බය නැත්නම් මහරෑක කණ්නාඩිය ඉස්සරහට ගිහින් Bloody Mary ට එන්න කියන්න

0
224

ඔබ කැඩපත ඉදිරියට යන්නේ ඔබගේ වතේ හා ඔබ අඳින ලද ඇඳුම් ආයිත්තම්වල කුමන හෝ අඩුපාඩු ඇත්දැයි දැනගැනීමටය. නැතහොත් තමාගේ සුන්දරත්වය සියැසින් දැක ගැනීම පිණිසය. නමුත් එක් වරම ඔබ ඉදිරියේ ඇති කැඩපතින් අවතාරයක් මතුවුවහොත් ඔබ කුමක් කරයිද? එය ඔබ කිසිවිටෙකත් අපේක්ෂා කළ දෙයක් නොවන බව නම් විශ්වාසයි. ඒ අයුරින් කැඩපත තුළින් මතුවූ ලොව සුප්‍රසිද්ධ අවතාරයන් පිළිබඳව විටින්-විට ලෝකයේ විවිධ රටවල්වලින් අසන්නට ලැබී තිබෙනවා.

මේ කියන්නට යන්නේත් කැඩපතින් මතුවූ ලෝක ප්‍රසිද්ධ එවැනි අවතාරයක් පිළිබඳවයි. අවතාරයක් කියූ පමණින්ම එක්වරම කිසිවක් සිතා ගැනීමට ඔබට අපහසු වේවි. මේ අයුරින් කැඩපතින් ඔබ හමුවට එන අවතාරය එසේ මෙසේ අවතාරයක් නම් නොවේ. ඇය සිත් ඇද ගන්නාසුලු රූපයකට හිමිකම් කියන කාන්තා අවතාරයක්. ඇතැම් විට ඔබ හොල්මන්, අවතාර, භූත ආත්ම, නොපෙනෙන බලවේග ආදිය පිළිබඳ එතරම් විශ්වාස කරන අයකු නොවන්නද පුළුවන්. නමුත් අද අප කියන්නට යන අවතාරය නම් ලෝක ප්‍රකට වූ චරිතයක් කීවොත් නිවැරදියි.

ඇය හඳුන්වන්නේ Bloody Mary යනුවෙනි. බ්ලඩී මේරි කියන්නේ අත්භූත ලෝකයේ ඉතාම ප්‍රසිද්ධ චරිතයක්. ඇය ඇමරිකා එක්සත් ජනපදයේ වින්ඩියෝ නම් ප්‍රාන්ත්‍රයේ ජීවත් වූ තරුණ කාන්තාවක්. ඇයගේ පියා එකල අඳ ගොවියකු ලෙස ගොවිතැන් කටයුතු කළ තැනැත්තෙකි.

මේරිගේ පවුල මුදල් හදල් යහමින් තිබූ පවුලක් නම් නොවේ. කුඩා කළ සිටම තම පවුල තුළ ආර්ථික අපහසුතාවන් ඇය දුටුවා. එනිසාම තුරුණු වියේදීම තම ගම් පළාතේ තිබූ එක් පොහොසත් පවුලක මෙහෙකාර සේවය සඳහා යෑමට ඇය කැමැති වුණා. එසේ ගිය මේරි ක්‍රමයෙන් එම නිවෙසේ විසූ සාමාජිකයන්ගේ සිත් දිනා ගැනීමට සමත් වුණා. එනම් ඇයගේ සේවය පිළිබඳව එම නිවෙසේ පුද්ගලයන්ගේ සිත් තුළ සතුටක් ඇති කිරීමට ඇයට හැකි වුණා. එනිසාම සේවිකාවට එහා ගිය බැඳීමකින් යුතුව ඔවුන් ඇයට සලකන්නට වුණා. එයට තවත් එක් හේතුව වූයේ නිරන්තරයෙන්ම ඇය කිසිදු කම්මැලිකමකින් තොරව නිවෙසේ සියලු වැඩ කටයුතු සොයාබලමින් ඉතාම පිළිවෙළට, පිරිසුදුවට සහ කලට-වේලාවට කරගෙන යෑමයි. කාලය මෙසේ  සෙමින් ගලාගෙන ගියා.

