මාස 03ට 34ක් තැන් තැන්වල මරන්න පාතාල උණ්ඩය රජ වුණේ කොහොමද?

0
64

දිවයිනේ නන් දෙසින් මෙතෙක් වාර්තා වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් වැඩි දෙනකු මියගොස් ඇත්තේ දකුණු පළාතෙන් බව පොලිස් මූලස්ථානය වෙත ලැබී ඇති තොරතුරුවල සඳහන්ය. ඉකුත් මැයි මස 30 වැනිදා ඇරඹි මෙම ඝාතන රැල්ලෙන් මිනිස් ඝාතන හතක්ම වාර්තා වී තිබුණේ අම්බලන්ගොඩ පොලිස් වසමෙනි.

දකුණු පළාතේ තංගල්ල, මිද්දෙණිය, වැලිගම, අහංගම, රත්ගම, උෟරගහ ආදී පොලිස් වසම්වලින් මිනිස් ඝාතන වාර්තා වුවද අම්බලන්ගොඩ පොලිස් වසමෙන් වාර්තා වන මිනිස් ඝාතනවල තවමත් නිමාවක් දක්නට නැති බව පැහැදිලිවම පෙනෙන්නට ඇත.

කෙසේ වෙතත් මෙතෙක් පැවැති විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ අම්බලන්ගොඩ මාදම්පාගම ප්‍රදේශයේ පාර්ශ්ව දෙකක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස එම පොලිස් වසම තුළ මෙලෙස මිනිස් ඝාතන සිදුව ඇති බවය.  බස්නාහිර පළාත තුළින්ද මිනිස් ඝාතන කිහිපයක් වාර්තා වූ අතර එම ඝාතන බොහොමයක් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇති වූ ගැටුම්වල ප්‍රතිඵලයක් මත සිදු වූවක් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අතර පෞද්ගලික තරහ මරහා පිරිමසා ගන්නට සිදුකළ මිනිස් ඝාතන දෙක තුනක්ද වන  බව පොලිසිය කියයි. මේ අනුව බලන කල ඉකුත් මැයි මස 30 වැනිදා ඇරඹි මෙම ඝාතන රැල්ලෙන් මේ වන විට සිදුව ඇති මිනිස් ඝාතන සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් කණ්ඩායම්වලට මේ වන විට කොටු වී ඇත්තේ ඝාතන සිදුකළ තුවක්කුකරුවන්ගෙන් දෙදෙනකු පමණි. ඝාතන රැල්ල අරඹමින් පිටකොටුව පොලිස් වසමේදී පුද්ගලයකු මරා දැමූ වෙඩික්කරු පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්‍ෂයට පත් වුවද සෙසු තුවක්කුකරුවන් තවමත් සිටින්නේ නිදැල්ලේය. මෙම තුවක්කුකරුවන් බොහොමයක් කුලියට මිනී මරන්නන් වන අතර ඔවුන් නිදැල්ලේ සිටීම එතරම් සුබදායි වන්නේද නැත. මේ නිසා නිදැල්ලේ හැසිරෙන මෙම තුවක්කරුවන් හැකි ඉක්මනින් කොටුකර නොගතහොත් ඉදිරියේදී තවත් මිනිස් ඝාතන වාර්තා විය හැකි බව සඳහන් කළ යුතුමය.

මෙම මිනිස් ඝාතන ඇරඹියේ ඉකුත් මැයි මස 30 වැනිදාය.

පිටකොටුව බැස්ටියන් බස් නැවතුම ඉදිරිපිට මාර්ගය දිගේ පැමිණි යතුරුපැදියක පිටුපස අසුනේ සිටි පුද්ගලයකු සිය අත තිබූ ටී පනස් හය තුවක්කුවෙන් බස් නැවතුමේ සිටි පුද්ගලයකු ඉලක්ක කොට වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයකු මරණයට පත් වූ අතර තවත් අයකු තුවාල ලැබීය.

