මනස සුවපත් කරන ප්‍රායෝගික භාවනාව

0
43

මෙම භාවනා ලිපි මාලාව තුළින් අප මීට පෙර මෛත්‍රී භාවනාව, සක්මන් භාවනාව, ධාතු මනසිකාර භාවනාව සහ ආනාපානසති භාවනාවේ කායානුපස්සනාව තෙක් ලෙස සමථ භාවනා ක්‍රම කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළා. මේ ලිපිය තුළින් සාකච්ඡා කරන්නේ ඕනෑම ආධුනිකයකුට භාවනාව පිළිබඳව අවබෝධයක් ලබාගෙන ප්‍රගුණ කළ හැකි භාවනා ක්‍රම පිළිබඳවයි. ඕනෑම ආධුනිකයකුට මේ හරහා මූලික ලෙස සතිය ගොඩනඟා ගත හැකියි. නමුත් යම් අයකුට සමාධිය දියුණු කර ගැනීමට නම් සමථ භාවනා ක්‍රම හොඳින් ප්‍රගුණ කළ ගුරුවරයකු හමුවී ඉගෙන ගත යුතුයි.

අප පසුගිය සති දෙකෙහි සාකච්ඡා කළ පරිදි ආනාපනාසති භාවනාවේ බොහෝ ආනිසංස පවතින බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ ගෝසිංහ වනයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේ තුන් නමක් වැඩසිටියා. ඉන් එක් ස්වාමීන් වහන්සේ කෙනකුට ආනාපානසති භාවනාව මහත්ඵල මහානිසංස සහිත බවත්, එහි මහත් ආනිසංස ලබා ගත හැකි ආකාරයෙන් ප්‍රගුණ කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් දේශනා කර තිබෙනවා. එය සංයුක්ත නිකායේ කිම්බිල සූත්‍රයේ සඳහන්ව තිබෙනවා. ඒ පිළිබඳව කියවීමට කැමැති අවශ්‍ය කෙනකුට අන්තර්ජාලය ඔස්සේ හෝ සූත්‍ර පිටකය කියවීම තුළින් අදහසක් ලබා ගත හැකියි.

මේ ලිපිය තුළින් අප සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ මරණ සතිය භාවනාවේ වැදගත්කම පිළිබඳවයි. මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළ බොහෝ මිනිසුන් තමන් ගැන පමණක් සිතමින් කල්ප කාලයකට ජීවත් වනවාක් මෙන් බොහෝ දේවල් එකතු කර ගනියි. අපේ රටේ බොහෝමයක් දේශපාලනඥයන් පින් දහම් කරන්නට පන්සල්වලට ගොස් ස්වාමීන් වහන්සේලා ඇසුරු කළද ඔවුන් ජීවත් වන්නේ ඔවුන් අවුරුදු දහස් ගණනක් ජීවත් වන්නන් ලෙසිනි. නමුත් කුමන මොහොතක හෝ තමන් එලෙස එකතු කරගත් මිල මුදල්, යාන වාහන, දේපළ වතුපිටි හැරදා මිය යෑමට ඔවුන්ට සිදු වනවා. ඇතැම් මිනිසුන්ට කෑමට බීමට අවශ්‍ය තරමටවත් ආහාරපාන නැහැ. නමුත් ඒ අතර තවකෙකුට තමන්ට අනවශ්‍ය තරම් ආහාරපාන තිබෙනවා.

ඔවුන් තමන්ට ලැබුණු අවස්ථාව උපරිමයට ප්‍රයෝජනයට ගනිමින් වස්තු රැස්කර ගන්නවා. ඔවුන්ගේ තණ්හාව අධිකයි. අනුන්ගේ දේවල් පවා තමන්ගේ දක්ෂතාවය, බලය ආදී විවිධ කූට උපක්‍රම යොදමින් හෝ හොර මැරකමින් පොදි ගසාගෙන ජීවිතය විඳීමට අවස්ථාවක් නොලැබම මිය යනවා. අප වැනි රටවල්වල මිනිසුන් එලෙස හැසිරීමට ප්‍රධාන හේතුව වන්නේ, ඔවුන් ජීවිතය දකින්නේ ස්ථිර පැවැත්මක් සහිත දෙයක් ලෙස වීමයි. මේ මනුෂ්‍ය ජීවිතයේ තාවකාලික බව පිළිබඳව ඔවුන් තුළ අවබෝධයක් නැහැ.

