මහා පස්කන්දකින් මතුකරගත් ඓතිහාසික වෙල්ගම් විහාරයේ  ඔබ නොදන්න කතාව

0
23

තැන තැන විසිර ගිය නටබුන් සහිත, වනසා දැමුණු තවත් එක් විහාරයක් කාලයාගේ ඇවෑමෙන් වනාන්තරය විසින් බිලිගෙන තිබිණි. අවශේෂ නටබුන්ද වසාගෙන ගහකොළ හා පස් කඳු ද වශයෙන් පමණක් දිස්වූ මෙය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් කට්ටුකුලම් කොට්ඨාසයේ, පෙරියකුලම් (ච් 18/43) වැව අසල පිහිටියේය.

“මෙතැන තියෙන්නේ බෞද්ධ විහාරාරාමයක්. චෝල ආක්‍රමණිකයො වනසා දමපු, පුරාවස්තු හොරුන් නැති නාස්ති කළ තැනක්. මේක වනාන්තරයට බිලිවුණොත් මේ රටේ ඉතිහාසයේ වැදගත් ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් වැළලී යනවා.” මේ “වෙල්ගම්වෙහෙර” පිළිබඳ වත්මන් කතාවේ ඇරැඹුමය.

එදා, වගකිවයුතු අය සහ පුවත්පත් මේ ගැන සඳහන් කරමින් යම් අවධානයක් ඇති කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බි්‍රතාන්‍ය ආණ්ඩු සමයේ, එනම් 1929දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මෙහි පළමුවැනි නිරීක්ෂණය කළ බැව් දෙපාර්තමේන්තු පාලන වාර්තාවලින් පැහැදිලි වෙයි.

මේ පළාතේ ජීවත්වන දෙමළ මිනිස්සු අතරින්පතරින් මතුවෙච්ච නටබුන් දැකලා ඒක කෝවිලක්ය කියලා හිතාගෙන “නාතනාර් කෝවිල” කියලා හඳුන්වා තියෙනවා. වැඳ පුදාගෙනත් තියෙනවා.”

සැබැවින්ම මේ බිමේ පිහිටා තිබෙන්නේ නිසැකයෙන්ම ඓතිහාසික “වෙල්ගම් වෙහෙර” බව තහවුරු කර ගැනීමට හැකිවූයේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් සිදුකිරීමත් සමඟම මතුවුණු පුරාවිද්‍යාත්මක ඓතිහාසික සාධක නිසාවෙනි.

“ 11 වැනි සියවසේ පළමු දශකයේදී ලක්දිව යටත් කරගෙන පනස් වසරක් බලහත්කාරයෙන් පාලනය ගෙනගිය චෝලයන්ගේ කාලයෙත් මේ පුදබිම රැකුණු බවට සාධක තියෙනවා. දෙමළෙන් ලියපු සෙල්ලිපි ඊට සාක්ෂියි.”

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ නිගමනය වූයේ එලෙසය. අනුරාධපුරය හා සෙසු ප්‍රදේශ රැසක බෞද්ධ විහාරාරාම වනසා දැමීමත්, මේ පුදබිම  රැකී තිබීමත් සිදුවූයේ චෝල අධිරාජ්‍යයේ පාලනයේ නමින් මේ බිම නම්කොට තිබීමත් නිසා බව පරණවිතාන මහතාගේ අදහසය. ඒ නිසාවෙන් මීට “නාතනාර් කෝවිල” යන නාමය පටබැඳෙන්නට ඇතැයි සිතිය හැකිය. කෙසේ වෙතත් සැබෑම පුවත නම් මෙහි තිබෙන්නේ “වෙල්ගම් වෙහෙරය.” ඒ සඳහා සාධක ඕනෑ තරම්ය. පසු කලෙක දෙමළ බසින් හැඳින්වුවත් විහාරයේ මුල් සිංහල නාමය අමතක කරන්නට චෝලයන් පවා කටයුතු කර නොමැති බැව් පෙනෙයි. වෙහෙර ගැන දෙමළ සෙල්ලිපිවල සඳහන් වන සෑම තැනකම පාහේ දෙමළ නමට ඉදිරියෙන් “වෙල්ගම් වෙහෙර” යන සිංහල නම යොදා තිබීමෙන් එය වඩාත් තහවුරු වේ. ඉන්පසු හමුවී කියවන ලද  එකම සෙල්ලිපියේත් මෙහි නම ඉතා පැහැදිලිවම “වෙල්ගම් (වේර)” ලෙස නම් කර තිබේ.