මෙම වත්පොහොසත්කම්වලින් ඉහළ පවුලේ ගෘහ මූලිකයාගේ පුත්‍රයා තම විදේශ අධ්‍යාපනය සඳහා විදේශගතව තමයි සිටියේ. පසුකාලීනව තම අධ්‍යාපන කටයුතු අවසන් වූ හෙයින් ඔහු නැවත මවු රට බලා පැමිණීම මේ නිවෙසේ කාගේත් සිත් සතුටු කරවන කාරණයක් වුණා. මේ තැනැත්තා කවුරුන්ද ඔහු කොයිවගේ පෙනුමකින් යුක්ත අයෙක් යන්න නිසියාකාරව දැනකියා ගැනීමට මේරි තුළද දැඩි ආශාවක් ඇති වුණා.

කෙසේ නමුත් අවසානයේදී ඔන්න අවුරුදු ගණනාවකට පෙර නිවෙසින් පිටවී කාලය ගත කළ “ඇඩම්” නම් ගෙහිමියාගේ පුත්‍රයා නිවෙසට පැමිණෙන දිනයත් ළඟා වුණා.

කෙමෙන් කෙමෙන් මේරිගේ සිත තුළ තිබූ සියුම් ආශාවද මේත් සමඟම වැඩි දියුණු වුණා කීවොත් හරි. එනිසා ඇය වෙනදාටත් වඩා උදෑසනින් අවදි වී තම රාජකාරීයට අනුව පැවැරී ඇති සියලුම වැඩකටයුතු ආසාවෙන් යුතුව නිම කළා. අවුරුදු ගණනාවකට පසුව තම නිවෙසේ පය තැබූ ඇඩම් හට තම නිවෙසේ නැවුම් වෙනසක් සිදුවී ඇති බව වැටහෙන්නට ගත වූයේ ස්වල්ප වේලාවක් පමණයි.

කෙසේ වෙතත් ඒ වෙනසට හේතුව කුමක්දැයි ඔහු නිවිහැණහිල්ලේ සොයා බැලුවා. එයට හේතුව මේරි විසින් ඉතාම ලස්සනට පිරිසුදුව මෙම නිවෙස නඩත්තු කරගෙන යෑම බව දැනගත් ඔහු තමන් නොදන්න මෙම මෙහෙකාරිය කවුරුන්දැයි කියා සොයා බැලුවා.

කෙසේ වෙතත් මේරි යනු ඉතාම සුකොමාල, සියුමැලි, අති සුන්දර රූපකායකට හිමිකම් කියන තරුණියක් නොවුණත් කෙනකුගේ සිත ඇද ගැනීමට හැකි තරමේ උපතින්ම ලද ගැමි සුන්දරත්වයක් ඇය සතුවිය. නමුත් මේරි සතු වූ පිරිසුදුකම, ක්‍රියාශීලී බව, සකසුරුවම්කම, පිළිවෙළ නිසාම පසුකාලීනව ඇඩම්ගේ සිතේ මේරි කෙරේ ආලයක් හටගත්තේය.

එසේම මේරිද තමාගේ අලුත් හාම්පුතා කවුරුන්ද යන්න වග දැකබලාගත්තා. කාලය සාමකාමී ආකාරයට ගතවී ගියා. ඒ අතර ඇඩම්ගේ සිතේ මේරි කෙරේ ඇතිවූ ආලය දිනෙන් දින දලුලා වැඩෙන්නට වුණා. කෙසේ වෙතත් ඔහු හැර මේ පිළිබඳව නිවෙසේ අන් කිසිවකු දැන සිටියේ නැහැ.

