මේ දෙවියන්ගේ පරීක්ෂණ කාලයයි

0
42

වර්තමානයේ උද්ගත වී ඇති ආර්ථික අපහසුකම් හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය පවා නිසි අයුරින් පවත්වාගෙන යන්නට ඉතා දුෂ්කර තත්ත්වයක් උදාවී ඇත. ඒ සඳහා රජය මෙන්ම පෞද්ගලික වශයෙන් විවිධ විසඳුම් සොයමින් සිටියි. උද්ගතව ඇති මෙම අපහසුකම් මධ්‍යයේ ආගමික වශයෙන් කරුණු ඉදිරිපත් කිරීම තුළින් සිතට යම් සහනයක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි.

උද්ගතව ඇති මෙවන් පීඩනයන් හමුවේ මුහුණ දෙන්නට ඉස්ලාමය මඟ පෙන්වයි. එහිදී අවධාරණය කරනුයේ විටෙක ඒවා පරීක්ෂණයක් ලෙසින්ද විටෙක පවින් දුරස් වී තමන් කළ වැරදි නිවැරදි කර ගැනීම සඳහාද විටෙක දෙවියන්ට සමීප වී තමන් කළ වැරදි පාපෝච්චාරණය කරනු පිණිසද මෙවන් විපත්ති හට ගැනෙන බවයි. ඒ අනුව කරුණු කිහිපයක් වෙත අපගේ අවාධානය යොමු කරමු. 

පරීක්ෂණයක් ලෙස පිහිටීම:

අල් කුර්ආන් 2 වැනි පරිච්ඡේදයේ 155 වැනි වැකිය මෙසේ අවධාරණය කරයි.

“බිය, සා ගින්න, දේපළ හා ජීවිත හිඟ වීම, මෙන්ම බවබෝග හිඟ වීම වැනි දැයින් සැබැවින්ම අපි ඔබ පරීක්ෂාවට ලක් කරන්නෙමු. කවුරුන් ඉවසීමෙන් කටයුතු කරන්නේද එවැන්නන්ට සුභාරංචි දන්වා සිටිනු.”

පරීක්ෂණය යනු මෙවන් විපත්ති හා ව්‍යසනයන්ට මුහුණ දෙන්නන් මත පමණක් සීමාවන කරුණක් නොවේ. ඒ ගැන අසන්නට ලැබෙන; එය දකින; ඒ සඳහා දායක වීමට හැකි උදවියටත් එය යම් පරීක්ෂණයකි. අසරණ වූ තම සහෝදර සහෝදරියන්ට තමන් සතු ධනයෙන් උපකාර කිරීමට අවස්ථාවක් මින් උද්ගත වන අතර ඔහු එසේ පිහිට වන්නේද නැද්ද යන පරීක්ෂණයටද මුහුණ දෙන්නට සිදු වනු ඇත.

නියම උපකාරය වනුයේ අවශ්‍ය අවස්ථාවක සිදු කරන උපකාරයයි. වර්තමානය ආර්ථික අපහසුකම් ඇති දුගී දුප්පතුන්ට උදවු කිරීමට කදිම අවස්ථාවකි. අල් කුර්ආනය 90 වැනි පරිච්ඡේදයේ 11-16 දක්වා වූ පාඨ මෙසේ අවධාරණය කරයි.  “එනමුත් ඔහු අකබාව තරණය කිරීමට වෑයම් නොකළේය. අකබාව යනු කුමක් දැයි ඔබව දැනුවත් කළේ කුමක්ද? (එය) වහලකු නිදහස් කිරීම හෝ සාගින්නෙන් යුත් දිනක ආහාර සැපැයීම වේ. එය සමීපකම් ඇති අනාථ ඥාතියකුට හෝ අසරණවූ දුගියකුට ආහාර සැපැයීම වේ.”

නබිතුමාණෝ මෙසේ පැවැසූහ.