සිද්ධියෙන් මියගොස් තිබුණේ අනුරාධපුර ඉලුප්පල්ලම කැලේදිවුල්වැව පදිංචි 30 හැවිරිදි ලක්‍ෂිත විරාජ් ලියනගේ නමැත්තෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇරඹි විමර්ශනයේදී අනාවරණය වූයේ ලක්ෂිත තවත් මිතුරන් දෙදෙනකු සමඟ කොටුව අධිකරණයක පැවැති නඩුවකට සහභාගි වීමෙන් අනතුරුව යළි නිවෙස බලා යෑමට බස් නැවතුමට ගිය අවස්ථාවේ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවය. ලක්‍ෂිත මෙලෙස මරා දැමීම විමර්ශන පැවැත්වූ පොලිස් නිලධාරීන්ට මහත් ගැටලුවක් ගෙන දුන්නේ ලක්‍ෂිත කිසිදු අපරාධයකට සම්බන්ධ නැති පුද්ගලයකු බව හෙළිවීම නිසාය.

කෙසේ වෙතත් සිදුකළ විමර්ශනයේදී තහවුරු වූයේ එම වෙඩි තැබීම අත්වැරදීමකින් සිදු වූවක් බවය.

තුවක්කුකරුගේ ඉලක්කගත පුද්ගලයා මියගිය ලක්‍ෂිතගේ හැඩරුවට සමාන අයකු වීම නිසා නිරපරාදේ ඔහුට මැරුම් කන්නට සිදුව ඇති බව හෙළි වූ අතර තුවක්කුකරුගේ ඉලක්ක ගත පුද්ගලයා ද නඩුවකට සහභාගි වී ඒ වන විටත් නිවෙස බලා පිටත්ව ගොස් තිබූ බවද අනාවරණය විය. එමෙන්ම ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නඩුවක සාක්කිකරුවකු බවත් ඒ හේතුවෙන් ඔහු මරා දමන්නට පැමිණි තුවක්කුකරු ඔහු යැයි සිතා වෙඩි තබා ඇත්තේ ලක්‍ෂිතට බවත් පොලිසිය හෙළි කරගත්තේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පිටකොටුව පොලිසියට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසය විසින්ද සිදුකරමින් සිටි අතරතුරදී ජුනි මස 3 වැනිදා උදෑසන අලුත්ගම පොලිස් වසමේ මොරගොල්ල ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවකු විසින් තැඹිලි වෙළෙන්දකු වෙඩි තබා මරා දැමීය. මියගොස් තිබුණේ ගයාන් සම්පත් නමැත්තෙකි.

එදින උදෑසන සිය බඩි ලොරියෙන් තැඹිලි වෙළෙ¼දාමේ ගිය ගයාන් ප්‍රදේශයේ කාන්තාවකට තැඹිලි විකිණීමේ යෙදී සිටියදී නාඳුනන තුවක්කුකරුවකු විසින් මොහු වෙඩි තබා මරා දමා තිබූ අතර විමර්ශනයේදී හෙළි වූයේ ඔහුද රටේ ප්‍රබල නඩුවක සාක්ෂිකරුවකු බවය. මොහු සාක්කි ලබා දෙමින් සිටියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහිවය.

ගයාන් ඝාතනය කළේ සාක්කිය නිහඬ කරවීමටද නැතහොත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ඔත්තු ලබාදීමේ වරදටද යන්න මෙතෙක් හෙළි වී නැත. එහෙත් ගයාන් ඝාතනය කළද තුවක්කුකරු ගැන මෙතෙක් තොරතුරක් නැත.

මේ අතර එදිනම දහවල් තවත් වෙඩි තැබීමක් පානදුර පොලිස් වසමෙන් වාර්තා විය. පානදුර නිර්මල මාවතේ කළු පැහැති යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු කහ පැහැති යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයකු ඉලක්ක කොට  වෙඩි කිහිපයක් තැබීය. වෙඩි තැබීමෙන් යතුරුපැදිය පෙරළී ගිය අතර පැදිකරු එතැනම බිම ඇද වැටිණි. පිටුපස සිටි පුද්ගලයා ඒ සැණින් පලාගිය අතර ඉදිරියට ගිය කළු පැහැති යතුරුපැදිය නැවත හරවා පැමිණ වෙඩි වැදී බිම වැටී සිටි පුද්ගලයාට තවත් වෙඩි කිහිපයක් එල්ල කොට පලා ගියේය.