කෙසේ හෝ එක් දිනකදී අන් අයට සොරා තම සිතේ ඇති ආදරය පිළිබඳව මේරිට ප්‍රකාශ කළේය. මේරිගේ සිතේද තම හාම්පුතා පිළිබඳව දැඩි අකමැත්තක් නොමැති හෙයින් ඇයද ඔහුගේ බසට අවනත වුණා.

කෙමෙන් කෙමෙන් මේ දෙදෙනාගේ පෙම රහසේම ගලා ගියේ නිවෙසේ අන් කිසිවකුටත් සැක නොසිතෙන ආකාරයටයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මේරි ගැබ් ගත්තාය. ඒ බව ඇය ඇඩම් හට පැවැසුවාය. නමුත් ඇය නොසිතූ ආකාරයට ඇඩම්ගෙන් ඒ සඳහා හොඳ ප්‍රතිචාරයක් නම් ලැබුණේ නැහැ.

ඔහුට ඇයව තවදුරටත් අවශ්‍ය වූයේ නැහැ. ඒ කියන්නේ ඇඩම් ඇයට සැබෑවටම ආලය කර නැහැ. ඔහුට අවශ්‍යව තිබුණේ මේරි සමඟ යහන් ගතවීමට පමණයි. තමන්ගේ ලෙයින් මේරිගේ කුසේ දරුවකු පිළිසිඳගෙන කියන කාරණාව ඇඩම්ට මහත් හිසරදයක් විය. මෙම කරදරයෙන් ගැලවීමට මඟක් හොයන අතර වෙනත් මඟක් නොවුණු තැන ඔහු මේ පිළිබ¼දව තම පවුලේ සාමාජිකයන් හටත් පැවැසුවා.

 මේ පුවත අසා සිටි පවුලේ සාමාජීකයන් දැඩි ලෙස කලබලයටත් කෝපයටත් පත් වුණා.

එමෙන්ම ඔවුන්ගෙන්ද මේ සම්බන්ධව සුබවාදී අදහසක් නම් ලැබුණේ නැහැ. එයට හේතුව නම් ඇඩම් සහ ඔහුගේ පවුලේ උදවිය කියන්නේ එම පළාතේ නම්බුකාර විධියට ජීවත්වූ වංශවත් ධනවත් පවුලක්. එවැනි පවුලකට මේරි වැනි දිළිදු පවුලක සාමාන්‍ය කාන්තාවක සම්බන්ධ කර ගැනීමට ඇඩම් මෙන්ම ඔහුගේ පවුලේ අයත් කොහෙත්ම කැමැති වූයේ නැහැ. එවැනි දෙයක් සිදුකිරීම සැලකුවේ ඔවුන් තම පවුලට සිදුවන ලැජ්ජාවක් සහ අවනම්බුවක් විධියටයි. ඉතින් මේ මෙහෙකාර කාන්තාව හේතුවෙන් තම පවුලට වෙන්න යන මහා අවනම්බුවෙන් ගැලවීමට පවුලේ සැමටම අවශ්‍ය වුණා.

එනිසා මේ පවුලට අවශ්‍ය වුණේ දරු ගැබ ගබ්සා කිරීමටයි. ඒ අතර ඉතාම හොර රහසේ විදෙස්ගතව පැමිණි තම උගත් බුද්ධිමත් වංශවත් පුතුට වෙනත් පවුලකින් කසාදයක් සෙවීමට පවුලේ උදවිය සූදානම් වුණා. නමුත් අවසානයේදී මේ පුවත මේරිගේ කන වැකුණා.

එය දැනගත් පසු මේරි දැඩි ලෙස කම්පනයටත් දුකටත් පත් වුණා. එමෙන්ම මේරිට තමන්ගේ කුසේ වූ දරුවා ගබ්සා කිරීමට කොහෙත්ම අවශ්‍ය වූයේ නැහැ. 

