මරණය හමුවන තෙක් අවුරුදු 70ක් කිරීටය හිස පැලඳී රැජින එළිසබෙත්

0
23

බි්‍රතාන්‍ය ඉතිහාසයේ වැඩිම කලක් කිරුළ දැරූ රාජකීයයා වන දෙවැනි එළිසබෙත් රැජිනගේ අභාවය බ්‍රහස්පතින්දා රාත්‍රියේ නිවේදනය කරනු ලැබිණි. මෙය බි්‍රතාන්‍ය වැසියන්ගේ මෙන්ම ලොව බොහෝ දෙනාගේද සිත් කම්පාවට පත් කළ සිදුවීමක් බවට සැකයක් නැත. ඇයගේ මරණය ඉතා සන්සුන් මරණයක් වූ බවද බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

මහ රැජින මියයද්දී පසු වූයේ 96 වැනි වියෙහිය. පසුගිය කාලයේ ඇය විවිධ සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳිමින් සිටි බව මාධ්‍ය ඔස්සේ අනාවරණය විය. ඇය නිතර සැරයටියක් අතින් ගෙන සිටින අන්දමද දැක ගන්නට ලැබිණි. ඇවිදීමේ ගමන් බිමන් යෑමේ අපහසුතාවකින් පෙළෙමින් සිටි නිසා ඇය ගත කළේ බොහෝ දුරට සීමාවූ ජීවිතයකි. බොහෝ නිල කටයුතුවලින්ද ඇය ඉවත්ව සිටි අතර එම ඇතැම් කටයුතු ඉටු කරන ලද්දේ චාල්ස් කුමරු විසිනි. පසුගිය දිනවල මහ රැජින කාලය ගත කළේ එක්සත් රාජධානියට අයත් රටක් වන ස්කොට්ලන්තයේ පිහිටි බැල්මොරල් මාලිගයේයි. සාමාන්‍යයෙන් ඇය සෑම වසරකම ගිම්හාන ඍතුව ගත කරන්නේ එම මාලිගයේය.  බ්‍රහස්පතින්දා ඇයගේ මරණය සිදු වූයේද එහිදීයි.

රැජිනගේ අභාවයෙන් පසු චාල්ස් කුමරු මේ වනවිට රජකමට පත්ව සිටියි. ඔහු දැන් හැඳින්වෙන්නේ තුන්වැනි චාල්ස් රජු වශයෙනි. මහ රැජින වැඩිම කලක් වසර 70ක් කිරුළ දැරූ රාජකීයයා වෙද්දී චාල්ස් බි්‍රතාන්‍ය ඉතිහාසය තුළ රජකමට පත් වියපත්ම පුද්ගලයා බවට පත් විය. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 73කි. 

මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් පිරිහෙන්නට පටන්ගෙන තිබුණේ බ්‍රහස්පතින්දා උදෑසනයි. වෛද්‍යවරුන් ඇය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බව එම අවස්ථාවේ  මාධ්‍ය වාර්තා කළේය. ඇය අසල රැඳී සිටීම සඳහා ඇයගේ දරුවන් සහ පවුලේ සමීප සාමාජිකයන් බැල්මොරල් මාලිගය වෙත පැමිණ සිටින බවද සඳහන් වූයේය. කිසියම් බරපතළ දෙයක් සිදුවෙමින් පවතින බවක් මෙම ප්‍රවෘත්ති අනුව බොහෝ දෙනකුට අනුමාන කළ හැකි විය. මේ අතර මහ රැජින සාමාන්‍යයෙන් වාසය කරන ලන්ඩනයේ බකිංහැම් මාලිගය අසලද ජනතාව රැස් වෙමින් සිටින බැව් මාධ්‍ය වාර්තා කළේය.