සිද්ධියෙන් මියගොස් තිබුණේ වාද්දුව තල්පිටිය පදිංචි රන්දික මල්ෂාන් නමැත්තෙකි. දෙදරු පියෙක් වන මොහු හෙරොයින් නඩුවකට අදාළ වාර්තාවක් ලබාගැනීමට අධිකරණයට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙසේ වෙඩි ප්‍රහාරයට ලක් විය.

ඉන් අනතුරුව හතරවැනි මිනිස් ඝාතනය අහංගම පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය. ඝාතනයට ලක් වූයේ දඹගස්ආර, දෙමටපිටිය, වලස්ගල පදිංචි විසි හත් හැවිරිදි අසුන් චාමර නමැත්තෙකි.

මොහු මිතුරකු සමඟ අහංගම ප්‍රදේශයේ පදිංචි මිතුරකු හමුවීම සඳහා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අහංගම පංචලිය ප්‍රදේශයේදී කළු පැහැති ස්කුටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු අසුන් පැමිණි වාහනය නතර කර ඔයා අසුන්දැයි විමසා ඇති බවත් අසුන් යනු තමා යැයි පැවැසීමත් සමඟ තුවක්කුකරු ඔහු වෙත වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය විය.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා එළියට පැමිණ සති දෙකකට පසු මොහු වෙඩි තබා මරා දමනු ලැබීය.

ඉන් අනතුරුව පස්වැනි මිනිස් ඝාතනය ඉකුත් ජුනි මස පස්වැනිදා තංගල්ල මොරකැටිය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර බොලරෝ රථයකින් ගමන්ගත් පුද්ගලයකු වෙඩික්කරුගේ ඉලක්කය විය. ඝාතනයට ලක් වූ පුද්ගලයාද මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වූ අයෙකි.

මොරකැටියආර ප්‍රදේශයේදී සිදු වූ මෙම ඝාතනය සඳහා උපයෝගි කරගත් යතුරුපැදිය තංගල්ලේ මාර්ගයක අතහැර දමාගොස් තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකි වූ අතර තංගල්ල ප්‍රදේශයේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු ඝාතනය සිදුකළ තුවක්කුකරු කොටු කර ගැනීමට තංගල්ල පොලිසියට හැකි විය.

මේ අතර හයවැනි මිනිස් ඝාතනය කොළඹ උතුර බලප්‍රදේශයේ මෝදර පොලිස් වසමෙන් වාර්තා විය. ඒ මෝදර අලුත් මාවත ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූයේ විසි හතර හැවිරිදි පුද්ගලයෙකි.

ත්‍රිරෝද රථයක පැමිණි පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර පසුව කළ විමර්ශනයේදී ත්‍රීවීලරය පැද වූ පුද්ගලයා හඳුනාගැනීමට පොලිසියට හැකි විය.

විවිධ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පාර්ශ්වයන් දෙකක් අතර පැවැති ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව විමර්ශනවලදී හෙළි විය.

මේ අතර ජුනි 14 වැනිදා වත්තල පොලිස් වසමෙන් තවත් මිනිස් ඝාතනයක් වාර්තා වූ අතර මෙහිදී නාඳුනන තුවක්කුකරුවකු අතින් මැරුම් කෑවේ මට්ටක්කුලිය අල්ලිවත්තේ පදිංචි නිපුන නමැත්තෙකි. වත්තල ඇළකන්ද ප්‍රදේශයේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයකට පැමිණ එහි පැයක් පමණ රැඳී සිට සිය නිවෙස කරා යෑමේ අදහසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මොහු ඝාතනයට ලක් විය. මත්කුඩු ජාවාරම්කරුවකුගේ කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුව තිබිණි.

දිගින් දිගටම සිදු වූ ඝාතනවල හත්වැනි මිනිස් ඝාතනය එය විය.

