මම එක වැඩක් කරන ගමන් තව වැඩවලට අතගහන්නේ නෑ

0
336

‘ගිනියම් රෑ’ රූප රචනාව තුළින් ආන්‍ෙදා්ලනාත්මක සරාගී චරිතයක යෙදුණු ඇය පිළිබඳව එකල සමාජයේ  නිතර කතා බහට ලක්වුණා. ‘හුස්ම’ චිත්‍රපටය කියන්නෙත් ඇගේ රංගනයේ එක් සන්ධිස්ථානයක්. නමින් ඇය චමත්කා ලක්මිණියි. ඉතින් මේ දිනවල සිංහල රිදී තිරයට අලුතින්ම එකතු වන ‘පියාඹන්න ආයෙත්’හි ප්‍රධාන චරිතය හරහා ඔබට මුණගැසෙන චමත්කා පිළිබඳ කතා නොකර කොහොමද? අද ‘හදගැස්ම’ ඉඩහසර ඇය වෙනුවෙනුයි. කොහොමද මේ දිනවල වැඩ කටයුතු?

මේ දවස්වල නම් නිවෙසෙහි සහ තෙල් පෝලිම්වල තමයි කාලය ගත වෙන්නේ. දින කිහිපයකට පෙර මගේ අලුත්ම චිත්‍රපටය ‘පියාඹන්න ආයෙත්’ තිරගත වීම ඇරඹුණා. අවුරුදු එකහමාරකට පමණ පෙරයි  අපි එහි රූගත කිරීම් නිමා කළේ. dubbing ඉවර කරලා මාධ්‍ය දර්ශනය  පෙන්නුවත්  රටේ තිබුණු වාතාවරණය නිසා චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න තිබුණු කාල වකවානු වෙනස් වුණා. දැන් රටේ තත්ත්වය තරමක් යහපත් නිසා නැවත ප්‍රේක්ෂකයන් සිනමා ශාලා වෙත එයි කියන බලාපොරොත්තුව අපිට තිබෙනවා. ඉදිරියට තමයි චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර බලන්න වෙන්නේ. ඉතින් චිත්‍රපටයට ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් සිටිනවා.

වෙනස්ම සංකල්පයකට නිර්මාණය වුණු චිත්‍රපටයක් තමයි ‘පියාඹන්න ආයෙත්’ කියන්නේ. ඒ ගැනත් විස්තර කියමු.

ආදරය පිළිබඳ වෙනස්ම කතාවක් තමයි  “පියාඹන්න ආයෙත්” කියන්නේ. මේ චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට යන්නට අපට සිදුවුණා.  ඒ වගේම කළණ ගුණසේකර  වැනි  දැවැන්තයෙක් සමඟ මම වැඩ කරන්නේ ප්‍රථම වතාවට. රංගනය පිළිබඳව ඔහු සතුව තිබුණු  අත්දැකීම්  ඉතාමත්ම ඉහළයි. කළණ කියන්නේ හොඳ පෞරුෂයක් තිබෙන රංගන ශිල්පියෙක් සහ හොඳ සහාය නළුවෙක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ශර්ලි සමරසිංහ අයියා. ඔහුගේ පළමුවැනි නිර්මාණය තමයි ‘පියාඹන්න ආයෙත්’ කියන්නේ.  

යූ.ඒ. පල්ලියගුරු තමයි මෙය නිෂ්පාදනය කළේ. මේක අපි හොඳ සහයෝගයෙන් වැඩ කරපු සුන්දර නිර්මාණයක්. එය මගේ රංගන ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් වේවි.

චිත්‍රපටය පුරාවට  ලැබුණු සුන්දර අත්දැකීම්   පිළිබඳ මතකය කොහොමද?

මගේ පුංචි පුතා ලැබුණට පස්සේ කරපු පළමුවැනි සිනමා නිර්මාණය තමයි මේක. මේ නිර්මාණය වෙනුවෙන් සති දෙකකට අධික කාලයක් මට එක දිගට වැඩ කරන්න සිදු වුණා. ඒක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒ කාලය ඇතුළත  ලංකාවේ බොහෝ ප්‍රදේශවලට අපිට යන්නට සිදු වුණා. සීතල නුවරඑළිය වගේම  උණුසුම් ප්‍රදේශ වන අම්පාර, යාපනය වගේ ප්‍රදේශවලටත් යන්නට සිදු වුණා. ගමන් මහන්සිය ඉතාමත් දැඩිව දැනුණා.