මේ ආකාරයට කුසල් දහම්වල නොයෙදී, අකුසල්වල යෙදී මියයන මිනිසුන්ට හොඳම බෙහෙත වන්නේ ජීවිතයේ යථාර්ථය වන, අප කිසිවකුට භෞතිකව ගැලවී යා නොහැකි මරණය ගැන කල්පනා කිරීමයි. බුදුරජාණන් වහන්සේ මරණය සිහිපත් කරන්න යැයි පවසන්නේ තමන්ගේ ආධ්‍යාත්මික අමරණීයත්වය එනම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහායි. මනුෂ්‍යයෙක් ලෙස ඉපදුණු අපට මේ ආධ්‍යාත්මික අමරණීය ස්වභාවය ළඟා කර ගත හැකියි.

බුදුවරුන් දහසක් ධර්මය දේශනා කළත් තිරිසන් සතකුට මේ ආධ්‍යාත්මික අමරණීයත්වය ළඟා කර ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් මනුෂ්‍යයකුට තමන් සිතන විධිය වෙනස් කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව මනුෂ්‍යයකුට තමන්ගේ තෝරාගැනීම මත කුසල් දහම්වල හෝ අකුසල්වල නියැළීමට පුළුවන්. නමුත් තමන් සිදු කරනා කුසල් හෝ අකුසල් තමන්ටම දායාද වන බව බුද්ධ දේශනාවේ සඳහන් වනවා.

මිනිසුන් බොහෝ දෙනෙක් අකුසල්වල නියැළෙන්නේ මරණය පිළිබඳව අවබෝධයක් නොමැතිකම නිසායි. මහණ වුවත් මරණය පිළිබඳ අවබෝධයක් නොමැති භික්ෂුන් පවා මේ ආකාරයට බොහෝ භෞතික දෑ රැස් කරගැනීමට උත්සාහ කරනවා. එම නිසා ගිහි පැවිදි මොන යම් කෙනෙක් වුවත් නිතර තමන්ගේ මරණය පිළිබඳව සිහිපත් කරන්න යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ තුළින් අප්‍රමාදීව තමන් ලැබූ මනුෂ්‍ය ජීවිතයේ ප්‍රයෝජන ලබා ගත හැකි බවත් උන්වහන්සේ දේශනා කළා.

බුද්ධ කාලයටත් පෙර, දුර අතීත කාලයක අර්ක නම් ශාස්තෘන් කෙනෙක් වාසය කළ බව සඳහන් වනවා. එම කාලයේ මිනිසුන්ගේ ආයු කාලය අවුරුදු විසිදහසක් පමණ වනවා. ඒ කාලයේ මිනිසුන්ට ඇති වූ ලෙඩ රෝග වූයේ කුසගින්න හා පිපාසය පමණයි. කුසගින්න සහ පිපාසය ලෙඩ රෝග ලෙස සැලකූ ඉතාමත් දියුණු කාලයක ජීවත් වූ අර්ක නම් ශාස්තෘවරයා ජීවිතය තණ අග පිනි බිඳක් වැනිය යනුවෙන් තම ගෝලයන්ට දේශනා කළ බව පැවසෙනවා.

මේ බව උදාහරණ ලෙස දක්වමින් බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක ස්වාමීන් වහන්සේලාගෙන් විමසන්නේ එසේ නම් “මේ කාලයේදී (බුද්ධ කාලයේදී) කොපමණ ලෙඩ රෝග තිබෙනවාද?” “අද කාලයේ ජීවිතය උපමා කරන්නේ කුමකටද?”යනුවෙනුයි. “ඉදිරියෙනුත් තිබෙන්නේ මරණයයි, පසුපසිනුත් තිබෙන්නේ මරණයයි, දෙපැත්තෙන් තිබෙන්නේත් මරණයයි, උඩිනුත් යටිනුත් තිබෙන්නේ මරණයයි. ඒ අතරයි අප ජීවත් වන්නේ.” යනුවෙන් සැරියුත් මහ තෙරුන් පැවැසුවා.

එක්තරා දවසක බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේලාගෙන්,

“ඔබවහන්සේලා මරණය ගැන සිතන්නේ කෙලෙසද? අප්‍රමාදීව කටයුතු කරන්නේ කෙලෙසද?” ලෙස පැනයක් විමසනවා. එක් භික්ෂුවක් “මගේ සියලු සැලසුම් තිබෙන්නේ පැය විසිහතරකට පමණයි. මා එපමණ අප්‍රමාදීව කටයුතු කරනවා” යනුවෙන් පැවැසුවා. තවත් භික්ෂුවක් “භාග්‍යවතුන් වහන්ස, රාත්‍රී කාලය දිවා කාලය ලෙස කාල දෙකක් පිළිබඳව සිතන්නේ නැහැ. දිවා කාලය පිළිබඳව පමණක් මට තිබෙනවා යැයි සිතා, එපමණ අප්‍රමාදීව කටයුතු කරනවා”  යනුවෙන් පැවැසුවා.