අට වැනි තවත් මිනිස් ඝාතනයක් පෑලියගොඩ පොලිස් වසමෙන් වාර්තා විය.

ජුනි 21 වැනිදා මෙම වෙඩි තැබීම සිදු වූ අතර තුවක්කුකරුවකු අතින් ඝාතනයට ලක් වූයේ කොළඹ මැනිං වෙළෙඳපොළේ පලතුරු වෙළෙඳසලක හිමිකරු වූ සමන්ත ප්‍රදීප් කුමාර නොහොත් “අඹ ශානා” නමැත්තෙකි.

කෙසෙල්වත්තේ පදිංචිකරුවකු වූ ශානා ඝාතනය වන්නේ මැනිං වෙළෙඳපොළේදීය. ශානා ඝාතනයට වෙඩික්කරු පැමිණෙන්නේ මෝටර් රථයක නැඟීගෙනය. කෙසේ වෙතත් කෙසෙල්වත්තේ පාතාල කල්ලි පාර්ශ්වයක් ඉන්දියාවේ සිට මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බව මූලික පරීක්‍ෂණයේදී හෙළි විය. අඹ ශානාගේ සොහොයුරකු මීට පෙර ඝාතනයට ලක්වී තිබිණි.

ජුනි 26 මිද්දෙණිය ප්‍රදේශයෙන් වාර්තා වූ මිනීමැරුම නවවැනි මිනිස් ඝාතනය ලෙස සැලකිය හැකිය. සිද්ධියෙන් මරණයට පත් වුණේ ප්‍රභාත් මංජු නමැති මල් ශාලා හිමිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය විමර්ශන සිදුකළ අතර ඊට අමතරව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයද විමර්ශනයක් ආරම්භ කළේය.

26 වැනිදා උදෑසන මිද්දෙණිය ඇඹිලිපිටිය පාරේ පිහිටි ඔහුට අයත් මල් ශාලාව විවෘත කිරීමට පැමිණි මොහොතේදී මොහු ඝාතනයට ලක්විය. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ තංගල්ල කොට්ඨාස විමර්ශන අංශය ප්‍රභාත් මංජු මරා දැමූ ඝාතකයන් දෙදෙනා කොටු කර ගැනීමට සමත් විය. එමෙන්ම ඝාතනයට උපයෝගි කරගත් ගිනි අවියත් ඝාතනයට යොදාගත් වැගන්ආර් රථයත් නිලධාරීහු අත්අඩංගුවට ගත්හ.

මේ අතර කැලණිය පට්ටියහන්දියේදී යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවකු හිටපු පොලිස් නිලධාරියකු වෙඩි තබා ඝාතනය කළේය. එය 10 වැනි මිනිස් ඝාතනය ලෙස පොලිස් පොතට එක්විය.

‘පොලිස් අත්තනායක’ නමින් කුප්‍රකට මොහු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව වැඩ තහනමට ලක්වූ අයෙක් විය. එමෙන්ම පෑලියගොඩ ප්‍රදේශයේ පාතාල අපරාධකරුවකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යතුරුපැදිය පදවාගෙන ගිය බවටද මොහුට චෝදනා එල්ල වී තිබිණි. සිය බිරිය සහ අවුරුදු දෙකක් වයසැති දරුවා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවකු මොහු ඝාතනය කරනු ලැබීය.

11 සහ 12 මිනිස් ඝාතන වාර්තාව වූයේ මොරටුව පොලිස් බල ප්‍රදේශයෙනි. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනකු මරණයට පත්වූහ. මෝටර් රථයකින් ගමන්ගත් පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් යතුරුපැදියක පැමිණි දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර වෙඩිවැදුණු පුද්ගලයන් දෙදෙනාගේ මළසිරුරු මොටෝ රිය තුළ තිබියදී පොලිසිය සොයාගත්තේය. මෙම ද්විත්ව මිනිස් ඝාතනය ඉකුත් ජුනි මස 29 වැනි කටුබැද්ද ප්‍රදේශයෙන් වාර්තා වූ අතර ඝාතනයට සම්බන්ධ වූවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට කිසිදු විමර්ශන කණ්ඩායමකට හැකි වූයේ නැත.

