරුද්දේ තමයි නිම කරන්න තිබුණේ. නමුත් 2017 වෙනතුරු ඉදිකිරීම් කල් ගියා. එයින් පසුව 2019 අවුරුද්දේ මේ කුලුන විවෘත වුණා. එහෙම විවෘත වෙලා 2020 මේක මහජනයට ඇතුළු වෙන්න පුළුවන් වෙන තත්ත්වයේ තිබුණත් බොහෝ තැන් සකස් වී තිබුණේ නැහැ. ඔන්න දැන් තමයි ඒ හැම දෙයක්ම නිරාකරණය කරගෙන මහජනයා වෙනුවෙන් විවෘත කරන්න හදන්නේ” මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා කීවේය.

2019 වසරේදී මේ ගොඩනැඟිල්ල විවෘත වුවත් පැවැති නීති ගැටලු නිසා ඉදිකිරීම් ඇනහිටීමේ තත්ත්වයක් පවා දකින්නට ලැබිණි. එහෙත් දැන් ඒ සියල්ල නිරාකරණය වී ඇත. එමෙන්ම ණය මුදල පවා බෙහෙවින් අඩු කර ගැනීමට විදුලි සන්දේශ නියාමන කොමිසම් සභාව සමත් වී ඇත.

“විදුලි සන්දේශ නියාමන කොමිසම් සභාවට ව්‍යාපාර කටයුතු කරන්න බැහැ. ඒ නිසා තමයි මුදල් අමාත්‍යාංශයට යටත්ව මේ අලුත් සමාගම ඇති කරලා ලෝටස් ටවර් එකේ වැඩ කටයුතු අපට භාර දී තිබෙන්නේ. අපි දැන් 32ක කණ්ඩායමක් මේ වෙනුවෙන් වෙහෙසෙනවා. අපේ බලාපොරොත්තුව මෙයින් රටට ලොකු ආර්ථික වාසියක් අත්කර දෙන්නයි. ඒ සඳහා පසුගිය කාලය පුරාම අපි අපේ රටේ විවිධ ක්ෂේත්‍රවල ඉන්නා දක්ෂතා ඇති නිලධාරීන් එක්ක සාකච්ඡා කළා. ඔවුන්ගේ අදහස් ලබාගෙන ඒ අනුව තමයි අපි ඉදිරි කටයුතු සැලසුම් කළේ. එහිදී මේ කුලුනේ ඇති යම් යම් දේවල් වැඩිදියුණු කරගන්න ඉන්ජිනේරු මහත්වරුන්ගේ උදවු ලබාගත්තා. දෙස් – විදෙස් ඉන්ජිනේරු මහත්වරුන් අපට ඒ සඳහා උදවු කළා.”

ටී.ආර්.සී. එසේත් නැත්නම් විදුලි සන්දේශ නියාමන කොමිසම් සභාව මේ කුලුන පෙර කී සමාගමට බදු දී ඇත්තේ වසර 50කටය. එහෙත් එහි මුදුනේ ඇති රූපවාහිනි හා ගුවන් විදුලි සම්ප්‍රේෂණ කුලුන ආශ්‍රිත ප්‍රදේශය කුලියට දී නැත.

“අපි මේ ගොඩනැඟිල්ලේ ඇති සියලු තැන් කුලියට දෙන්නේ නියමිත ටෙන්ඩර් පටිපාටියට අනුවයි. දැන් අපිට සියයට හැත්තෑවක් පමණ ව්‍යාපාර සඳහා ආයෝජකයෝ සොයාගෙන තිබෙනවා. දෙස් – විදෙස් සමාගම් ඒ සඳහා ඉදිරිපත් වී සිටිනවා. ඔවුන් හැමකෙනෙක්ම ඉදිරි මාස තුන ඇතුළත මෙහි ව්‍යාපාරික කටයුතු අරඹනවා.”

මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසන ආකාරයට මේ නෙළුම් කුලුන අභ්‍යන්තරයේ ඇති සීමාවේ පමණක් නොව බාහිර ප්‍රදේශ තුළද බොහෝ විනෝදජනක ස්ථාන ඉදිකිරීමට සැලසුම වී ඇත.

“උදාහරණයක් හැටියට කිව්වොත් අපි මේ එළිමහන් භූමිය සංගීත සන්දර්ශන හා වෙනත් විනෝද වැඩසටහන් සඳහා කුලී පදනම මත ලබාදෙනවා. දැනටමත් සංගීත සන්දර්ශන කිහිපයකට දින ලබාගෙන තිබෙනවා.

