මොන තරම් දුක් ගොඩක් ඇතිද අම්මගෙ හිතේ මේ කාගෙ වරද දැයි කියාපන් මයෙ පුතේ

0
15

පසුගිය දවස්වල ලංකාවටම වගේ වැස්සේය. ඇතැම් පෙදෙස්වල වැස්ස වැඩි විය. ඉකුත් පස්වැනිදා වයඹ පළාතටද මහ වැසි ඇද හැලුණේය.

කාට වුණත් සනීපෙට ගුළි ගැසී නිදා ගැනීමට හිතෙන ඒ පාන්දර කුරුණෑගල, වැහැර, ජයන්තිපුර නාරංගස්අංගේ ගෙදර වැසියන් නම් පුරුදු පරිදි කුස්සියට වුණේ වැඩටපළට යන තමන්ටත් පාසල් යන දරුවන් දෙදෙනාටත් යමක් රත්කර ගන්නටය.

එක්වරම වැඩිවෙමිනුත් නැවත තුරල් වෙමිනුත් පැවැති වැස්ස දෙස බැලූ ගෙදර පොඩි එකා සජිත අනතුරුව තම අක්කාගේ දෙස බැලුවේ මුහුණ හකුළාගෙනය.

“අක්කෙ අද වහිනවා නේද? කොහොමද ඉස්කෝලෙ යන්නේ?”

“මං නං යන්නම ඕනෑ මල්ලියේ හවසට උසස් පෙළ අමතර පන්තියකුත් තියෙනවනේ” අක්කා කීවාය.

“එහෙනං මාත් එනවා!” එසේ කී සජිත අක්කා සමඟ පාසල් ගමනට ලෑස්ති වූයේය.

ටිකකින් වැස්ස පෑව්වේය. අක්කාත් මල්ලීත් කුඩ ඉහළාගෙන පුරුදු පරිදි පයින්ම පාසල් යන්නට වූහ. ටිකකින් මාපිය දෙදෙනාද වැඩටපළට ගියෙන් ගෙදර ඉතිරි වූයේ දරුවන්ගේ අත්තම්මා පමණි.

මේ දරුවෝ දෙදෙනා මෙන්ම බොහෝ දරුවෝද වැසි පරිසරය නොතකා කුරුණෑගල මලියදේව ආදර්ශ මහ විදුහලට ගියහ. හැම අතින්ම රටේ දරුවන්ගේ අධ්‍යාපනයට බාධා එල්ල වෙමින් පවතින නමුත් මවුපියන්ගේ මෙන්ම ගුරුභවතුන්ගේද වුවමනාව වී ඇත්තේ දරුවන් කෙසේ හෝ අධ්‍යාපනය අතින් ගොඩදමා ගැනීම බැවින් සෙසු පාසල්වල සේම මේ පාසලේද ඉගැන්වීමේ කටයුතු සාමාන්‍ය මට්ටමින් කෙරිණි.

ප්‍රශ්නය ඇති වූයේ පාසල ඇරී දරුවන් පාරට ආ පසුය. මහ වැස්සෙන් එකතු වූ ගංවතුරින් ඒ වන විට කුඹුරු යායවල්, පහත්බිම් සේම පාර දෙපස කානුද වැසී ඇතැම් තැන්වලින් පාරද යටවී තිබිණි.

අක්කා සවස පන්තියට සහභාගි වීම සඳහා පාසලේම නැවතුණු බැවින් සජිත පාර දිගේ ගෙදර යෑමට පිටත් වූයේ පුරුදු පරිදි අත්තම්මා මඟට පැමිණෙන බව දන්නා නිසාය.

එහෙත් විටින් විට ඇදහැලුණු වැස්ස නිසා අත්තම්මාට ගෙදරින් එළියට බැසීමට මඳක් පමා විය. කෙසේ වුවද ඇය අබලන් සිරුරද වාරු කරගෙන පුළුවන් තරම් ඉක්මනට මුනුපුරා සොයා ඉදිරියට ඇදුණාය.

ඒ වන විටත් පාරේ පාසලට කිට්ටු පෙදෙසත් ජලයෙන් යටවී තිබුණු බැවින් ඒ ජල පහර හරහා ඉදිරියට යෑමට ඇගේ ගතේ සවියක් නොවීය.

අත්තම්මා පාරේ නැවතී ඉදිරිය බැලුවාය. සජිත වතුරින් එහා පාර අයිනේ තැනක නැවතී බලා සිටින හැටි ඇය දුටුවාය. මුනුපුරා තමා දකින්නට ඇතැයි සිතූ ඇය ඔහු දියෙන් ගොඩ වී තමා ළඟට එනතුරු රැඳී සිටියාය.