මේ අතර තවත් වෙඩි තැබීමේ සිද්ධියක් ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර මෙහිදී ඝාතනයට ලක්වූයේ අලුත්ගම ජෝසා නමැති පාතාල අපරාධකරුවෙකි. මොහු ඝාතනයට ලක්වූයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමකිනි. කොළඹ බැස්ටියන් බස්නැවතුම අසලදී ඉකුත් මැයි මස 30 වැනිදා ලක්ෂිත නම් වූ හමුදා භටයකු නිරපරාදේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ජෝසා බව පොලිසිය සඳහන් කළේය.

ඉන් අනතුරුව සිදුවූ මිනිස් ඝාතනවල කිසියම් නැවතීමක් දකින්නට ලැබිණි. ඒ පොලිස් වෙඩි පහරින් පාතාල වෙඩික්කරුවකු වූ ‘ජෝසා’ මියයෑමත් සමඟය.

කෙසේ වෙතත් ජෝසාගේ මරණයෙන් පසු නැවත වෙඩි තැබීමක් වාර්තා වූයේ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයෙනි. ඒ ජූලි මස 26 වැනිදාය.

බළපිටිය අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිට නැවත නිවෙස බලා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වසන්ත සොයිසා ඝාතනයට ලක්විය. අම්බලන්ගොඩ මාදම්පාගම ප්‍රදේශයේදී මොහු වෙඩි ප්‍රහාරයට ලක්වූ අතර තුවක්කුකරු වෙඩි ප්‍රහාරයට පැමිණ තිබුණේ යතුරුපැදියකිනි.

ඒ 13 වැනි මිනිස් ඝාතනය විය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන ඇරඹි අතර ඒ සඳහා සී.සී.ටී.වී. කැමරා උපයෝගි කර ගෙන තිබිණි.

27 වැනිදාට උදාවිය. ගම්පහ සහ අම්බලන්ගොඩ පොලිස් වසම්වලින් මිනිස් ඝාතන 4ක් වාර්තා වී තිබිණි.

මෙම ප්‍රහාර දෙකෙන් කාගේත් අවධානය යොමු වූයේ ගම්පහ අධිකරණ භූමිය ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමය. මෙම ප්‍රහාරයෙන් ගම්පහ අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිට නැවත නිවෙස කරා යමින් සිටි පස් මාෆියාවේ වැඩකරුවකු වන ‘පස්පොඩ්ඩා’ නමැත්තා සහ ඔහු සමඟ රැඳුණු තවත් පුද්ගලයකු මැරුම් කෑහ. වැගන්ආර් රථයකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ අතර වෙඩි ප්‍රහාරය මෙහෙයවා තිබුණේ ඩුබායි රාජ්‍යයේ සිටින කෙහෙල්බද්දර පද්මේ නමැත්තකු බව විමර්ශනවලදී හෙළි විය. පියා මැරූ පළිය ගන්නට පද්මේ විසින් මෙම ප්‍රහාරය දියත් කර තිබූ අතර ප්‍රහාරයෙන් පසු තුවක්කුකරු සහ වැගන්ආර් රථය පැදවූ පුද්ගලයා ඩුබායි රාජ්‍යය වෙත කැඳවාගන්නට ප්‍රහාරය මෙහෙයවූවන්ට හැකිවිය.

කෙසේ වෙතත් මෙම ඝාතන දෙක පොලිස් පොතේ සටහන්ව තිබුණේ 14 සහ 15 මිනිස් ඝාතන ලෙසටය.

මේ අතර එදිනම (27දා) රාත්‍රියේ අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ මළගෙදරකට කඩා වැදුණු තුවක්කුකරුවකු මළගෙදර සිටි පුද්ගලයකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය.

මෙහිදී විජිත් තිරිමාදුර නමැත්තකු ඝාතනයට ලක්වූ අතර මළගෙදර හිමිකරුද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා පසුව ඔහු ජීවිතක්ෂයට පත්විය.