මෙවැනි  චිත්‍රපටයක මෙවැනි චරිතයක් භාර ගන්නට විශේෂ හේතුවක් ඔබට තිබුණද?

මේ චරිතය කරද්දි මගේ ශරීරයේ බර ටිකක් වැඩි වෙලා තිබුණේ. විදෙස් රටක ජීවත් වෙමින් සිට ලංකාවට පැමිණෙන තරුණියක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. පිටපත කියෙව්වම මේ   චරිතය කරන්න පුළුවන් කියලා මට දැනුණා. පුංචි පුතා ගැන වගකීම ගනිමින් ගෙදරින් ලැබුණු සහයෝගය නිසා මට මේ චරිතය සාර්ථකව කරන්න පුළුවන් වුණා. ඒ වගේම චිත්‍රපටයේ දකිනවට වඩා දැන් ශරීරයේ බර අඩු කරගෙන කෙට්ටු වෙලා ඉන්නේ. මේ චරිතය තුළ නිරුවත් රඟපෑමක්  තිබුණේ නැහැ. මට හුස්ම චිත්‍රපටයේ නිරුවත් දර්ශනවලට පෙනී සිටින්නට වුණා. මෙහි එහෙම චරිත නිරූපණයක් තිබුණෙ නැහැ. ඒ නිසයි මේ චරිතය මම භාර ගත්තේ. 

රටේ මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් මැද මෙවැනි මොහොතක හෝ චිත්‍රපටය තිරගත කිරීමට හැකි වීම පිළිබඳව ඔබේ අදහස කොහොමද?

චිත්‍රපට වගේම අනෙකුත් රස වින්දන මාධ්‍යයන් අපේ ජීවිතයට අත්‍යවශ්‍යයි. නමුත් අපේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්නවලින්ම පීඩා විඳින්න සිදුවෙලා. ඒ නිසා මිනිසුන්ගෙන් රස වින්දන මාර්ග අෑත් වෙලා. ඒ  පිළිබඳ  මට කනගාටුයි.  මම රංගනයෙන් දායක වුණු  චිත්‍රපට හතරම මාස පහක් වගේ ඇතුළත තිරගත වෙලා තිබෙනවා. නමුත් මේ  චිත්‍රපටය තරමක් ප්‍රමාද වුණේ සිනමා ශාලා එක දිගට වහලා තිබුණ නිසයි. කොවිඩ් තත්ත්වය වගේම රටේ දේශපාලන අස්ථාවර වීම එයට තදින්  බලපෑවා.

චමත්කාගේ රංගනය රිදී තිරයට පමණක් සීමා වේවිද?

මම ‘බ්ලැක් පූල්’ කියන ටෙලි නාට්‍යයට  රංගනයෙන් දායක වුණා. නමුත් රටෙහි තිබෙන ගැටලු සමඟ එය අතරමඟදී නතර කරන්න සිදුවුණා. ඉදිරියේදී එය විකාශය වේවි. මගේ පළමුවැනි සිනමා නිර්මාණය කරපු කණ්ඩායමමයි මේ ටෙලි නාට්‍යය නිර්මාණය කරන්නෙත්. ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නොහැකි නිසා මම මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න සිතුවා. හැ¾දුනුම්කම මත කරපු ටෙලි නාට්‍යයක් කිව්වොත් හරි.

ඔබ කරන ඇතැම් චරිතවලට සැමියගෙන් තහංචි වැටෙන්නේ නැද්ද?

මම කිසිම විධියකට මගේ නිර්මාණයක් තිර පිටපතක් මම මගේ පවුලේ අය සමඟ සාකච්ඡා කරන්නේ නැහැ. මගේ තනි තීරණයට තමයි ඒ හැම දෙයක්ම තෝරා ගන්නේ. මගෙ පෞද්ගලික ජීවිතය වෙනයි. මගෙ නිර්මාණ කටයුතුවල ජීවිතය වෙනයි. මම තිර පිටපතක් කියවලා කරනවා කියන තැනට ආවට පස්සෙ තමයි ගෙදරට කියන්නේ මම මේ චරිතය කරනවා කියලා. එයාලගෙන් එයට ලැබෙන ප්‍රතිචාර මට අදාළ නැහැ. මගෙ නිර්මාණ කොපමණ සාධාරණව කරනවද කියන එකයි මට අදාළ.