ඒ බව ඇය පවුලේ සාමාජියන්ට දැන්වූවාය. මෙය හොඳින් විස¼දා ගැනීමට හැකි කාරණාවක් නොවූ නිසා පවුලේ සාමාජිකයන් එක්වී ඉතාම කෘෘර ආකාරයටත් සූක්ස්ම ආකාරයට රහස් සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඔවුන් එකතු වී මේරිගේ ආහාර පානවලට විස මිශ්‍ර කරනවා.

මේ කිසිවක් නොදත් අසරණ මේරි එම ආහාර අනුභව කරනවා. අවසානයේදී තමන් ගත් ආහාරවලට විස මිශ්‍ර කොට ඇති බව ඇය දැනගන්නවා. නමුත් ඒ වනවිට ඇය පරක්කු වැඩියි.

නමුත් ඇයට වඩාත්ම දුක සිතුණේ ඇයගේ ජීවිතයට වඩා ඇයගේ කුසේ සිටිනා නූපන් තම දරුවා පිළිබඳවයි.

මක්නිසාද මේරි තම දරුවාට දැඩි ලෙස ආදරය කළා සහ ඇය හැකි සෑම විටම තම දරුවා ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළා. අවාසනාවකට කපටි කෛයිරාටික ඇඩම් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ රහස් ක්‍රියාවලිය සාර්ථක වුණා.

උග්‍ර විස ශරීර ගතවීම හේතුවෙන් ඇතිවූ ශරීර සංකූලතා සහ උදරයේ හටගත් දැඩි වේදනාව හමුවේ මේරි හට උරුම වූයේ උහුලා ගත නොහැකි තරම් වූ දැඩි වේදනාවක්.

මියයන මොහොත්දී ඇය සිටි ස්ථානයේ බිත්තිය මත තරමක් ප්‍රමාණයෙන් විශාල මුහුණ බලන කණ්ණාඩියක් සවි කොට තිබුණා. ඒ මොහොතේ ඇය එම කැඩපත කැබලිවලට වෙන් වන ආකාරයට බිඳ දැමුමා. බිඳී ගිය කණ්ණාඩි කැබැල්ලක් අතට ගත් ඇය එයින් තම උදරය කපා ගත්තාය. නමුත් අවසානයේදී මාරාන්තික උග්‍ර විස මේරිගේ ශරීර ගත වීම නිසා ඇය සහ ඇගේ නූපන් දරුවා යන දෙදෙනාම ඉතා භයංකාර අමානුෂික ආකාරයට ලේ විලක් මැද මරණය වැලඳ ගන්නවා. මෙලෙසින් මේරි මියයන මොහොතේදී ඇයගේ අවසන් හුස්ම පොදත් සමඟම ඇඩම් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධවත්, තමාට සිදුකළ මේ අහස පොළොව නුහුලන අපරාධය පිළිබඳවත් මේරිගේ සිතේ දැඩි වෛරයක් සහ ද්වේෂයක් හට ගත්තා. ඇයගේ සිතේ මෙසේ කැකෑරෙමින් තිබූ වෛරය අවසානයේදී පළිගැනීමේ චේතනාවක් දක්වා පරිවර්තනය වනවා.

Bloody Mary ගේ නපුරු ආත්මයේ උත්පත්තිය සිදු වන්නේ මින් පසුවයි.

මේ නිසා Bloody Mary කියන්නේ වෛරය, පළිගැනීම පිරුණු අති බිහිසුණු දරුණු ආත්මයක් වශයෙන් ප්‍රකටයි.

ඒවගේම ඉතාම වේදනාකාරී දරුණු ආකාරයේ මරණයට උරුමකම් කියූ කාන්තාවක් වශයෙනුත් Bloody Mary ඉතාම ප්‍රසිද්ධයි.

ඇඩම් සහ තම පවුලට සිදුවූ අවනම්බුවෙන් පලායෑමට හැකි වුණත්, මියයන මොහොතේ ඔහුට සහ ඔහුගේ පවුලේ සැමට Bloody Mary සිදුකළ සාපයෙන් බේරීමට නම් ඔවුනට නොහැකි වුණා. එමෙන්ම ඇය මේ ආකාරයට තම පළිගැනීම් සම්පූර්ණ කරන්නේ තමන්ට ලේ නෑකමක් සහිත පුද්ගලයන්ගෙන් පමණක් බව ඇතැමුන්ගේ විශ්වාසයයි.