කෙසේ වෙතත් විමර්ශන පවත්වන පොලිස් නිලධාරීන් පැවැසුවේ 26 වැනිදා මාදම්පාගමදී ඝාතනයට ලක්වූ වසන්ත සොයිසාගේ මරණයට එකට එක කිරීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවය.

මේ අතර ජූලි මස 27 වැනිදා රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවෙසකට කඩාවදින තුවක්කුකරුවන් දෙදෙනකු නිවෙසේ සිටි පුද්ගලයකු වෙඩි  තබා මරා දැමීය. චරිත් උමයංග නම් වූ මෙම පුද්ගලයා ඝාතනය කරනු ලැබුවේ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින පාතාල කෙරුමකුගේ උපදෙස් මතය.

ඉන් අනතුරුව ජූලි මස 30 වැනිදා වෙරළබඩ පොලිස් වසමේ තවත් මිනිස් ඝාතනයක් සිදුවූ අතර එම ප්‍රහාරය එල්ල කර තිබුණේ ඉන්දියාවට පලාගොස් සිටින මෙරට දෙමළ පාතාල අපරාධකරුවන් දෙදෙනකු අතර ඇතිව තිබෙන ගැටුමක ප්‍රතිඵලයක් ලෙස බව පොලිසිය කීය. ඉකුත් ජුනි මස 6 වැනිදා මෝදර ප්‍රදේශයේ සිදු කළ මිනිස් ඝාතනයද මෙම ගැටුමේ ප්‍රතිඵලයක් බව පොලිසිය පැවැසීය.

මේ අතර ජූලි මස 31 වැනිදා රත්ගම ගම්මැද්දේ ගොඩ පිහිටි නිවෙසකට කඩාවැදුණු තුවක්කුකරුවකු ටී පනස් හය ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කොට බෝට්ටු හිමිකරුවකු මරාදැමූ අතර මින් නිවෙස් හිමියාද තවත් පුද්ගලයකුද තුවාල ලබා තිබිණි.

මේ අතර රත්මලාන නිවෙසකට කඩා වැදී නිවෙස් හිමි පුද්ගලයා ඝාතනය කළ වෙඩික්කරු අගෝස්තු 2 වැනිදා කටුනායක ගුවන් තොටුපොළ හරහා ඩුබායි බලා පලායෑමට උත්සාහ කරද්දී කොටුකර ගැනීමට ගල්කිස්ස පොලිසියට හැකිවිය. සැකකරු සමඟ ඔහුගේ බිරියද අත්අඩංගුවට ගැනිණි. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඝාතනයට යොදාගත් ගිනිඅවියද සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විණි.

මේ අතර අගෝස්තු මස 2 වැනිදා මුල්ලේරියාව පොලිස් වසමෙන්ද වෙඩි තැබීමේ සිදුවීමක් වාර්තා වූ අතර එම වෙඩි තැබීමෙන් මරණයට පත්වූයේ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී  ලංකා පොදු පෙරමුණු මන්ත්‍රිවරයකු වන සුමුදු රුක්ෂාන් නමැත්තාය. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මුල්ලේරියාව බැංකු හන්දියේදී මන්ත්‍රිවරයාට අයත් ඉදිකිරීමේ බිමක් අසලදී මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර මෙම වෙඩි තැබීම සිදුකළ බවට සැක කරන තුවක්කුකරු විශේෂ කාර්ය බළකාය විසින් පසුව අත්අඩංගුවට ගැනුණු අතර වෙඩි තැබීමට උපයෝගි කරගත් ගිනිඅවිය සොයා ගැනීමට යෑමේදී කඩුවෙල ප්‍රදේශයේ ගල්කොරියකට ඇද වැටී මරණයට පත්ව තිබිණි.