පසු කලෙක පරණවිතාන මහතාගේ නිගමනයට අනුව මේ බිම පසු කලෙක මෙහි කාලයක් ජීවත් වූ දෙමළ මිනිසුන් විසින් බෞද්ධ වත්පිළිවෙත් අනුගමනය කළ නිසාවෙන්, බෞද්ධයෙක්ව සිටීම හේතුවෙන් මේ තරමින්වත් සුරැකී තිබිණැයි කියැවිණි. අවාසනාවකට පසු කලෙක මෙහි තිබුණු වටිනා පුරාවස්තු ලෙස හඳුනාගත හැකිව තිබුණු කැපූ ඔපමට්ටම් කළ ගල් පෙරියකුලම් වැව ප්‍රතිසංස්කරණය කරද්දී ඒ සඳහා ගෙනගොස් තිබිණි. මෙහි විනාශය බාහිරින් පැමිණි විවිධ අරමුණු තිබුණු අයගෙන් වැඩි වූ නිසාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වහා මේ බිම පිරික්සා එය “පුරාවිදු ආරක්ෂිත භූමියක්” ලෙස නම් කරන්නට යෙදුණේය. ඒ 1934 නොවැම්බර් 30දාය. එහෙත් ගවේෂණ කටයුතු සිදුවීම තවත් පමා වූයේය.

එහෙත් සෙනරත් පරණවිතාන මහතා මේ බිමෙහි කැණීම් සිදුකරන්නට පටන් ගැනීමත් සමඟම “වෙල්ගම් වෙහෙර” කෙමෙන් මතුවෙන්නට පටන් ගත්තේය. එහිදී පළමුවෙන්ම කළ යුතු වූයේ මේ බිම වසාගත් වන බූටෑව කපා දමා, හෙළිපෙහෙළි කර ගැනීමය. යාන්තම් පාදාගත් බිමෙහි තැන තැන පුරාවස්තු විසිරී තිබුණු අතර ඒ අතරින් සුවිශේෂව මතුව තිබුණේ ගොඩැලි දෙකකි. ඉන් එකක් ගරාවැටුණු ස්තූප ගොඩැල්ලය. අනෙක ගඩොලින් බැඳි මෙම විහාරයේ පිළිම ගෙයය. එම ගොඩැලි මත විශාල ගස් වැවී තිබුණෙන් ඒවා ඉවත් කිරීම කළ යුතුම දෙයක් විය. ස්තූප ගොඩැල්ලේ වැවී තිබුණු මහ ගස් අතර නිදන් හොරුන් හෑරූ අඩක් ගොඩවුණු වළක් තිබිණි.