තවද Bloody Mary යනු මිනිසුන් විසින් පුලුස්සා දැමූ මායාකාරියක් බවත් ඇතැමුන් විස්වාස කරනවා. තවකකුගේ මතට අනුව Bloody Mary ගේ කතා පුවත සියවස් ගණනාවක් පුරාවට කටින් කට පැවැත එන අද්භූත පුරාවෘත්තයක් ලෙසත් සැලකෙනවා.

නමුත් මේ සෑම තැනකදී මෙම කාන්තා චරිතයේ ආරම්භය සිදුවී ඇත්තේ කවදාද යන්න පිළිබඳව නම් නිශ්චිත කාලවකවානුවක් සඳහන් වන්නේ නැහැ. තවත් විටෙකදී මෙය 1700 දක්වා අෑත අතීතය කරා දිවයන කතාන්දරයක් ලෙසත් ඇතැමුන් හඳුන්වනවා.

Bloody Mary යනු අතීතයේ වාසය කළ සැබෑ කාන්තා චරිතයක් බවත් Bloody Mary යනු එම කාන්තාවගේ චරිතය පදනම් කොට ගෙන නිර්මාණය වූ සත්‍ය කතා පුවතක් ලෙසත් යම් විවාදයකුත් පවතිනවා.

කෙසේ වෙතත් මෙම කාන්තාව පදනම් කොට ගෙන පසුකාලීනව විවිධ අබිරහස් හොල්මන් කතා ආදිය පවා විශාල ප්‍රමාණයක් බිහි වුණා.

එයට හේතුව මේ කතා පුවත තුළ වූ ගැබ්ව තිබෙන අති බිහිසුණු බව හා ම්ලේච්ඡ ඝාතන සංසිද්ධියයි.

එවැනි ඇතැම් සිනමාපටවලට අනුව අඳුරු නිවෙසන් තුළ ඇති අත්භූත බව මුල් වූ ඝන අඳුර දුරු කිරීම පිණිස ඉටිපන්දම් කිහිපයක් දල්ලා තිබෙන දර්ශනයක් ඇතුළත් අතර ඉහළ මහලට නැඟීමට ඉදිකර ඇති තරප්පු පෙළ ඉදිරිපස බිත්තියේ අලංකාර කැටයම් සහිත පැරැණි පෙනුමක් ගන්නා ලී රාමුවක් සහිත කැඩපතක්ද එල්ලා තිබෙනවා. එම කැඩපත දෙස බැලූ කළ ඕනෑම කාන්තාවකට තමන්ගේ අනාගත ස්වාමිපුරුෂයාගේ මුහුණ දැකගත හැකියි.

කෙසේ වෙතත් පිරිමියකුගේ මුහුණ වෙනුවට කැඩපත තුළ හිස් කබලක් දැක ගැනීමට හැකි වුවහොත් එයින් හැඟෙන්නේ තමන්ට ඔහු හා විවාහ වීමට පෙර  තමන් මිය යන බවයි. තවද ලොව පුරා නිපදවූ Bloody Mary චිත්‍රපටවලට අනුව එහිදී ප්‍රධාන භූමිකාවට පණ පොවනුයේ වෛරයෙන් කැකෑරෙමින් ජීවත් වන ප්‍රබල කාන්තා චරිතයක්, මායාකාරියක් හෝ නැතිනම් කාන්තා මළ සිරුරකින් උපත ලබන්නා වූ කාන්තාවකගේ අවතාරයක්. ඇතැම්විට මෙම කාන්තා චරිතය නිරන්තරයෙන්ම රුධිරයෙන් වැසී ගිය ඇඳුම් පැලඳුම් හැඳ සිටින අතර ඇයගේ සිරුර පවා අති භයංකාර ස්වරූපක් උසුලයි.