මේ අතර අගෝස්තු මස 5 වැනිදා තවත් මිනිස් ඝාතන දෙකක් ලුණුගම්වෙහෙර සහ අහංගම පොලිස් වසම්වලින්ද වාර්තා වූ අතර අගෝස්තු මස 7 වැනිදා ගම්පහ උඩුගම්පොළ කෙහෙල්බද්දර ප්‍රදේශයේදීද තවත් තරුණයකු ඝාතනය කරනු ලැබීය. සිද්ධියෙන් මරණයට පත්වූයේ ගම්පහ අස්ගිරිය මල්වත්ත පාරේ පදිංචිව සිටි දේවගේ අචිර නෙත්රුවන් නමැති 20 හැවිරිදි තරුණයෙකි. ඝාතකයන් පැමිණ තිබුණේ වෙනත් පුද්ගලයකු ඝාතනය කිරීමට බවත් තුවක්කුකරුට වැරදී මොහු ඝාතනය කර ඇති බවත් පසුව හෙළි විය. මෙයද පස්පොඩ්ඩා ඝාතනයට එකට එක කිරීමක් විය.

මේ අතර අගෝස්තු මස 19 වැනිදා අම්බලන්ගොඩ පොලිසිය කරන ලද සාර්ථක විමර්ශනයකින් අනතුරුව අම්බලන්ගොඩ පොලිස් වසමේදී වසන්ත සොයිසා වෙඩි තබා මරා දැමූ ඝාතකයන් හෝමාගම ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටියදී කොටුකර ගැනිණි. වසන්ත ඝාතනයට උපයෝගි කරගත් ගිනිඅවිය සහ යතුරුපැදිය අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් දැඩි ආරක්ෂාව මධ්‍යයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස 21 වැනිදා රාත්‍රියේ නාඳුනන තුවක්කුකරුවකු අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ හෝටලයකට කඩා වැදී මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයන් පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී ධනුෂ්ක සොයිසා සහ මධුර කසුන් යන දෙදෙනා මරණයට පත්වූහ. ඉන් එක් පුද්ගලයකු තුවක්කුකරුගේ ඉලක්ක ගත පුද්ගලයා වූ අතර අනෙකා පුද්ගලයකු බේරාගැනීමට ගොස් මැරුම් කෑවේය. මෙම ප්‍රහාරයද වසන්ත සොයිසාගේ පාර්ශ්වයේ තුවක්කුකරුවකු විසින් එල්ල කර තිබිණි.

මේ අතර 27 වැනි මිනිස් ඝාතනය වාර්තා වූයේ ගම්පහ පොලිස් වසමෙනි. ඒ අගෝස්තු මස 24 වැනිදාය. යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවකු ගම්පහ කෙහෙල්බද්දර බටපොත පිහිටි ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිසල් හිමිකරුවකු වූ අනුරාධ පුෂ්පකුමාර නමැත්තා වෙඩි තබා මරා දැමීය. කෙසේ වෙතත් ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා කිසිදු අපරාධයකට සම්බන්ධ නැති බවත් පස්පොඩ්ඩාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස ගණේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරු මෙම ඝාතනය මෙහෙයවා ඇති බවත් වාර්තා විය.

ඉන් අනතුරුව අහුංගල්ල කිටුවිල ප්‍රදේශයේදී තවත් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය වූ අතර උෟරගස්මංහන්දිය පොලිස් වසමේදී තවත් එවැනිම මිනිස් ඝාතනයක් සිදුවිය. ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සිරුර කොණ්ඩ කපන ස්ථානය තුළ තිබී පොලිසිය සොයාගත්තේය.

අගෝස්තු මස 29 වැනි දින රාත්‍රියේ මට්ටක්කුලිය අලියවත්ත ප්‍රදේශයේදී අලි අසිත නමැත්තාද තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මැරුම් කෑවේය. මෙම ඝාතනය මත්කුඩු ජාවාරමේ ගැටුමක් මත සිදුකර ඇති බව විමර්ශනයේදී හෙළි කර ගත හැකි විය.