ඒ වගේම අවන්හල්වලින් ඕනෑම තරාතිරමේ පුද්ගලයන්ට කන්න බොන්න විනෝද වෙන්න හැකිවෙනවා. රුපියල් 2000 ටිකට් එකක් අරන් මේ ස්ථානයට ඇතුළු වන අයට නිදහසේ ඕනෑම තැනකට යන්න පුළුවන් වෙනවා. රුපියල් 500 ටිකට් ගන්නා අය රැගෙන යන්නේ කණ්ඩායම් විදිහටයි. ඒ වගේම ඔවුන්ට යා නොහැකි ස්ථාන අපි හඳුන්වා දෙනවා.”

මේ කතාබහෙන් පසුව අප පිටත් වූවේ නෙළුම් කුලුන තරණය කරන්නටය. ඒ සඳහා අපට රුකුල් දුන්නේ නවීන තාක්ෂණය උපයෝගී කරගෙන යොදා ඇති සෝපානයය.

“මේ කුලුන මීටර් 356ක් උසයි. නමුත් අපිට අයිති මීටර් 248ක් විතරයි. අනිත් තට්ටු දෙක සහ සන්නිවේදන කුලුන තවමත් අයිති විදුලි සන්දේශ නියාමන කොමිසමටයි. ඉතින් අපි යන 29 වැනි තට්ටුව දක්වා යන්න තත්පර 46ක් වගේ කාලයක් තමයි ගත වෙන්නේ” මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා යළිත් කීවේය.

ඒ අනුව අප මුලින්ම ගමන් කළේ කුලුනේ රෝස පාටට පෙනෙන නෙළුම් පෙති ඇති ‘ටවර් හවුස්’ ප්‍රදේශයටය. මේ ප්‍රදේශයේ වඩාත්ම අලංකාර ස්ථානය හැටියට සඳහන් කළ හැක්කේ එහි විවෘත ඉසව්වය.

මෙතැන සිට බලන නරඹන ඕනෑම කෙනකුට ඉහළින් පෙනෙන්නේ අතළඟ ඇති වලාකුළුය. ඊට සාපේක්ෂව අෑත ඉමේ පෙනෙන මනස්කාන්ත දසුන් එමටය.

පහළින් පෙනෙන්නේ මහ මුහුද හා සිතා ගන්නට බැරි තරමේ අපූරු ගොඩනැඟිලිය. ඒවා දිස්වන්නේ අතින් අල්ලන්නට හැකි තරම් කුඩාවටය. ඒ ඇරෙන්නට බේරේ වැව අවට කොළ පැහැති පරිසරය බලන්නත් ලස්සනය.

“අපිට දැනෙන්නේ නැති වුණාට මේ කුලුන තරමක් සෙලවෙනවා. ඒක හදලා තියෙන්නේ එහෙම. ඒ වගේම මේ ප්‍රදේශයේ වැඩි පිරිසක් එකවර රඳවා ගන්නේ නැහැ. දැන් ඔය අපි උඩට ආපු සෝපානේ පවා සුළඟ වැඩි වෙනකොට වේගය ඉබේම අඩු වෙනවා. ඒවා හදලා තියෙන්නෙත් ආරක්ෂක විධි විධානවලට අනුවයි.” එසේ කීවේ අපට ස්වේච්ඡාවෙන්ම තොරතුරු කියන්නට එකතු වූ ව්‍යාපාර සංවර්ධන නිලධාරි බිම්සර රොසයිරෝය.

ඔහුගේ තොරතුරුවලට අනුව මේ කුලුනේ පළමු මහලේ සිට උඩට ඇති අපූර්වත්වය මෙසේය. නෙළුම් කුලුනේ එළිමහන වෙන්වන්නේ එළිමහන් සංදර්ශනවලටය. ඒ සංදර්ශන සඳහා දැනටමත් යම් යම් කණ්ඩායම් දින වෙන්කරගෙන ඇත.

මෙතැන ලස්සනම ලස්සන වතුර මලක් ක්‍රියාත්මකයි. ඒක ඇත්තම වෝටර් ෂෝ එකක්.  එහි ඇසෙන සංගීතය නිසා ඕනෑම කෙනකුට බ්ලුටූත් තාක්ෂණය ඔස්සේ විනෝදාස්වාදය ලැබිය හැකියි. මීටර් 30ක් පමණ උසට මේ වතුර මල ක්‍රියාත්මකයි.

ඒ වගේම බිම්මහලේ මුළුතැන්ගෙය එකවර 1500කට පමණ ආහාර පිසින්න පුළුවන් පහසුකම් තිබෙනවා.