තුන්වැනි භික්ෂුව “ස්වාමීනි මම එක් බත් පිඬක් මුඛයට ගෙන එය උගුර දක්වා ගමන් කිරීමට පෙර මා මිය යන්න පුළුවන් බව මම සිහිපත් කරනවා. මා එපමණ අප්‍රමාදීව කටයුතු කරනවා” යනුවෙන් පවසනවා. සිවුවැනි භික්ෂුව “හුස්ම ගන්නා විට ඉහළට ගත් හුස්ම පහළට යවන්න වෙලාවක් මට නැති වීමට පුළුවන්. එතරම් ජීවිතය තාවකාලිකයි” යනුවෙන් පැවැසුවා. මේ භික්ෂුන් අතරින් තුන්වැනි සහ සිවුවැනි භික්ෂුවගේ පිළිතුරු නිවැරැදි ලෙස බුදුරජාණන් වහන්සේ භාර ගත්තා.

මිනිසුන් බොහෝ බලාපොරොත්තු පොදි බැඳගෙන, ඒවා ඉටු කරගන්න බොහෝ වෑයම් කරනවා. නමුත් ක්ෂණයකින් ජීවිතය නැතිවිය හැකියි. කොවිඩ් වසංගතයට මුහුණ දුන් රටක් ලෙස අප ජීවිතයේ අනිත්‍යතාවය හොඳින්ම අත්විඳ තිබෙනවා. මේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය එනම් මරණයේ නිත්‍ය ස්වභාවය හ¾දුනා ගැනීම තුළින් අනෙකාට උදවු උපකාර කරමින් මේ මනුෂ්‍ය ජීවිතයට කුසල් රැස්කර ගැනීමේ හැකියාව අපට ලැබෙනවා.

මේ ආකාරයට අප ඉහළට ගත් හුස්ම පහළට හෙළන්න නොහැකි, හිඳගත් තැනින් නැඟිටීමට නොහැකි, දවසක් අප සියලු දෙනාගේම ජීවිතවලට පැමිණෙනවා. එතරම් ක්ෂණික තාවකාලික ජීවිතයක් අප ගෙවන බව සිහි තබා ගන්නවා නම් බොහෝ දේවල් අත්පත් කර ගැනීමට අප වෙහෙසෙන්නේ නැහැ. ලද දෙයින් සතුටු වීමට, අන් අයට උපකාර කිරීමට, දන් දීමට අප පුරුදු පුහුණු වනවා. ජීවිතයේ සත්‍ය ගවේෂණය කරනවා. මෙලෙස මරණය කියන සංඥාව තේරුම් ගත් පුද්ගලයා අප්‍රමාදීව කටයුතු කරනවා.

බෞද්ධ දර්ශනයේ තිබෙන මරණ සතිය පිළිබඳව දැනගැනීමෙන් පසුව, තමන් සෑම උදෑසනකම එම භාවනාවේ යෙදෙන බවත්, ඒ අනුව තමන් ඒ මොහොතේ කළ යුතු කාර්යය පිළිබඳව පමණක් අවධානය යොමු කරන බව බිල් ගේට්ස් පවා වරක් පවසා තිබුණා. ආධ්‍යාත්මික ජීවිතය වගේම ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව මරණ සතිය වඩන පුද්ගලයාට හැකියාව ලැබෙනවා. දිනක් එක බමුණෙක්ට අවශ්‍ය වුණා කිසිකෙනෙක් වළ නොදාපු තැනක තමන් මැරුණු පසු වළදමන්න.

ඉතින් ඔහු කිසිවෙක් වළ නොදාපු විශාල ගසක් යට තමන් මැරුණු පසු වළලන්න යැයි තම ඥාතීන්ට පැවැසුවා. මෙය අසා සිටි පෙර භවයන් දැකීමේ හැකියාව ඇති ඍෂිවරයෙක් එම බමුණාට පැවැසුවේ ඔහුගේ වර්තමාන නමින් පමණක් ඔහුව එම ස්ථානයේම පනස් වරක් වළදමා ඇති බවයි. ඒ අනුව මෙම සසර තුළ අප කොපමණ මැරී මැරී උපදිනවාද යන්න ඔබට වැටහෙනු ඇත. මෙම මරණ සතිය වැඩීම තුළින් අපට මරණය පවා ජය ගෙන සංසාර දුකින් අත්මිදීමේ හැකියාව ලැබෙනවා.

කුශාන්ති අනුරාධා බණ්ඩාර

තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ අත්දැකීම්

ඇසුරෙන්..