“තම අසල්වැසියා කුසගින්නෙන් සිටියදී තමන් බඩකට පුරවා ගැනීම දේවත්වය විශ්වාස කරන්නකුට සුදුසු නොවන්නේය.” එතුමා තම අසල්වැසියන් වෙනුවෙන් නිවෙසේ පිසින වෑන්ජන වැඩිපුර සකසා ඔවුන් අතර බෙදා හරින්නට කටයුතු කර ඇත්තතාහ.

කුසගින්න හා පිපාසය යනු පොදුතාවකි. එයට කිසිදු පක්ෂයක් ජාතියක් හෝ ආගමක් හෝ නැත. මනුෂ්‍යත්වයේ නාමයෙන් එවැන්නන්ට පිටිවහලක් වන්නට අප උත්සුක විය යුතුය.

අපරාධ හා වැරදි වැඩිවීම:

අල් කුර්ආනයේ 30 වැනි පරිච්ඡේදයේ 41 වැනි පාඨයේ මෙසේ අවධාරණය කරයි:

“මහපොළොවේ හා මහ මුහුදේ අර්බුද ඇති වීමට හේතුව මිනිසා උපයා ගත් පාපකර්ම හේතුවෙනි.”

වර්තමානයේ සුරාව, සූදුව, ස්ත්‍රී දූෂණ, මංකොල්ලය, වැනි පාපකම් ඉහවහා ගොස් ඇත. මෙලෙස වැරදි හා අපරාධ වැඩිවන විට මෙවන් අර්බුද හා විපත් සිදුවන බව මුස්ලිම්වරුන් වන අපගේ විශ්වාසයයි. එහෙයින් අපරාධවලින් දුරස් විය යුතුය. එවිට මිදිය හැකි වන්නේය.

තම වැරදි හදා ගැනීමට අවස්ථාවක් උදා වීම.

විපතක්, ව්‍යසනයක්, දුෂ්කරතාවක් ඇති වන විට මෙලොව සැප සම්පත් තාවකාලික බවත් මේවා විනාශයට පත් වන බවත් හැඟෙන්නට වෙයි. එවිට තෘෂ්ණාවෙන් මිනිසා මිදී ආශාවන්ගෙන් හා පාපකම්වලින් දුරස් වන්නට බලයි. තමන්ගේ වැරදි හදාගෙන යහපත් ජීවිතයක් ගත කරන්නට උත්සාහ කරයි.

“මෙවන් සුළු පරීක්ෂණ ඔබට ඇති කරනුයේ නුඹලා වරදින් මිදී නැවත හැරෙනු පිණිසය.”

දෙවියන්ට සමීප වීම

මිනිසා ආගම දහම අතහැර මෙලොව මෝහයෙන් කටයුතු කරති. දෙවියන් සිටිත්දැයි පවා නොහඟති. දුක් කරදර කම්කටොලු දුෂ්කරතා ඇති වන විට මිනිසා දෙවියන් සිහි වී ඔහු වෙත අධික ලෙස නැඹුරු වෙයි. දෙවියන් ඇරයුම් කරයි.

මිදීමේ මාර්ග

මින් මිදෙන්නට පළමුව කළ යුත්තේ මානසික ආතතියෙන් ඉවත් වීමය. මුහම්මද් තුමාණෝ අපට දේශනා කර ඇත්තේ “දෙවියන් විශ්වාස කරන යමෙක් ඔහුට සතුටක් ඇති වුවත් දුකක් ඇති වුවත් එය ඔහුට යහපත් වන්නේය. ඔහුට යම් සතුටක් ඇති වූ විට ඔහු දෙවියන් ස්තුති කරයි. එය ඔහුට යහපත් වන්නේය. එමෙන්ම ඔහුට යම් දුකක් ඇතිවූ විට ඉවසීමෙන් කටයුතු කරයි. එයද ඔහුට යහපතක්ම වන්නේය.”