තවත් විටෙක එවැනි අති බිහිසුණු කාන්තා අවතාරයකට පණ ගැනීමට නම්, පාළු පෙනුමක් උසුලන පැරැණි අඳුරු නිවෙසක ඝනදුර රජයන කුටියක් තුළ ඉටිපන්දම් කිහිපයක් පමණක් දල්වා තිබෙන අතර එම කුටියේ එක් බිත්තියක් මත එල්ලා ඇති කැඩපතක් හෝ කුටිය තුළ ඇති කණ්ණාඩි මේසය තබා ඇති කැඩපතකට 13 වතාවකට ආසන්න වැඩි වාර සංඛ්‍යාවක් අදාළ කාන්තා අවතාරයේ නම ජප කිරීම කළ යුතුය.

ජනප්‍රවාදයේ  දැක්වෙන ආකාරයට යම් කිසි ගුප්ත බලවේගයක් අරක්ගත් මෙම කාන්තා අවතාරය, තමාට පළිගැනීමට අවශ්‍ය පුද්ගලයන් සොයමින් පසුපස හඹා ගොස් තමන්ගේ පළිගැනීම සම්පූර්ණ කරගනියි. එහිදී ඇය මහ හ¾ඩින් කෑ ගැසීම, අදාළ පුද්ගලයන්ට  ශාප කිරීම, ඔවුන්ගේ ගෙල සිර කිරීම, ඔවුනගේ ගෙල කපා රුධිරය පානය කිරීම, ඔවුනගේ ඇස් ඉරා දමමින් ඔවුන්ගේ ආත්මය සොරකම් කිරීම ආදී සාමාන්‍ය මනුෂ්‍යයකුට විඳ දරා ගැනීමට අපහසු ආකාරයේ අනේක විධ වද හිංසා ඔවුනට පමුණුවයි.

තවත් විටෙක මෙම Bloody Mary නම් දහහත් වැනි සියවස් ජීවත් වූ කාන්තා චරිතයක් වන එලිසබෙත් බැතෝරි නම් කාන්තාව ලෙසත්, එංගලන්තයේ විසූ මේරි නම් කාන්තාව එනම් VIII වැනි Henry සහ Catherine of Aragonගේ දියණිය ලෙසත් ඉතිහාසගත චරිත ගණනාවකටම ආදේශ කොට තිබෙනවා.

Bloody Mary නම් කාන්තාව වැනි ජීවිතයෙන් සමුගත් පසු තමාට සිදුවූ අසාධාරණය වෙනුවෙන් වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙමින් වැරදිකරුවන්ගෙන් පළි ගන්නා කාන්තා චරිත විශාල ප්‍රමාණයක් ඉතිහාසගත පුරාවෘත්ත තුළින් හඳුනාගත හැකිය. එවැනි කාන්තා චරිත බොහොමයක්ම අතිශය භයංකාර, අතිශය ආවේගශීලි, අකාරුණික, අනුකම්පාවිරහිතව ක්‍රියාකරන, දරුණු ඝනයේ ලේ පිසාසයෙන් යුතුව සතුරන් ලුහුබැඳ ගොස් මරා දැමීමේ දැඩි ආශාවෙන් පසුවන චරිතයන්ය. පෙර සඳහන් කළ පරිදි මෙවැනි චරිත බොහෝ විට මන්තරකාරියන්, යක්ෂණියන්, භූත ආත්මයන්, ශාපලත් කාන්තා ආත්මයන් මත පදනම් වේ.

මෙවැනි චරිතයන් සියල්ලන්ගේම ඒකායන එකම ප්‍රාර්ථයන් වන්නේ තමන් හට වින කළ සැමගෙන්ම තමාට කළා වූ අසාධාරණයට වඩා වැඩි දරුණු ප්‍රතිඵල ගෙන දෙන දඬුවම් ලබා දීමය.

දිනූෂා මනෝරි නිශ්ශංක