පරණවිතාන මහතාගේ වාර්තාවට අනුව පිළිමගෙය තුළ වූ සුන්බුන් ඉතා ප්‍රවේශමෙන් ඉවත්කර ගැනීමට කටයුතු කළ නිසාවෙන් හා ගොඩනැඟිල්ල වටා අගල් කපා පස් ඉවත්කර ගැනීම නිසාවෙන් සිත් පැහැරගන්නා ගොඩනැඟිලි කට්ටලයක බිම් සැලැස්මක් හා උදාර වූ වඩු නිමැවුම්වලින් ඉතිරි වූ දෑත් පාදාගත හැකි වී තිබේ. පිළිමගෙයි අභ්‍යන්තරය කොටස් 5කට බෙදා ගන්නට පරණවිතාන මහතා සමත් වූයේය. එහි අඩි 9ක් හා අඟල් 7ක් දිග හා අඩි 9යි අඟල් 5ක් පුළුල් වූ ගර්භ ගෘහයක් තිබිණි. බිත්තිය හරහා වූ අඩි 6යි අඟල් 6ක් දිග හා අඩි 5යි අඟල් 9ක් පුළුලැලි අන්තරාලයක්ද තිබිණි. කණු සහිත මණ්ඩපයක්ද විය. බාහිර අන්තරාලයෙන් පිටත සඳකඩ පහණකි. පිළිමගෙට පිවිසීමට ඉදිරිපසින්ම පඩි පෙළක්  නොතිබීමද සුවිශේෂය.

පරණවිතාන මහතාගේ අදහසට අනුව මෙහි තිබෙන ගර්භ ගෘහය මුල්ම සැලසුමට අනුව තිබී ඇති අතර පසු කලෙක සෙසු අංග මීට එක්කර ඇත. ගර්භ ගෘහයේ බිමට ගල් පතුරු අල්ලා තිබුණු බවක් දිස් වූ බව පර්යේෂණ වාර්තාවේ සඳහන් වේ. ගල් පතුරු කිහිපයක් නිදන් හොරු ගලවා දමා ඇත. ඉන් එක් ගල් පතුරක දසවැනි සියවසට අයත් සිංහල ලිපියක් තිබුණු අතර එය කුඩා කැබැලිවලට කඩා තිබිණි.  එසේම මෙහිදී හමුවන තවත් වැදගත් පුරාවස්තුවක් නම් ගර්භයේ ඇතුළු පැත්තේ පසුපස බිත්තියට යා වන ලෙස තිබුණු ප්‍රතිමා පීඨය ය. එහි කොදු කැටයමින් වූද නෙළුම් පෙති හා සිංහ රූපවලින් විසිතුරුව තිබිණි. නිදන් හොරුන්ගෙන් බේරුණු එක් දෙයක් වූයේය. එනම් බොහෝ ගෙවී ගිය වටකුරු රිදී පුරාණයකි. ගර්භ ගෘහයේ ආසනය මත වූ ප්‍රතිමාවෙත් කිසිවක් ඉතිරි වී නැත. ඒවා මුළුමනින්ම වනසා දමා ඇත. පරණවිතාන මහතාගේ නිගමනයට අනුව අද දාගැබේ නටබුන් අතර දක්නට ඇති කැඩී බිඳී ගිය පිළිම කිහිපයෙන් එකක් මෙම ආසනය මත තිබිණැයිද විශ්වාස කළ හැකිය. ගෘහයේ වඩාත් හොඳින් අදටත් ඉතිරි වී ඇති බිත්ති කණ්ඩි අඩි 10ක් තරම් උසය.

සිද්ධස්ථානයේ විශේෂ ලක්ෂණයක් වනුයේ එහි ඇති ප්‍රධාන ගොඩනැඟිල්ල වූ පිළිම ගෙයටත් කුඩා ප්‍රාසාද දෙකටත් යට නොවුණු භූමියේ ගල් අතුරා තිබීමය. පවුරෙන් කොටු වූ බිමේ දකුණු, නැඟෙනහිර සහ බස්නාහිර අතුරන ලද ගල්ලෑලි කෝවිලයක්ය කියා තරමක් හොඳින් නෙළා තිබිණි.

මෙහි බිම් සැලැස්මට අනුව නැඟෙනහිර පැත්තේ කුඩා ප්‍රාසාදය සම සතරැස්ය. ප්‍රාසාදය තුළ නැඟෙනහිර බිත්තියට හේත්තු කළ පද්මාසනයකි. මෙම පද්මාසනය මත වු පිළිමය ද දැන් එහි නැත.