මේ ගොඩනැඟිල්ලේ පළමු මහල ඇත්තේ ව්‍යාපාර කටයුතු සඳහාය. දෙවැනි මහල කෞතුකාගාර, උත්සව ශාලා සහ අමුත්තන් හමුවන මධ්‍යස්ථානවලින් සමන්විතයි.

ඊළඟට අපේ අවධානය යොමු වූයේ නෙළුම් පොහොට්ටුවේ හැඩය ඇති ටවර් හවුස් නමැති කොටසටය.

එහි සුවිශේෂ ස්ථානය ලෙස සඳහන් කළ හැකි වන්නේ 5 වැනි මහලේ ඇති කැරකෙන අවන්හලය.  මේ අවන්හලේ එකවර 600කට පමණ ආහාර ලබා ගැනීමට හැකිය.  එහි කැරකෙන වේගට තත්පර 60 සිට 90 දක්වා වෙනස් කළ හැකිය.  එමෙන්ම 4 වැනි මහලේ ඇති දහසකට පමණ රැස්විය හැකි භෝජන ශාලාව ඉතාමත්ම අලංකාරය. විශේෂයෙන්ම එහි විවාහ මංගල උත්සව සඳහා කියාපු තැනක් බව සඳහන් කළ යුතුමය.

මීට අමතරව මෙම ‘ටවර් හවුස් ‘ ප්‍රදේශයට සම්බන්ධ අනිකුත් මහල්වලද ඇත්තේ වෙනස්ම වෙනස් අත්දැකීම් ලබා ගත හැකි මහල්ය.  විශේෂ අමුත්තන් සඳහා වෙන් වූ සුඛෝපභෝගී කාමර එහි දැකිය හැකිය. භෝජන ශාලාද බොහෝය.

එමෙන්ම දැනටමත් මෙම ගොඩනැඟිල්ලේ පළමු මහලේ ඉදිකිරීමට නියමිත ඩිජිටල් බැංකු සේවා සඳහා බැංකු 4ක් ඉදිරිපත් වී ඇත.  ඒ හැරුණු කොට ඩිජිටල් සිනමා, ඩිජිටල් කෞතුකාගාරය ආදී නව තාක්ෂණය සමඟ ගනුදෙනු කරන බොහෝ අයට වැදගත් වන ස්ථාන හා මධ්‍යස්ථාන කීපයක්ම ස්ථාපිත වීමට නියමිතය.

“මීට අමතරව ඉහළ විවෘත කොටසේ ටෙලස්කෝප් සවිකරලා සීගිරිය, ශ්‍රී පාදය  වගේ ස්ථාන මෙහි සිටම නරඹන ඉසව්වක්  හදන්නත් අපි බලාපොරොත්තු වෙනවා.  පැහැපත් දිනවලට තවත් බොහෝ දේවල් අපට දැකගන්න පුළුවන් වේවි.” බිමිසර නැවත කීවේය.

මේ කුලුනේ වැදගත්ම ස්ථානය වන්නේ සන්නිවේදන කුලුන ආශි්‍රත ඉහළම කොටසය.  මේ කොටස ප්‍රයෝජනයට ගනිමින් විදුලි සංදේශ නියාමන කොමිසම බලාපොරොත්තු වන්නේ අපේ රටේ රූපවාහිනි හා ගුවන්විදුලි සේවාව එකම තැනකින් බෙදාහරින්නටය. ඒ තාක්ෂණය ඇති කිරීමට එම කොමිසම හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජපානය සමඟ ගිවිසුම් ගත වී ඇත. ඒ වැඩ කටයුතු ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අපි මෙතෙක් කියූ නොකියූ බොහෝ දේ සැප්තැම්බර් 15 වැනිදා මහජනතාව හා ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් ‍ෙදාර ඇරෙන මේ නෙළුම් කුලුනට සම්බන්ධය. ඒවා එක ගොන්නට ගෙන මේ සටහනට එකතු කිරීමට තරම් ඉඩකඩ මදිය. ඒ නිසාම ඉදිරියේදී අපිට නෙළුම් කුලුනේ තව තවත් විස්තර ඔබට කියන්නට හැකිවනු ඇත. ඒ අදහස් හිතේ තියාගෙන අපි නැවත වතාවත් ටවර් හවුස් කොටසේ එළිමහනට ඇවිද ගියෙමු.

අහස වැහිබරය. වලාකුළු අඳුරු වී අපට කියන්නේ ඉක්මනින් සෙවණක් ඇති තැනකට යන ලෙසය. සුළඟේ වේගය වෙනදාටත් වඩා වැඩිය. දැන් අප මෙතැනින් සෝපානය දක්වා ගමන් කොට සෙමින් සෙමින් පහළට යා යුතුමය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