මේ අතර ඉකුත් අගෝස්තු මස 31 වැනිදා අම්බලන්ගොඩ පොලිස් වසමේ බළපිටිය රෝහල අසලදී නාඳුනන තුවක්කුකරුවකු විසින් යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයකු වෙඩි තබා මරා දැමීය. වෙඩි ප්‍රහාරයෙන් මියගියේ මධුර කසුන් නමැත්තෙකි. ඔහුගේ ඝාතනයද අම්බලන්ගොඩ දෙපාර්ශ්වය අතර ඇති ගැටුමේ ප්‍රතිඵලයක් බව කියැවේ.

මේ අතර අගෝස්තු මස 31 වැනි දින උදෑසන මීගමුව අධිකරණ භූමියට ආසන්නයේදී වෙඩි තැබීමක් සිදු විය. තුවක්කුකරුවකුගේ ඉලක්කය වූයේ වාහනයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර තිබූ අතර තුවක්කුකරුගේ ඉලක්ක ගත පුද්ගලයාට වෙඩි වැදී තුවාල සිදුවුවද ඔහුගේ ජීවිතයට හානියක් සිදුව තිබුණේ නැත. කෙසේ වෙතත් විමර්ශනයේදී හෙළි වූයේ වෙඩි තැබීමට හේතු වී ඇත්තේ පෙම් පළහිලව්වක් බවය.

මෙලෙස නාඳුනන තුවක්කුකරුවන් විසින් දිගින් දිගට ඝාතන සිදුකරද්දී පසුගිය සැප්තැම්බර් මස පළමුවැනිදා කෑගල්ල පොලිසියටද වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා විය. කෑගල්ල කළුගල්ල පාරේ පිහිටි පක්ෂ කාර්යාලයක් තුළ මෙම වෙඩි තැබීම සිදුව තිබූ අතර වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබුණේ සකුන්තලා වීරසිංහ නමැත්තියකි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීමෙන් අනතුරුව ඝාතනයට සැකපිට කෑගල්ල සමගි ජන බලවේගයේ සංවිධායකවරයා අත්අඩංගුවට ගැනිණි.

ඉන් අනතුරුව 33 වැනි මිනිස් ඝාතනය යළි වාර්තා වන්නේ මිද්දෙණිය පොලිස් වසමෙනි.

ඒ ඉකුත් 1 වැනිදා රාත්‍රියේය. මිද්දෙණිය පොලිස් වසමේ සතොස්මාතාගම ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තිබූ අතර යතුරුපැදියකින් සිය බිරියගේ නිවෙසට ගොස් නැවත නිවෙස බලා පැමිණෙමින් සිටියදී මොහු ඝාතනයට ලක්විය. අවුරුදු 47ක් වයසැති මොහු සතොස්මාතාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිනිස් ඝාතන රැල්ලේ අවසන් ඝාතනය මේ වන විට වාර්තා වී තිබුණේ පිටිගල පොලිස් වසමෙන්ය. සිද්ධියෙන් මරණයට පත්වූයේ තල්ගස්වල නියාගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මුදල් පොලියට දෙන තැනැත්තෙකි.

ඉකුත් තුන්වැනිදා පිටිගල නගරයට ගොස් සිය යතුරුපැදියෙන් නැවත නිවෙස බලා එමින් සිටියදී මොහුද තුවක්කුකරුගේ උණ්ඩයට ගොදුරු විය. සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ඉකුත් මැයි මස 30 වැනිදා සිට දිවයින පුරා සිදුකළ වෙඩි තැබීම්වලින් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 34කි. මෙම ඝාතන සම්බන්ධයෙන් අදාළ වසම්වල පොලිස් ස්ථානයන්හි අපරාධ විමර්ශන අංශ එම පොලිස් කොට්ඨාසවල අපරාධ විමර්ශන ඒකක විසින් විමර්ශන පවත්වන අතර මෙම ඝාතනවලට සම්බන්ධ තුවක්කුකරුවන් නිදැල්ලේ පසුවීම ඉදිරියේදී තවත් ඝාතන සිදුකිරීමට ඇති ඉඩකඩ බහුල බව අදාළ ආරක්ෂක බලධාරීන් වටහාගත යුතුව ඇත.

කීර්ති මෙන්ඩිස්