මහ රැජින උපන්නේ 1926 වසරේ අප්‍රේල් 21 වැනි දිනයි. සිහසුනට පත් වීමට පෙර ඇයගේ නම වූයේ එළිසබෙත් අලෙක්සැන්ඩ්‍රා මේරි වින්සර් යන්නය. එළිසබෙත් රජකමට පත් වූයේ ඉතා අනපේක්ෂිත ආකාරයකටය. ඇයට ඒ සඳහා අවස්ථාවක් උදා වනු ඇතැයි බොහෝ දෙනකු බලාපොරොත්තු වූයේ නැත. රජකමට පත් වීමට ඇයට මඟ පෑදුණේ ඇයගේ පියාගේ සොහොයුරා වූ අටවැනි එඩ්වඩ් රජු 1939 වසරේ රජකම අත්හැරීමත් සමඟිනි. ඒ දෙවරක් දික්කසාද වී සිටි ඇමරිකානු කාන්තාවක වූ වොලිස් සිම්ප්සන් සමඟ විවාහ වීම සඳහාය. ඔහු රජකම අත්හැරියේ කිරුළ දරද්දී එවැනි කාන්තාවක සමඟ විවාහ වීමට හැකියාවක් රාජකීය සම්ප්‍රදායට අනුව නොතිබුණු බැවිනි. යම් හෙයකින් අටවැනි එඩ්වඩ් රජකම අත්නොහැරියා නම් ඔහුගෙන් පසු සිහසුනට පත්වීමට නියමිතව තිබුණේ ඔහුගේ දරුවෙකි. කෙසේ හෝ වේවා ඔහු රජකම අත්හැරීමෙන් පසු සිහසුනට පත් වූයේ ඔහුගේ සහෝදරයකු වූ එළිසබෙත්ගේ පියාය. ඔහු රජ වූයේ හයවැනි ජෝර්ජ් යනුවෙනි. මේ නිසා ඔහුගෙන් පසු කිරුළෙහි උරුමක්කාරිය බවට පත් වීමට  එළිසබෙත් කුමරියට හැකි විය.

හයවැනි ජෝර්ජ් රජකමට පත්ව ඉතා කෙටි කලකින් දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වූයේය. ඒ වනවිට එළිසබෙත්ගේ වයස අවුරුදු 13ක් පමණක් විය. මෙම කාලය ජනතාවට පමණක් නොව රාජකීයයන්ටද බොහෝ ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවූ කාලයක් වූයේය. බි්‍රතාන්‍යය යුද්ධයට පැටලීමත් සමඟ එළිසබෙත්ගේ සහ ඇයගේ සොයුරිය වූ මාගරට්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් කැනඩාවට යැවිය යුතු බවට යෝජනා ඉදිරිපත් වූ බව සඳහන් වේ. නමුත් ඔවුන්ගේ මවුපියන් ඊට එකඟත්වය දක්වා තිබුණේ නැත. එයින් පසු ඔවුන් කාලය ගත කර තිබුණේ වින්සර් බලකොටුවේයි. ඒ කාලයේ ඔවුන් ගත කර තිබුණේ ඉතා අසීරු ජීවිතයකි.

කෙසේ හෝ වේවා මෙයින් වසර කිහිපයකට පසු එළිසබෙත් කුමරියගේ ජීවිතයේ තවත් වැදගත් සිදුවීමක් සිද්ධ විය. එනම් එවකට රාජකීය නාවික හමුදාවේ සේවය කරමින් සිටි ග්‍රීක කුමරුවකු වූ පිලිප් සමඟ ආදර සම්බන්ධයක් ආරම්භ වීමයි. ඔවුන්ගේ ආදර සම්බන්ධය ඉතා සුන්දර ආකාරයෙන් ඉදිරියට ගිය අතර 1947 නොවැම්බර් 20 වැනි දින මේ දෙදෙනා විවාහ දිවියට එළැඹුණහ. ඒ වනවිට එළිසබෙත්ගේ වයස අවුරුදු 21ක් පමණක් විය එයින් පසු පිලිප් කුමරු හැඳින්වුණේ එඩින්බරෝ ආදිපාදවරයා යනුවෙනි.

ඔවුන් දෙදෙනාට දරුවෝ සිවු දෙනෙක් වූහ. වැඩිමලා වූ චාල්ස් උපන්නේ 1948 වසරේයි. අනෙක්  තිදෙනා වූයේ අෑන්, ඇන්ඩෘෘ සහ එඩ්වඩ් ය. ඔවුන් උපන්නේ පිළිවෙළින් 1950, 1960 සහ 1964 යන වසරවලයි.