පරණවිතාන මහතාගේ නිරීක්ෂණයට අනුව පිළිමගෙය ප්‍රථමයෙන් පිහිටුවනු ලැබූ පසු විවිධ කාලවලදී ඊට තවතවත් කොටස් එකතු කර ඇත. එසේම මෙහි වැදගත්ම දේ නම් බස්නාහිර ප්‍රකාරයේ පිටතට හේත්තු කළ ශිලාලේඛන පන්තියය. එය විහාරයට එන වන්දනාකරුවන්ට දැකබලාගත හැකි වන සේ තිබී ඇති සෙයකි. ශිලාලේඛනය මඟින් මෙම විහාරය කුමක්ද යන්න හඳුනාගැනීමට හැකිවීම වැදගත්ය.

විහාර බිමේ ගල්පාදෙණියට නැඟෙනහිරින් වූ පෙදෙස හාරා බලද්දී කුට්ටිමයෙන් වතුර ඉවතට ගලා යෑම සඳහා ගල් අල්ලන ලද කානුවක් තිබුණේය. ඒ කනුව ඔස්සේ ගලාගිය වතුර එකතුවීම සඳහා ගල් ඇල්ලූ අඩියකින් සහ බිත්ති කණ්ඩිවලින් යුත් නොගැඹුරු ගල්කටාරමක් හමුවී ඇත. මේ කටාරම තිබූ පස් ඉවත් කරද්දී හමුවූයේ “ඉතා සියුම් අංග ලක්ෂණ ඇතිව“ නෙළන ලද අඩි 6කුත් අඟල් 9ක් උස හුණුගල් පිළිමයකි.

විහාර බිමේ වූ පාදගත් දාගැබෙහි සුවිශේෂ ලක්ෂණ කිහිපයකි. පනාබැම්මේ පහළ වැලි කොන්දත් ප්‍රස්තාරයත් අතර වූ මූණතේ පිට පැත්තට කැටයම් කළ හිරිගල් වලින් අල්ලා තිබේ. ඒ හිරිගල් හා කැටයමින් දක්වා තිබුණේ පිපුණු නෙළුම් මල් සිංහරූපවලින් සමන්විත රටාවකි. සෑම නෙළුම් මල් දෙකක් මැද ඇත්රූපයක්ද හැම නෙළුම් මලක් දෙපස කුඩා පස් තම්භ දෙකක්ද වේ. ඇත් රූප ඇන තියා ඉඳගෙන බලා ඉනනා ඇතුන්ගේ විලාසය දක්වයි. ප්‍රමුඛයේ මූණතකට වෙනත් සැරැසිල්ලක් යොදා තිබිණි. එහි කුඩා ස්තම්භ අතර ඇනතියා ඉඳගත් සිංහයන් පෙළක් දැක්වෙන කැටයමක්ද, ඒ කැටයමට උඩින් නොයෙක් කඩිසර ඉරියව්වලින් සිටින මිනිසුන් කණ්ඩායමක්ද එහි සමහරුන් පොරබදන ආකාරයත්, තවත් සමහරුන් සංගීත භාණ්ඩ වාදනය කරන ආකාරයක්ද දැක්වේ.

ස්තූපය කැණීමේදී නිදන් හොරුන් අමතක කර දමන දෙයක් ඇත. එනම් ගඩොල්ය. මෙම දාගැබේ කැණීම් කරගෙන යද්දී හමු වූ පිලිස්සූ ගඩොල් අතර තිබුණු ගඩොල් කැටයක බ්‍රාහ්මී අක්ෂරයක් කොටා තිබිණි. එහි සඳහන් දේ අනුව ස්තූපය ඉදිකිරීමේදී මුලින්ම දැමූ අත්තිවාරම ක්‍රිස්තු වර්ෂයෙන් දෙවැනි හෝ තෙවැනි හෝ සියවස්වලදී කළ එකක් බැව් සිතිය හැකි යැයි පරණවිතාන මහතා කියයි.