මෙම ප්‍රකාශය මිනිසාගේ මානසික පීඩනය දුරු කරන්නට ඉවහල් වෙයි. දෙවියන් වහන්සේ අල් කුර්ආනයේ පවා යහපත් මානසිකත්වයක් ගොඩනැඟීම සඳහා මෙසේ පවසයි:

“ඔබ යමක් ප්‍රිය කරයි. නමුත් එය දේව බැල්මෙන් ඔබට අයහපතකි. එමෙන්ම ඔබ යමක් පිළිකුල් කරයි. එය ඔබට යහපතකි.” මෙලෙස පවසා හොඳ හෝ නරක හෝ වේවා සියල්ල දෙවියන් විසින් සිදුවන්නක් බව දැනුම්වත් කර මිනිසාගේ මානසික අසහනය සුවපත් කිරීමට වග බලා ගනී.

එමෙන්ම උද්ගතව ඇති යම් කරුණක් වී නම් ඒ සඳහා විස¾දුම් ආගම දහමට පටහැනිව, සදාචාරයට විරුද්ධව අයුතු මාර්ග ඔස්සේ විසඳුම් සෙවීමෙන් වැළකිය යුතුය. වර්තමානයේ පවතින මෙම ආර්ථික අපහසුකම් ඔස්සේ අයුතු ලෙස ඒ සඳහා විස¾දුම් සොයනු ඇතැමුන් අපට දක්නට ලැබේ. සෑම දහමකම සොරකම කියන දෑ තහනම් කර ඇත්තෙකි. නමුත් ක්‍රමක්‍රමයෙන් සොරකම් වර්ධනය වෙමින් පවතී. අන්සතු දෙයින් තම අවශ්‍යතා සපුරා ගන්නට උත්සාහ කරයි. අනෙකා ගැන නොසිතන පසුබිමක් උද්ගත වෙමින් පවතී. මුහම්මද්තුමාණන් මෙසේ අවධාරණය කර ඇත. ඔබ යමකුට උදවු කරන්නේ නම් ඔබෙන් ඔහු උදවු ලබන තෙක් දෙවි¾දුන් ඔබට උදවු කරමින් සිටී.

විකල්ප මාර්ග සෙවීම්:

මිනිසාගේ මූලික අවශ්‍යතාවන් පවා සපුරා ගත නොහැකි තත්ත්වයක් අද උදාවී ඇත. එක් පැත්තකින් ඉන්ධන අර්බුදය, තවත් පැත්තකින් අහස උසට නඟිමින් පවතින ආර්ථික පීඩනය. මෙවන් තත්ත්වයක පරිභෝජනයට ගැනීමට නොහැකි ඇතැම් භාණ්ඩ මත වහල් නොවී, ඒ සඳහා විකල්ප මාර්ග සෙවීමද රටේ ජනතාවගේ වගකීමකි. භාණ්ඩ හිඟය නිසාවෙන් හෝ මූල්‍යමය අපහසුතා නිසාවෙන් හෝ තමන්ට ලබාගත නොහැකි දෙයක් මත ඉල්ලීම් කරන ජනතාව අතර ඒ සඳහා විකල්ප විසඳුම් සොයා රටට ආදර්ශය පෙන්වන අතළොස්සක් නැතුවාම නොවේ. එවන් දිරිය ජනතාව සොයා බලා ඔවුනට අතහිත දී ඔවුන් නඟාසිටුවීම තුළින් අනාගතයට මාර්ගයක් පෑදෙනු ඇත.

අවසාන වශයෙන් මුස්ලිම් ආගමික නායකයකු වශයෙන් මා පවසා සිටිනුයේ මේ සියලු මාර්ග පිළිබඳ අවධානය යොමු කිරීමත් සමඟ දෙවියන්ගෙන් තමන් කළ වැරදි සඳහා සමාව පතමින් ඔහු වෙත යොමු වීමය.

දේශමාන්‍ය මව්ලවි එම්. එස්. එම්. තාසීම්  සාමාජික, සර්වාගමික සමුළුව