1952 වනවිට එළිසබෙත්ගේ පියා හයවැනි ජෝර්ජ් රජු සිටියේ අසනීප තත්ත්වයෙනි. මෙම තත්ත්වය තුළ රජු නියෝජනය කරමින් විවිධ නිල කටයුතුවල නිරත වීමට කුමරියට සිදු විය. ඇයට සිහසුන භාර ගැනීමට සිදු වූයේද මෙවැනි නිල කටයුත්තක් සඳහා පිලිප් කුමරුද සමඟ කෙන්යාවේ සංචාරයක නිරතව සිටියදීයි. මෙම සංචාරය අතරතුර ඇයට පියාගේ අභාවය පිළිබඳ දුක්මුසු පුවත දැනගන්නට ලැබුණු අතර ඇය වහා නැවත ලන්ඩනය බලා පැමිණ රජකම භාරගත්තාය. ඒ දෙවැනි එළිසබෙත් රැජින ලෙසිනි. ඒ වනවිට ඇය පසු වූයේ 26 වැනි වියේයි.

එළිසබෙත් සහ පිලිප් අතර විවාහය වසර 74ක කාලයක් පැවැතිණි. එය අවසන් වූයේ පසුගිය වසරේ සිදුවූ පිලිප් කුමරුගේ අභාවයත් සමඟිනි. ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 99ක් විය. සිය සැමියාගේ අභාවය මහ රැජින තුළ විශාල කම්පනයක් ඇති කළ බව පෙනෙන්නට තිබිණි ඇය නිතර ඔහු හැඳින්වූයේ තමාට විශාල ශක්තියක් වූ කෙනකු ලෙසිනි.

දෙවැනි එළිසබෙත් විශාල වශයෙන් ජනතාවගේ ආදරයට ගෞරවයට පාත්‍රවූ රාජකීයයකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන්නීය. ඇය සැලකෙන්නේ සිය රාජකාරිය සඳහා මහත් උනන්දුවෙන් අනලස්ව කැපවී සිටි රැජිනක වශයෙනි. කිසිදු හේතුවක් නිසා සිය නිල කටයුතු පැහැර හැරීමට ඇය කැමැති වූයේ නැත. සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස පිරිහී තිබියදී පවා ඇය හැකි මට්ටමින් එම කටයුතු ඉටු කිරීමට මහන්සි ගත්තාය. මහ රැජින  අවසන් වරට ඉටු කළ නිල රාජකාරිය වූයේ පසුගිය අඟහරුවාදා (06දා) එරට අගමැති ධුරයට අභිනවයෙන් පත්වූ ලිස් ට්‍රස් හමු වීමයි.

එක්සත් රාජධානියේ සම්ප්‍රදායට අනුව යමින් මහ රැජින එහිදී නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා  ට්‍රස්ට ඇරයුම් කළාය. මහ රැජින කිරුළ දැරූ දීර්ඝ කාලය තුළ බි්‍රතාන්‍යය දැවැන්ත පරිවර්තනයන් රැසකට මුහුණ දුන්නේය. බි්‍රතාන්‍ය අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු ඇතිවූ වෙනස්කම් ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේය. ඇයගේ කාලය තුළ අගමැතිවරුන් 15 දෙනකු එක්සත් රාජධානිය පාලනය කර තිබීමද විශේෂ කාරණයකි. පළමුවැන්නා වින්ස්ටන් චර්චිල් වූ අතර 15 වැනියා වූයේ පසුගියදා පත්වූ ලිස් ට්‍රස්ය.

මහ රැජින දෙවතාවක් ශ්‍රී ලංකාවටද පැමිණ තිබේ. 1954 සහ 1981 යන වසරවල ඇය පිලිප් කුමරුද සමඟ මෙරට සංචාරය කළාය.