මෙහි අංග සම්පූර්ණ පිළිමගෙයි සැතපෙන බුදු පිළිමයක් තිබුණු බවට සාක්ෂි රැසක් හමුවිය. මෙම පිළිමය සඳහා යොදාගත් ගඩොල් අනුව 11 වැනි 12 වැනි සියවසට ප්‍රථමයෙන් ඒවා නිමා වූ බවක්ද පෙනෙයි. හමු වූ එක් සෙල්ලිපියකට අනුව මෙම සිද්ධස්ථානය 2 වැනි සියවසට පමණ අයත් වූවක් බැව් පෙනෙයි. මෙම සෙල්ලිපි කඳු මුදුනෙහිද ස්තූපයක නටබුන් ඇත.

මෙම එහි වූ සෙල්ලිපි ක්‍රි.ව. 140 – 164 අතර රජ කළ දෙවැනි භාතික තිස්ස රජු දෙවැනි භාතික තිස්ස රජු දවස ‘අබය’ නම් සෙනවියකු විසන් කෙත්වතු කිහිපයකින් ලැබෙන ආදායම “වලගම” පිහිටි අබගරවහරට (අභයගිරිය නොහොත් ආමුගිරි විහාරයට) පූජා කළ බැව් කියැවේ. එම සෙල්ලිපිය මෙම විහාරයේ ඉතිහාසයේ කාල පරිමාවන්හි දිගුව මතු කරගන්නට එක් ප්‍රබල සාක්‍ෂියකි. එහි සඳහනට අනුව “වෙල්ගම් වෙහෙර” යන නම අඩු තරමින් දෙවැනි සියවසේ සිට හෝ පැවැත ආ නමක් බව තහවුරු වෙයි. එසේනම් විහාරය කරවා ඇත්තේ දෙවැනි භාතික තිස්ස රජු දවසට බොහෝ පෙරදී බවද නිසැකය.

නිශ්ශංකමල්ල රජු වැඳ පුදා ගත් බව කියන විහාරස්ථාන පිළිබඳ විස්තරයක්

පොළොන්නරුවේ පී්‍රතිදාහක මණ්ඩපයේ ශිලා ලිපියක දැක්වෙයි. එහි සඳහන් වන පරිදි නිශ්ශංකමල්ල රජු වෙල්ගම් වෙහෙරද, වැඳ පුදාගෙන තිබෙන බවක් පෙනෙයි.

කෙසේ වෙතත් වෙල්ගම් වෙහෙර චෝල ආක්‍රමණ හා නිදන් හොරුන්ගේ විනාශයන් මැද හෝ මෙසේ ඉතිරි වී තිබුණු නිසා එහි ඓතිහාසික සාක්ෂි මතුකර ගැනීමට ලැබීමද වාසනාවකි. මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතු වන්නේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කළ පුරාවිද්‍යාත්මක ගවේෂණයන්ය. ඓතිහාසිකව පැහැදිලි කරගත් පුරාවිද්‍යාත්මක සාක්ෂි මතින් තහවුරු වන කරුණු කාරණා පරිදි ඓතිහාසික රෝහණ රාජධානියේ එක් සීමාවක මෙම විහාරය පිහිටා තිබේ. එසේම කාලාන්තරයක් පුරා බෞද්ධ විහාර සංකීර්ණයක්ව ප්‍රදේශවාසීන්ගේ සිත නිවන්නට මඟපෙන්වූ බවය.

මෙම විහාරයට ඔබ ගිය විටෙක මේ කියන තොරතුරු යළි යළිත් කියවාගෙන අවබෝධයෙන් යන්නේ නම් ගමනට අරුතක් එක් වනු ඇත.

සජිත් රෝහිත ලියනගේ

    (පර්යේෂණ වාර්තා ඇසුරෙනි)