චමත්කා එක් චරිතයක් නිරූපණය කිරීම එක් වරකට පමණක් සීමා කර තිබෙනවා. එය ඔබ දමාගත් සීමාවක්ද?

මම කරන නිර්මාණ තුළින් මම කැමැතියි මගේ ප්‍රේක්ෂකාගාරය වෙනත් විධියකින් මාව දකිනවට. ‘පියාඹන්න ආයෙත්’ චිත්‍රපටයේ මම තරමක් මහතයි. ඒක  වෙනම චරිතයක්. හුස්ම ගත්තොත් ඒක තවත්  චරිතයක්. යම් චරිතයක් වෙනුවෙන් බාහිර  ශරීරයෙන් පවා මම වෙනස් වෙනවා. ප්‍රේක්ෂකයන්ට මාව සිතෙහි රැඳෙන  චරිතයක් වෙන්නේ ඒ නිසයි. තව අවුරුදු දහයකින් අද රඟපෑ චරිතයක් කරමු කිව්වොත් මම බෑ කියනවා. එකිනෙකට වෙනස් චරිත කරන්නයි මට අවශ්‍ය. ඒ තුළින් චමත්කව වෙනස්ම විධියට දකිනවාට මම කැමැතියි.

පියාඹන්න ආයෙත් චිත්‍රපටයේ අමතක නොවන සිදුවීම් මොනවාද?

චිත්‍රපටය පුරාම තිබෙන්නේ අමතක නොවන සිදුවීම් ගොන්නක්. අපිට වාහනයක් තුළ සති දෙකකට වඩා වැඩි කාලයක්  එක දිගට වැඩ කරන්න සිදු  වුණා. රාත්‍රියේදී හෝටලයක ගිමන් හරිමින් පසුදා පාන්දර වැඩ අපි වැඩ පටන් ගන්නවා. කොවිඩ් කාලය නිසා තරමක්  අවදානම් තත්ත්වයක් තිබුණා. එක්  රැයකදී එක්තරා හෝටලයක කානුවකට මාව ඇදගෙන පවා වැටුණා. නමුත් එයින් ලොකු අනතුරක් වුණේ නැහැ. සීරීම් සහ  තැල්මක් පමණයි ඇති වුණේ. අපි පැය දෙක තුනක් මහන්සි ඇරලා ආයේ රූපගත කිරීම් කරනවා. වාහනවල යන අතර නිදා ගන්නවා. යාපනේ මුහුද වගේම අඹේවෙල, ලෝකාන්තය, ග්‍රෙගරි වැව වගේ සුන්දර තැන්වල ඇවිදිමින් ගිය ගමන දුෂ්කර වුණත් අද මතක් වෙනකොට සතුටක් දැනෙනවා.

මවක් විධියට දරුවගේ ලෝකය තනන්නට  ඔබ දරන වෑයම කොහොමද?

මගේ පුතා බියෝන් අග්‍ර. ඔහුට වයස අවුරුදු දෙකහමාරක් වෙනවා. දරුවා සමඟ ගෙවන කාලය හරිම සුන්දරයි. බියෝන් මට වඩා එකතු නැනීට. මවක් විධියට දරුවට අවශ්‍ය නිදහස  දරුවට ලබාදී තිබෙනවා. මගේ කලා කටයුතුවලට පුතාව සම්බන්ධ කර ගන්න මගේ අදහසක් නැහැ. ඔහුට කැමැති කාලයකදී ඔහු කැමැති නම් සම්බන්ධ වේවි.

අනාගත බලාපොරොත්තු කොහොමද?

ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැ. එන විධියකට මුහුණ දෙනවා. සතුටින් ඉන්න මම කැමැතියි. හොඳ නිර්මාණයක් තුළින් ප්‍රේක්ෂකයන්ට, කලාවට යමක් කරන්න හැකි නම් ඒ දේ කරන්නයි මම දැනට අදහස් කරගෙන සිටින්නේ.

සචිනි බස්නායක