බි්‍රතාන්‍යයේ රජකම දරන්නකු මරණයට පත් වූ සැණෙන් එහි ඊළඟ උරුමක්කාරයා සිහසුනට පත් වේ. ඒ අනුව මේ වනවිටත් චාල්ස් කුමරු තුන්වැනි චාල්ස් රජු ලෙස රජකමට පත්ව සිටියි. නමුත් ඔහුගේ අභිෂේක මංගල්‍යය පැවැත්වෙනු ඇත්තේ දිගු ශෝක කාලයකින් පසුවය. සමහර විට ඒ සඳහා වසරක් පමණ ගත වනු ඇති බව සඳහන් වේ. මහ රැජින රජකමට පත් වූයේ 1952 පෙබරවාරි මාසයේ වුවද ඇයගේ අභිෂේක මංගල්‍යය පැවැත්වුණේ 1953 වසරේ ජුනි මාසයේ යි.

රැජිනගේ අවමඟුල් උත්සවය පැවැත්වෙන දිනයක් ගැන තවම නිවේදනය කර නැත. මුලින්ම ඇයගේ දේහය බැල්මොරල් මාලිගයේ සිට බකිංහැම් මාලිගය දක්වා රැගෙන යෑමට නියමිත අතර ඉන්පසු වෙස්ට්මින්ස්ටර් ශාලාව වෙත ගෙන යෑමට නියමිතය. එය පිහිටා ඇත්තේ එරට පාර්ලිමේන්තුවද පිහිටා ඇති  ගොඩනැඟිල්ලේයි. මහජන ගෞරවය සඳහා දේහය එහි තැන්පත් කර තැබීමෙන් පසු රාජ්‍ය අවමඟුල් උත්සවය පැවැත්වෙනු ඇත්තේ වෙස්ට්මින්ස්ටර් ඇබී දේවස්ථානයේයි. එහිදී විශේෂ දේව මෙහෙයක්ද පැවැත්වීමට නියමිතය. අනතුරුව රැජිනගේ දේහය ලන්ඩනයේ සිට සැතපුම් 20ක් පමණ දුරින් පිහිටි වින්සර් මාලිග පරිශ්‍රයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය වෙත රැගෙන යනු ඇත. එහිදී නැවතත් දේව මෙහෙයක් පැවැත්වීමෙන් අනතුරුව දේහය තැන්පත් කිරීමේ කටයුතු සිදුවීමට නියමිතය. රජ පවුලේ ජේ‍යෂ්ඨයන්ගේ දේහයන් තැන්පත් කර ඇති විශේෂ තැන්පත් ගර්භයක ඇයගේ මවුපියන්ගේ සහ සැමියාගේ දේහයන් අසල රැජිනගේ දේහයද තැන්පත් කරනු ඇති බව සඳහන් වේ.

කෙසේ හෝ වේවා මහ රැජිනගේ අභාවයත් සමඟ දින ගණනක් ගතවනතුරු බි්‍රතාන්‍යයේ කටයුතු බොහෝ දුරට අඩාල වනු ඇත. මෙය එරට ආර්ථිකයට පවුම් බිලියන ගණනක බලපෑමක් සිදු කරන්නක් වනු ඇති බව සඳහන්ය. එමෙන්ම අලුත් රජුගේ පත්වීමට අදාළවද බොහෝ කටයුතු  කිරීමට සිදුවන අතර ඒ වෙනුවෙන්ද තවත් බිලියන ගණනක් වැය කිරීමට සිදුවනු ඇත. මේ සියල්ල සිදුවන්නේ රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් ඇති අවස්ථාවකය.

එරට ජාතික ගීයේ ඇතැම් වචනද වෙනස් කිරීමට සිදු වේ. වත්මන් ජාතික ගීයේ සමහර කොටස් ලියැවී ඇත්තේ රැජිනකට උචිත ආකාරයෙන් බැවිනි. එමෙන්ම පොලිසියේ සහ හමුදාවේ නිල ඇ¾දුම්වල ඇතැම් ලාංඡනවලද වෙනස්කම් කිරීමට සිදුවන බව සඳහන් වේ. මේ අතර චාල්ස් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු සහ කාසි  නිකුත් කිරීමටද සිදුවනු ඇත.

සනත් වික්‍රමගේ