සජිත නැවතී සිටි තැන පාර අයින වතුරින් යටවී තිබිණි. ඒ නිසා එතැන වූ කානුවද බැලූ බැල්මට නොපෙනිණි.

මෙවිටම ඇදී ආවේ වෙනත් පාසලක පාසල් දරුවන් ප්‍රවාහනය කෙරෙන වෑන් රියකි. එයට ඉඩ දීමට දෝ සජිත පියවරක් පස්සට තැබුවේය.  තමා නොදැනීම තැබුවේ සිය ජීවිත ගමනේ අවසන් අඩිය බව ඔහු නොසිතුවා විය හැකිය.

 සජිත අඩිය තබා තිබුණේ දියෙන් පිරී ගිය කානුවටය.

පුංචි දරුවකු වැසි දිය පිරුණු කානුවට ඇද වැටෙනු කිසිවකු දුටුවේ අහම්බෙන් මෙනි. දරුවාට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ ඔහු දුටු දේ අවසන් සාක්කිය වී තිබිණි.

“අන්න ළමයෙක් කානුවේ ගියා!” ළමයා පේන්න නෑ! කානුවේ හිරවෙලාද දන්නෑ! මිනිස්සු කෑ ගහන්නට වූහ. ඒ හඬ ඇසුණු ඇසුණු අය එතැනට රොක් වූහ.

ටිකකට පෙර තම ඇසින් දුටු මුනුපුරාගේ රූපය පාසල් වෑන් රිය යනවාත් සමඟම දසුනින් අතුරුදන් වී තිබීම ගැන අත්තම්මාද පුදුම වූවාය.

“දෙවියනේ ! මේ හිටිය දරුවා මේ නෑ. මොකද වුණේ?” ඇයට කියැවිණි.

“අනේ ඒ දරුව වාහනේට ඉඩ දෙන්න තමයි පාරෙ අයිනට වුණේ. එතකොටම තමයි දරුවා කානුවට වැටිලා තියෙන්නේ! අයියෝ! කෙනකු කීවේ හැඬ­ූ කඳුළෙනි. ඒ ඇසුණු අත්තම්මා තම මුනුපුරාට වූ විපත ගැන කම්පාවට පත්වූවාය.

සෙනඟ රොක් වී දරුවා සොයන්නට වූහ. ආරංචිය දස අතේ දිව ගියෙන් පොලිසියේ පිරිසක්ද දුව ආහ. සජිතගේ පොත් බෑගය පමණක් පොලිස් නිලධාරියකුට සොයාගත හැකි වුවද සජිත නම් නොවීය.

දරුවා දියෙන් යටවී තිබූ අතරමඟ වැඩ නවත්වන ලද කානුවට සම්බන්ධ බෝක්කුවේ හිරවී ඇතැයි සැක කළ පිරිස බැකෝ යන්ත්‍රයක් ගෙනැවිත් එතැන පාර බිඳින්නට පටන් ගත්හ.

දරුවා සෙවීමේ මෙහෙයුමට පැයක් පමණ ගත විය. කලින් සැක කළ පරිදිම බෝක්කුව තුළ සිරවී සිටි සජිත ඉන් මුදා ගන්නා විට පරඩැලක් සේ අක්‍රියව සිටියේය. වහාම කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කෙරුණු දරුවාගේ ජීවිතය බේරා ගන්නට වෛද්‍යවරුන් හැම උත්සාහයක්ම ගත්තද පැයකට පමණ පසු දරුවා මිය ගියේය.

හෙට පිපෙන්නට තිබූ මල් කැකුළක් ඔහු ආදරයෙන් ඇති දැඩි කළ ගෙදර ඇත්තන්ටත් රටටත් අකාලේ අහිමිව ගියේ ඒ අයුරිනි.

සජිත ඉරණම් ගමන් ගිය කානුව ඇත්තේ කුරුණෑගල මහ නගර සභාවට අයත් නාගරික සීමාව තුළය. එහි එක් පසෙකින් සජිත ඉගෙන ගත් මලියදේව ආදර්ශ මහ විදුහලත් අනෙක් පසින් බණ්ඩාරනායක විදුහලත් පිහිටා ඇත. විහාරස්ථානයක්ද ඒ ආසන්නයේම තිබේ.

දරුවන් උදේ හවා යන එන එබඳු පෙදෙසක තිබෙන මේ අනාරක්ෂිත කානු පද්ධතිය ගැන බලධාරීත්වයේ අවධානය යොමු නොවීම බපතළ නොසලකා හැරීමකි.

