මන්දපෝෂණය ගැන GMOA කියන කතාව

0
24

මෙරට ජනතාවගේ පෝෂණය පිළිබඳව මෑතකාලීනව කළ පර්යේෂණ නොමැති බැවින් රටේ ජනතාවගේ මන්දපෝෂණය අඩු වී ඇතැයි හෝ වැඩි වී ඇතැයි කිසිවකුට ප්‍රකාශ නිකුත් කළ නොහැකි යැයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

මේ වනවිට රටේ බහුතර ජනතාවට පෝෂ්‍යදායි ආහාර වේලක් නොමැති බවත්, මේ නිසා ඉදිරියේදී රටේ පවතින මන්දපෝෂණ තත්ත්වය වැඩිවීමේ ප්‍රවණතාවක් ඇතැයි පිළිගත හැකි බවත්, සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර ‘ඉරිදා මව්බිම’ට පැවැසීය.  ජනතාවගේ පෝෂණ තත්ත්වය පිළිබඳව විද්‍යාත්මක පදනමින් පර්යේෂණ විය යුතු බැවින්, රටේ මන්දපෝෂණය නැතැයි ප්‍රකාශයක් කිරීමට සෞඛ්‍ය ලේකම්වරයාට සදාචාරාත්මක අයිතියක් නැතැයි ද වෛද්‍ය බණ්ඩාර කියා සිටියේය.

වැඩුණු පුද්ගලයකුට දිනකට කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 200ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 100ක්, එළවළු ග්‍රෑම් 250ක් හා පලතුරු ග්‍රෑම් 250ක් ද තෙල් හා මේද ග්‍රෑම් 20ක් පමණද අවශ්‍ය බව වෛද්‍ය සංගම් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

රටේ දෛනික අවශ්‍යතාව, එළවළු කිලෝග්‍රෑම් ලක්ෂ 50ක් හා පලතුරු කිලෝග්‍රෑම් ලක්ෂ 50 ක් වුවත්, මේ වනවිට ඇත්තේ දෛනිකව එළවළු කිලෝග්‍රෑම් ලක්ෂ 18ක් හා පලතුරු කිලෝග්‍රෑම් ලක්ෂ 18ක් පමණක් යැයි වෛද්‍ය බණ්ඩාර කීවේය.

රජය විවිධ ප්‍රකාශ කරමින් නොසිට වහාම ජනතාවට එළවළු පලතුරු සුලභ කිරීමටත්, ජනතාවට මිලදී ගැනීමේ හැකියාව ඇති කිරීමටත් පියවර ගත යුතු යැයි ද ඔහු කියා සිටියේය.

විනීතා එම්. ගමගේ