සජිතගේ දේහය ගෙදරට ගෙනා වෙලාවේ ඔහුගේ මව දුන් විලාපය හද දවනසුලුය.

“අනේ මගේ සුදු පුතේ, ඊයේ උදේ ගෙදරින් ගියේ අද මෙහෙම එන්නද? අනේ මගේ පුතේ මට ඔයාව ඉඹගන්න ඕනෑ. ඔයා පසුගිය දවස් ටිකේ ලස්සනට හිටියා නේද? ඇයි අද කතා නොකරන්නේ? අද මේ ගෙදර “ඔයා අම්මේ” කියලා කතා කරන වචන ටික ඇහෙන්නේ නෑ. අනේ කතා කරන්න මගේ වස්තුව. හැමදාම කතා කෙරුව වගේ මට අම්මේ කියලා කතා කරන්න පුතේ!  අනේ පුතේ මට ඔයාව වඩාගන්න හිතෙනවා. ඇයි පුතේ ඔයා මේ ඇස් දෙක වහගෙන ඉන්නේ?

මේ විලාපය තවදුරටත් අසා සිටිය නොහැකි බොහෝ දෙනා කඳුළු පිසමින් ගෙයින් පිටතට එනු දක්නට ලැබිණි.

සජිතගේ පියාද කඳුළු සලමින් මෙසේ කීවේය.

“පුතා ඉස්කෝලේ යන්නේ දුවත් එක්ක. එයා හැමදාම යන පාරේ වළවල් බෝක්කු තියෙන තැන හොඳට දන්නවා. ඒත් වැහි වතුරට ඒවා වැහිලා තිබුණු හින්දා එයාට බෝක්කුව පෙනිලා නෑ. වාහනයක් එනකොට පාරෙ අයිනට වුණාලු. ලෙස්සලා කානුවට වැටිලා බෝක්කුව ඇතුළට ඇදිලා ගිහින්.  අනිත් පැත්තෙන් එළියට ආව නං පුතාගේ ජීවිතය බේරෙනවා. අනේ පුතා ඒක ඇතුළේ හිරවෙලා! මොනා කරන්නද මගේ එකම පුතා මට නැති වුණා.

සජිතගේ කිරි අම්මා දුක් වූයේ මෙසේය.

“සජිත පුතා පුංචි කාලේ ඉඳලා ඉස්කෝලේ ඇරිලා එනකොට මම මඟට යනවා. ඊයේ හරි වැස්ස. ඒ හින්දා මං ගෙදරින් පිටත් වෙනකොට ටිකක් පරක්කු වුණා. උදේ ඉඳලා වැහැලා මං යනකොට වෙල ගාව වතුර පිරිලා. මං ගියේ හෙමින් හෙමින්. එතකොට කට්ටියක් කලබලෙන් කෑගහනවා ළමයෙක් වතුරට වැටිලා!” කියලා. මං මුලදි හිතුවේ නෑ ඒ අපේ පුතා කියලා. අපේ පුතා තමයි වතුරට වැටිලා තියෙන්නේ කියලා කවුදෝ කියනවා ඇහුණම මට මක්වුණාද කියලා මමම දන්නේ නෑ!”

සජිතගේ දේහය ගෙදරට ගෙනා අවස්ථාවේ කුරුණෑගල, වැහැර පෙදෙසෙහි මහා ජනකායක් ඒ ගෙදරට ඇදී ආවේ මහා කම්පනයකිනි.

කොන්ත්‍රාත් වැඩේ හරියටම කෙරී වැසි දිය කඩිනමින් බැස ගියා නම් මේ අහිංසකයාට පාරේ කොන කොතැනද, කානුව කොතැනද කියා සොයා ගැනීමට අමාරු වන්නේ නැත. වැස්සට, පෑවිල්ලට බැන වැඩක් නැත. ඒවා ස්වාභාවික සන්සිද්ධීන්ය. මේ අපරාධය අනියම් මිනීමැරුමක් සේ සලකා සජිත දරුවා අහිමි කෙරුණු මවුපියන්ට සාධාරණය ඉටු විය යුතුය.

කුරුණෑගල රාජ සභාව කඩා බිඳ දැමීමට තිබූ තරම් වුවමනාවක් හදිස්සියක් මේ යුතුකම ඉටුකිරීමට දක්වනවා දැයි අපි අවධානයෙන් සිටිමු.

කුරුණෑගල- ජයන්ත දිසානායක,

   විජේසිංහ වැලිකන්ද